මූණ දාන්න ගෙහුං | සිළුමිණ

මූණ දාන්න ගෙහුං

 අපේ නිමලෙ කවදක්කත් නැතිව කන්නඩි කැඩපතෙන් මූණත්තහඩුව බලනවා. තනියම හිනාවෙනවා... නාම යෝජනා බාරදුන්නු හිටපු සබාපති වාගේ. පෙම්පාට වැටිලා... මේ දවස්ඔල තිලකෙ එක්කමයි ගමන් බිමන්.. තිලකෙ පක්සෙ මාරු කොරලා චන්දෙට ඇවිත්....

"මොකෝ මලේ තනියම හිනාවෙන්නෙ?"

මං ඇහුවා.

"තිලකෙ පෝස්ටර්ඔලට මගෙ පොටෝ එකත් දාන්ඩ අහනවා."

"නිමලෙත් ඉල්ලනවද?"

"පිස්සුද බණ්ඩයියෙ?"

"එහෙනං පොටෝ දාන්නෙ අහවල් එකටද?"

"ගමේ එවුං කවුරුත් මාත් එක්ක හොඳයි නෙවැ. තිලකෙට එහෙම නෑ.. ආං ඒකයි"

"වැඩියෙම්ම දන්නෙ කරිඤ්ඤං පොළේ උදවිය"

"ඔන්න ඉතිං බණ්ඩයියත් හරහට කතා කොරනවනෙ"

"මං අහන්නෙ කරිඤ්ඤංඔලට විරුද්ද මිනිස්සුන්ගෙ චන්ද නැතිවෙනවනෙ"

"ඒ කියන්නෙ කාන්තාවියන්ගෙද?"

"ඔව් වොව්"

"ඒ උනාට කාන්තාවියො උඩුරැවුලට, ගමන බිමනට, චන්ඩිකමට කැමතියි නෙවැ"

"අප්පට සිරි නිමලෙ චන්ඩියෙක් කියල අදනෙ දන්නෙ"

ඒ කාලෙ මාත් හොඳ චන්ඩි මල්ලි කෙනෙක් තමයි. දැං මෙහෙම උනාට."

නිමලෙ පපුව පුම්බලා පෙන්නුවා. කිව්වහම මොකද ආයිබොවන්ඩ මට දුකත් හිතුණා. පහුවදා බෝක්කු පුරාම පෝස්ටර් අලෝලා...නිමලෙයි තිලකෙයි තකට තක.....කාන්තාවියො හිනාවෙවී යනවා.

"බලපංකො නගේ මුන් දෙන්නගෙ හැටි. අපායට හෙන ගැහුව වගේ"

කාන්තාවියක් කියනෝ ඇහුණා. හොඳ වෙලාවට නිමලෙ හිටියෙ නෑ. හිටිය නං කෑ ගහල තිලකෙට තියන චන්ද ටිකටත් කෙළවෙනවාමයි ඕං.....

Comments