
සවස තුනට පමණ වින්ඩි නගරයේ මහ මග ධාවනය වන ටැක්සි රථයක් නැවත් වූ මගියකු තම ගමනාන්තය රියදුරුට පවසා අසුනේ හරි බැරි ගැසී වාඩි විය. ගමන ආරම්භකර සුළු වේලාවකින් ගමනාන්තයට තවත් මිනිත්තු තිහක පමණ කාලයක් ගත වන බව දන්නා රියැදුරු ඉතා විනීත ලෙස මගියාගෙන් විමසා සිටියේ,
‘‘දැන් ගුවන් විදුලියෙන් විකාශය වන නවසීලන්ත-ඉන්දියා එක්දින තරගයට මා සවන් දීම ඔබට කරදරයක් විය හැකි ද? කියායි.
එය තමන්ට බාධාවක් නොවන බව මගියා පැවසීමෙන් පසු රියැදුරා ගුවන් විදුලි යන්ත්‍රය පණ ගැන්වීය.
ටික වේලාවකින්ම මගියාට අවබෝධ වූයේ ඔහු ඉතා අසාමාන්‍ය උනන්දුවකින් යුක්තව ක්‍රිකට් තරගයකට සවන් දී සිටින බවය. රියැදුරුගේ ශරීරයේ ඉරියව්වලින් එය මනාව දිස් විය. ඒ සමගම නවසීලන්තය විසින් කඩුල්ලක් දවාගත් අතර රියැදුරා ප්‍රීතිමත් ස්වභාවයක් පළ කළේය. එම ප්‍රීතිය ඔහු සෑහෙන වේලාවක් බුක්ති විඳිනු බලා සිටි මගියා විමසා සිටියේ,
‘‘ඇයි? ඔබ මේ තරම්ම ක්‍රිකට්වලට උනන්දු? යනුවෙනි.
‘‘කාලයක් ක්‍රිකට් මගේ ජීවිතය වෙලා තිබුණා.
‘‘ඒ කිව්වෙ?
‘‘මගේ පන්දුවලටත් ඉන්දියන් ක්‍රීඩකයො දැවී ගිහිල්ල තියෙනවා.
විමතියට පත් මගියා ඔබ කවුදැයි විමසීය.
‘‘චැට්ෆීල්ඩ්.... එවාන් චැට්ෆීල්ඩ්“. දැන් බොහෝදෙනෙකුට අමතක වෙලා ඇති
සැබැවින්ම ඒ නවසීලන්ත හිටපු වේගපන්දු යවන්නකු වූ එවාන් චැට්ෆීල්ඩ් ගේ දැන් තත්ත්වය යි.
ටෙස්ට් තරග 43කදී නවසීලන්තය වෙනුවෙන් වෙහෙස වී පන්දු යැවූ චැට්ෆීල්ඩ් එහි දී කඩුලූ 123 ක් දවා ගත් අතර එක්දින තරග 114 ක දී කඩුලූ 140 ක් දවා ගැනීමට සමත් වූයේය. පළමු පෙළ තරග 157 කට ක්‍රීඩා කර ඇති මේ පරිණත වේග පන්දුයවන්නා ඒ අතර තුර කඩුලූ 587 ක් දවා ගැනීමට සමත්ව ඇත. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගී වූයේ 1989 දී ය. එවිට ඔහුට වයස අවුරුදු 39 කි. ක්‍රීඩා කළ කාලයේ දී ඔහුව හඳුන්වනු ලැබුවේ නෙයිනේ එක්ස්ප්‍රස් ලෙසය.
ඉවාන් චැට්ෆීල්ඩ් අපට මුලින්ම මතකයට එන්නේ 1984 වසරේ දී ජෙෆ් හොවාර්ත් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කළ ක්‍රිකට් කණ්ඩායමේ රිචඞ් හැඩ්ලිගේ සහය වේග පන්දුයවන්නා ලෙසය. ඉන්පසු නැවත වරක් 1987 වසරේ ද ශ්‍රී ලංකාවේ සංචාරය කළ නවසීලන්ත පිලේ ද ඔහු නිත්‍ය සාමාජිකයෙකි. ඒ ඔහු පිළිබඳ ආසන්නතම අපේ මතකය යි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මතකය වන්නේ එංගලන්ත ක්‍රීඩක ජෝන් ලීවර් එල්ල කළ පන්දුවක් හිසේ වැදීමෙන් සිහිසුන්වී ජීවිතයත් මරණයත් අතර සටනක් කර නැවත ක්‍රිකට් පිටියට පැමිණි ක්‍රීඩකයකු ලෙසය. ඒ ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමටත් පෙරය.
ක්‍රිකට් ක්‍රීඩා කළ කාලයේ දී චැට්ෆීල්ඩ් ක්‍රිකට් පිටිය සැලකුවේ මැජික් පිටියක් ලෙසය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු කුමක් කරන්නේදැයි ඔහුට සහතිකයක් තිබුණේ නැත.
‘‘මට යමක් කිරීමට අවශ්‍යයි. එහෙත් මට ගොල්ෆ් ක්‍රීඩාවට අවතීර්ණ විය නොහැකියි. ඔහු වරක් පවසා තිබිණි.
කාලයක් ඔහු වෙලින්ටන් හි තණකොළ කපන්නකු ලෙස කටයුතු කළ අතර ටැක්සි රථ රියැදුරෙකු වූයේ ඉන් පසුවය. දැන් ඔහු දිනකට පැය 13-14ත් අතර කාලයක් ටැක්සි රථ රියැදුරෙක් ලෙස සේවය කරයි.
දේශපාලන කටයුතුවලට උනන්දුවක් දක්වන චැට්ෆීල්ඩ් විශේෂයෙන්ම මැතිවරණ ක්‍රියාවලිය සඳහා බෙහෙවින් ක්‍රියාශීලිී පුද්ගලයෙකි. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රිය දායකත්වයක් සපයන්නකු ලෙසද දැන් ඔහු ප්‍රකටය.
විශ්‍රාම වයසේ සිටන ඔහුට නිතරම දිවා ආහාර සඳහා හිතවතුන්ගෙන් ඇරයුම් ලැබෙන අතර ඒ ආරාධනා මග හරින්නට හැම විටම ඔහු උත්සාහ දරයි. දැන් සිය සහකාරිය සමඟ නිවාඩු කාලයේ දී ගොස් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබී ඇති අතර එය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු අල්ලා ගැනීමේ අවස්ථාවක් ලෙස ද ඔහු සැලකීම ඊට හේතුවයි.
වයස අවු 70 වන පුද්ගලයන්ද තවමත් ටැක්සි පදවන බව චැට්ෆීල්ඩ් පවසයි. ඉන් අදහස් වන්නේ 67 හැවිරිදි චැට්ෆීඩ් ද තවමත් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවයි.
ඉවාන් චැට්ෆීල්ඩ් ඇත්ත වශයෙන්ම ටැක්සි රථ රියැදුරෙකු ලෙස ගත කළ කාලය සමරන්නේ ඉතා සතුටිනි. ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන් අතර ජනාදරයට පත්ව සිටි චැට්ෆීල්ඩ් දැන් වෘත්තීය රියැදුරාය. ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ ක්‍රීඩාවෙන් සමුගත් පැරණි ක්‍රීඩකයන් ගේ දැන් තත්ත්වය එයය. වර්තමානයට අස්වනු නෙළන්නට පස් පෙරැළුෑ ඔවුන්ගේ අනාගත ගැන සිහිවද් දී ඇතිවන්නේ සියුම් කනගාටුවකි.
ඩබ්ලිව්. ආර්. කුමාර