උසස්පෙළ කඩයිමක් ද? | සිළුමිණ

උසස්පෙළ කඩයිමක් ද?

 උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග විභාගයෙන් ඉහළින්ම සමත් දරු-දැරියන් රූපවාහිනී නාළිකාවලට ගෙන්වාගෙන ඔවුන් උත්කර්ෂයට පත් කිරීම දැන් විලාසිතාවකි. ඒ අනුව මෙවරද ප්‍රතිඵල නිකුත් වූ සැණින් ඒ දරුවන් නාළිකාවලට ගෙන්වා ඔවුන්ගේ අදහස් ප්‍රචාරය කරමින් ඔවුන්ට තෑගි ලබාදෙන අන්දම දකින්නට ලැබිණි.

උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමෝදයට පත් වීමේ අරමුණට ඔබ්බෙන් වූ අදහසකින් නිරීක්ෂණය කරන්නේ නම් කළ යුත්තේ මීට වෙනස් ක්‍රියාවකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ විභාගයක් වන උසස්පෙළ ප්‍රතිඵල හා එය සමාජයට කර ඇති බලපෑම විමසා බැලීම ඒ අනුව කළ යුතු බරපතළම මැදිහත් වීමකි.

අප කැමැති වුවත් නොවූවත් ලංකා දේශපාලනයේ බරපළ සිද්ධියක් වූයේ කොටි සංවිධානය ශ්‍රී ලංකා රජය සමඟ ගෙන ගිය බිහිසුණු යුද්ධයයි. මේ යුද්ධයට දෙපාර්ශ්වයෙන්ම සහභාගි වූයේ ගම්බද උසස් අධ්‍යාපනය නොලැබූ තරුණ පිරිසයි. එක් අතකින් සමාජ අරගලයක් උදෙසා ඒ තරුණ පිරිස සටන් කරන විට තවත් අතකින් රාජ්‍ය ආරක්ෂාව සඳහා එවැනිම තරුණ පිරිසක් සටන් කළහ. අවසානයේ දෙපාර්ශ්වයෙන්ම මිය ගියේ එකම සමාජ, ආර්ථික ලක්ෂණ පෙන්නුම් කළ ගම්බද තරුණ පිරිසයි. මේ තරුණ පිරිසෙන් බහුතරය ඔය කියන උසස් පෙළ විභාගය සමත් වූවෝ නොවෙති.

දැනට දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රමුඛ විදේශ විනිමය උපයන ක්ෂේත්‍ර කිහිපය අතර ඉදිරියෙන්ම සිටින්නේ විදේශගත ශ්‍රමික ක්ෂේත්‍රය, ඇඟලුම් ක්ෂේත්‍රය හා වැවිලි ක්ෂේත්‍රයයි. මේ ක්ෂේත්‍ර තුන අතරට සංචාරක ව්‍යාපාරයද එක්ව ඇත. මේ කිසිම ක්ෂේත්‍රයක බහුතර ශ්‍රමික පිරිස උසස් අධ්‍යාපනය ලැබූවෝ නොවෙති. විදේශගත ශ්‍රමිකයන් අතර නුපුහුණු ශ්‍රමිකයන් පිරිස තවමත් බහුතරය වෙති. ඔවුහු උසස් අධ්‍යාපනය ලැබූවෝ නොවෙති. එසේම ඇගලුම් ක්ෂේත්‍රයේද වැවිලි ක්ෂේත්‍රයේද ශ්‍රමික පිරිසෙන් බහුතරය උසස් අධ්‍යාපනය ලැබූවෝ නොවෙති. මේ අනුව ශ්‍රී ලංකාවේ විදේශ ආදායම් උපදවන්නන් අතර ප්‍රමුඛව සිටින්නේ උසස් අධ්‍යාපනය ලැබූවෝ නොවෙති. එහි සරල තේරුම වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවමත් ලොකු දායකත්වයක් දරන්නේ එතරම් උගත් නැති සාමාන්‍ය ගැමි ජනතාවගෙන් සකස් වූ ශ්‍රමික පිරිස බවයි.

මීට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ජාතික ආර්ථිකයට හා රටේ ඉදිරි පැවැත්මට අවශ්‍ය ලෙස ආකෘතික ලෙසත් ව්‍යූහාත්මකවත් වෙනස් වී නොතිබීමයි. රටට අවශ්‍ය බුද්ධිමත් හා ශ්‍රමිකයන් බිහි කරගැනීමට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරනවා වෙනුවට අඳුරේ අතපතගාමින් කුමන හෝ වෙනස් කමක් කරමින් පවතින ක්‍රමය දිගටම පවත්වාගෙන යෑම අරමුණ කරගෙන තිබේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ මෙන්ම උසස් පෙළද විභාග ලෙස පවතින'මුත් ඒවායෙන් ඔබ්බට යන්නන් හා ඔබ්බට නොයන්නන්ට ජාතික ආර්ථිකයේ සුදුසු තැනකට කේන්ද්‍රගත වන්නට තරම් අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත.

පසුගිය අවුරුදු පහළොවක පමණ කාලයක සිට කාර්මික නොවිධිමත් හා අවිධිමත් අධ්‍යාපන කේෂ්ත්‍රවල ඉලක්කගත ප්‍රතිසංස්කරණ සිදු නොවූවා නොවේ. දැන් වෙනදාට වඩා බරපතළ ලෙස ආර්ථිකයට දායකත්වයක් සලසන තරුණ පිරිසක් ඒ මාර්ගයන්ගෙන් නිෂ්පාදනය කෙරේ. ඒ නිසා ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද වටිනාකමක් සහිත ශ්‍රමිකයෝ බිහි වෙති. එහෙත් රටේ සාම්ප්‍රදායික විභාග දෙකක් වන සාමාන්‍යපෙළ හා උසස්පෙළ සම්බන්ධයෙන් ව්‍යූහාත්මක වෙනස්කම් නොකිරීම කනගාටුවට කරුණකි.

සාමාන්‍යපෙළ හෝ උසස්පෙළ හෝ විභාගවලින් විශිෂ්ට ලෙස සමත් වීම හෝ අසමත් වීම දරුවකුගේ ජීවිතයට බරපතළ ලෙස බලපාන වර්තමාන ක්‍රමය සහමුලින්ම වෙනස් නොකර පවතින සම්ප්‍රදායික රටාව නවමඟකට ගැනීම කළ නොහැක්කකි. අද සිදු වන්නේ සාමාන්‍යපෙළ අසමත් වන්නා වෙළෙඳපොළ තුළ ශමිකයකු ලෙස හංවඩු ගැසීමත්, සමත් වී ඉහළට යන්නා සුදු කරපටි රැකියාවකට සිහින දැකීමත්ය. බොහෝ විට මේ දෙපිරිසම වෙළෙඳපොළ තුළ මංමුළා වන්නේ නිසි හා විධිමත් පුහුණුවකින් වෙළෙඳපොළ තුළට ඇතුළු කර නොගැනීමත් උසස් අධ්‍යාපනය සඳහා යොමු නොකිරීමත් නිසාය.

උසස්පෙළ ඉහළින් සමත් වන්නන් උත්කර්ෂයට නැංවීම අර්ථ විරහිත ක්‍රියාවකි. මාධ්‍ය සමාජ දායකත්වය දැරිය යුත්තේ රටේ සංවර්ධනය සඳහා වෙළෙඳපොළට අවශ්‍ය බුද්ධිමතුන් හා ශ්‍රමිකයන් නිෂ්පාදනය කර ගැනීමටය. වෙළෙඳපොළ තුළ අතරමං වන්නන් බහුතරයක් නිෂ්පාදනය වන වත්මන් විභාග ක්‍රමය තුළ උසස්පෙළ ප්‍රමුඛයන් උත්කර්ෂයට නැංවීම මාධ්‍ය සාක්ෂරතාව ප්‍රගුණ කරගත් සමාජයක් විසින් ප්‍රතික්ෂේප කළ යුතු මාධ්‍ය හැසිරීමකි. එහෙත් එදා-වේල හොයාගැනීමට නිතරම මොකක් හෝ අල්ලාගන්නා ශ්‍රී ලංකාවේ මාධ්‍ය කරන්නේම මෙවැනි අරුත්සුන් ක්‍රියාමය.

මාධ්‍යවල මේ නිහීන හැසිරීම නිසා සමාජගත වන පණිවිඩය වන්නේ කෙසේ හෝ මහන්සි වී පාඩම් කර ඒ ඒ විෂයයට ඉහළම සාමර්ථ්‍යය වන 'ඒ' ලබාගන්නේ නම් ජීවිතයම ගොඩ බවය. එය අන්ත මෝඩ අදහසක් වන අතර, කනගාටුවට කරුණ වන්නේ මාධ්‍ය දැන-දැන සමාජගත කරන්නේ එවැනි මෝඩ අදහස් වීමය. ළමයින් මේ නිසා පොලඹවන්නේ 'ඒ' ලබාගැනීමට මිස ජීවිතයට මුහුණදීමට නොවේ.

උසස්පෙළ විභාගය තවමත් සමාජ ජීවිතයට කරන්නේ අල්ප බලපෑමකි. එනිසා ජන ජීවිතය ගුණාත්මකව වර්ධනය වන්නේ නැත. මාධ්‍යට මහන්සි වී කටයුතු කළ යුත්තේ උසස් පෙළ විශිෂ්ටයන් උත්කර්ෂයට නැංවීමට නොවේ. ඔවුන් මහන්සි විය යුත්තේ උසස්පෙළ විභාගය සමාජ ජීවිතයට කරන අල්ප බලපෑම සම්බන්ධයෙන් කතිකාවක් ආරම්භ කර පවත්වාගෙන යෑමටය.

අබරන් 

Comments