
පොඩ්ඩයි ලොක්කයි දෙන්න පතෝල කන්න කොහොමත් කැමැති නෑ. මොනදේ කිවුවත් අහන්නෙත් නෑ. මාලතීට ඕනේ වුණේ කොහොම හරි පුතාලා දෙන්නට පතෝල කවන්න. ඒත් හැමදාම හදන විදිහට නම් ඒ දෙන්නා කවදාවත් කැමැති වෙන එකක් නැහැ.
කොහොමත් ළමයි වුණාම කටට රහට කන්න ආසයි නේ. අද කාලේ ළමයින්ට නම් තෙල් නැතුවම බැහැ. එහෙම කියලා හොඳ දේ නොකෑවොත් පස්සට තමයි කරදර. කෝ කිවුවට අහන එකක් යැ.
අම්මලා වුණහම මේ හැම දෙයක් ගැනම හිතන්න වෙනවා. මාලතී මේ හැම දෙයක්ම හිතලා තමයි දන්න එළවළු අලුත් ක්‍රමවලට හදන්න පුරුදු වුණේ.
මේ නිසා අද මාලතී හිතුවා අද පුතාලා පතෝල සලාදයක් හදලා දෙනවා කියලා. මාලතී ඉක්මනින් පතෝල ටික සුද්ද කරලා ගත්තා.
ඊට පස්සේ ඒකට උණු වතුර ටිකක් දැම්මා. ඊට පස්සේ ඒකට ලුනු කුඩු දැම්මා. ටික වෙලාවකින් මෙසේ තබා පතෝල කෑලි ටික මිරිකලා වෙනත් භාජනයකින් තබයි.
ඊට පසේ මාලතී ඉකමනින්ම ලූනුයි අමු මිරිසුයි කපලා භාජයකට දැම්මා. ඒවා ඉතාමත් සිහින් වෙන්න කපා ගන්න ඇය වග බලා ගත්තා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක් එකතු කරලා හොඳට පොඩි කර ගත්තා. ඊට පස්සේ උම්බලකඩ එකතු කළා. ආ... මතක නේ ගාගත්ත පොල්.
ඒකට වතුර බින්දුවක් දමලා කිරි ටිකක් ගත්තා. මේ කිරි ඉතාමත් උකුයි. එලෙස සාදාගත්ත පොල් කිරි ටිකත් පැත්තකින් තිබ්බා.
දැන් නැවත වරක් පතෝල ටික මිරිකලා ඉතිරි වතුර ටිකත් ඉවත් කර ගත්තා. ඊට පස්සේ සාදා ගත් ලූනු සම්බෝලයට පතෝල ටික එකතු කළා.
ඊට පස්සේ මිරිකා ගත්ත පොල් කිරි බින්දුවක් දාලා කවලම් කළා. ආ...... මේ තියෙන්නේ නියමෙට.
අද නම් පොඩ්ඩයි ලොක්කයි වරදන්නේ නැතිවම පතෝල කයි.
මේ විදිහට එකම එළවළු විවිධ විදිහට හදන්න පුළුවන්. අද ළමයි විවිධත්වයට කොහොමත් කැමැතියි නේ.
බලන්න මාලතී වගේ විවිධත්වයට කැමැති නම් ඔබටත් එකම එළවළු විවිධ විදිහට හදන්න පුළුවනි.
අමායා රසාදරී