
ඉඩෝරයට වැටෙන පොද වැස්සක් පවා පිළිගන්නේ කෙසේද; ඊටත් වඩා උනන්දුවෙන් පළාත් පාලන මැතිවරණය පිළිගනිමින් ඊට දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටී. ආණ්ඩුවේ හා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ උනන්දුවෙන් ඊට මුහුණදීම සඳහා කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ප්‍රශස්තය. සමහර දේශපාලන පක්ෂ මැතිවරණය සඳහා වූ නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කළ දිනම උදය වරුවේ ඇප මුදල් තැන්පත් කළහ. එමගින් පෙන්නුම් කරන්නේ ප්‍රාදේශීය දේශපාලනය සඳහා පවතින උනන්දුවයි.
පසුගිය බ්‍රස්පතින්දා වන විට පළාත් පාලන මැතිවරණයේ පළමු අදියරේ නාමයෝජනා භාරගැනීම අවසන් විය. එහිදී ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක නාමයෝජනා ප්‍රතික්ෂේප විය. ඒ සම්බන්ධයෙන් ආවේගශීලීව හා කනගාටුවෙන් ප්‍රකාශ නිකුත් කරන ග්‍රාමීය දේශපාලකයන් දුටු විටද අවබෝධ වන්නේ ඔවුන්ගේ දේශපාලන උනන්දුවේ ප්‍රබලකමයි. ඒ අනුව ගම, දේශපාලන නායකත්වයන් තෝරා පත් කරගැනීම සඳහා ලොකු සූදානමක සිටී.
මීට දශක කිහිපයකට පෙර ග්‍රාමීය දේශපාලකයන් යනු ගෞරවනීය චරිතයකට හිමිකම් පෑ සමාජ වටිනාකම්වලට ගරු කළ පිරිසකි. ඔවුහු දේශපාලනය කළේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නොවේ. එය ඔවුන්ට අභිමානයක් මෙන්ම පවතින ගෞරවනීය සමාජ ජීවිතයට ආලෝකයක් විය. බොහෝ විට ඒ දේශපාලනය ගරු කට යුතු වූයේද ඔවුන් හුදු නම්බුව සඳහා ග්‍රාමීය දේශපාලනයේ යෙදුණු බැවිනි.
එහෙත් වර්තමානය වන විට ග්‍රාමීය දේශපාලනයේ චිත්‍රය වෙනස් වෙමින් පවතින අතර, එය තවත් ප්‍රබල ව්‍යාපාරික කටයුත්තකි. ග්‍රාමීයව කේන්ද්‍රගත ප්‍රාග්ධනය නීත්‍යනුකූල නොවන අන්දමින් තමන් සතු කරගැනීම ග්‍රාමීය දේශපාලනයේ වත්මන් ප්‍රධාන අරමුණ බව කිව හැකි තරමට වාතාවරණය වෙනස් වී තිබේ.
මේ සම්බන්ධයෙන් හොඳම නියැදි පරීක්ෂාවක් කිරීම ඡන්දය පාවිච්චි කිරීමට ප්‍රථම සියලු ඡන්දදායකයන් විසින් කළ යුතු වගකීමකි. ඒ අනුව තම තමන්ගේ පළාත් පාලන ආයතනයේ සිටි සභාපතිවරයා, උප සභාපතිවරයා හා මන්ත්‍රීවරයා දේශපාලනයට ප්‍රවේශ වන්නට ප්‍රථම ඔහුට තිබූ ආර්ථික තත්ත්වයත් දේශපාලනයට ප්‍රවේශ වූ පසුව පවතින ආර්ථික තත්ත්වයත් සන්සන්දනාත්මකව සලකා බැලීම වටී. එහිදී ඔහු යම්කිසි වත්කමක් උපයාගෙන ඇත් නම් එය ඔහුගේ ආදායම් ඉපදවීමේ සාධාරණ ක්‍රමය සමග සසඳා බැලිය හැකිය.
උදාහරණයක් වශයෙන් කුරුණෑගල දිස්තික්කයේ ප්‍රාදේශීය සභාවක දේශපාලකයන්ගේ තත්ත්වය සලකා බැලීම යහපත් වේ. එහි සභාපතිවරයා ප්‍රදේශයේ පීඩිත කුලයක පුද්ගලයකු වූ බැවින් ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේම එම කුලයේ මිනිස්සු මහත් ප්‍රබෝධයකින් පක්ෂභේද නොසලකමින් ඔහුට තම කැමැත්ත ප්‍රකාශ කළහ. ඒ නිසා වැඩිම මනාප ඡන්ද ප්‍රමාණය ලබාගනිමින් ඔහු සභාවට තේරී පත් වූ අතර එනිසාම සභාපති ධුරයද හිමි විණි.
ඔහු රජයේ සේවයේ සුළු රැකියාවක නිරතව සිටි අයකු වූ අතර, සභාපති ධුරයට පත් වූ පසුව ඔහුගේ ඉල්ලම පෑදිණි. ඔහු ඉදිකිරීම් කොන්ත්‍රාත් කිරීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ප්‍රාදේශීය සභාවේ සියලුම ඉදිකිරීම් සම්පූර්ණ කළේ එම කොන්ත්‍රාත් සමාගමෙනි. ඊට අමතරව දේශපාලන බලය යොදා වෙනත් රාජ්‍ය ආයතනයන්හි කොන්ත්‍රාත්ද ඔහු ලබාගත්තේය. මේව්‍යාපාරය මුළුමනින්ම රඳා පැවැතුණේ දේශපාලනය මත වන අතර, ඒ නිසා ටික කාලයක් තුළ ඔහු කෝටිපතියකු බවට පත් විය. රජයේ සේවයේ සුළු පඩියකින් ආරම්භ කළ ගමන ඔහුව කෝටිපතියකු බවට පත් කළේ ග්‍රාමීය දේශපාලනයයි.
මේ ව්‍යාපාරික දේශපාලනයට සමාජය තුළද පවතින්නේ ප්‍රබල පිළිගැනීමකි. එලෙස නීත්‍යනුකූල නොවන ක්‍රමයට මුදල් එකතු කරගන්නා පුද්ගලයාට ගැළපෙන ලෙස දේශපාලනයේ මැතිවරණ ක්‍රමයද හැඩගස්වා තිබිණි. ගමේ සිදු වන මරණයට, මඟුලට හා ව්‍යසනයට 'අත දිග-හැර' වියදම් කළ හැක්කේ ව්‍යාපාරික දේශපාලකයන්ටය. සමාජය ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ යහපත් අනාගතයක් නිර්මාණය කරගැනීම නොව, තමන්ගේ අද ජීවිතයට කීයක් හෝ ඉල්ලාගැනීමයි. එය කළ හැකි දේශපාලකයාගේ පැවැත්ම තහවුරු වන අතර, එලෙස කටයුතු කළ නොහැකි අවංක දේශපාලකයා පරාජයට පත් වේ.
ප්‍රාදේශීය දේශපාලනය මුළුමනින්ම සමන්විත වන්නේ මෙවැනි ගසාකෑමේ දේශපාලනයක් මතය. ග්‍රාමීය දේශපාලනයට පුදගලයන් යොමු වෙන්නේම කීයක් හරි සොයාගැනීම සඳහා කොන්ත්‍රාත් කිරීමටය. ප්‍රාදේශීය සභාවේ හා පාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් තමන්ට ඩැහැගැනීම මේ දේශපාලකයන්ගේ එකම අරමුණය. ග්‍රාමීය දේශපාලකයන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම දේශපාලන පක්ෂවලද අවශ්‍යතාවකි. ඒ තමන්ගේ පක්ෂයේ ඒ ඒ උත්සව වියදම් ඔවුන් ලවා පියවාගැනීමත් මැතිවරණ වියදම් සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමත් අවශ්‍ය නිසාය. මේ නිසා මහජන මුදල් ගසා-කන ක්‍රවේදයක් නිර්මාණය කර ඇති අතර ග්‍රාමීය දේශපාලනය පදනම් වන්නේ ඒ මතය.
ආර්ථික කාරණා ඉලක්ක කරගනිමින් ග්‍රාමීය දේශපාලනයට යොමු වන කිසිම චරිතයකට සමාජ වටිනාකම් සහිත චරිතයකට හිමිකම් කිව නොහැකිය. ඔවුන් පදනම් වන්නේ ව්‍යාපාරික අරමුණකින් මහජන සේවයට යොමු වන තක්කඩිකම මතය. එවිට සමාජය තුළ ගෞරවනීය අන්දමින් පිළිගැනීමට ලක් වන සුජාත චරිත බිහි නොවේ. බොහෝ දේශපාලන පක්ෂයන්ගේ ග්‍රාමීය දේශපාලන නායකත්වය පදනම් වී ඇත්තේ සමාජයට පිළිකුලක් ඇති කරන තක්කඩි දේශපාලනයෙනි. සුජාත ග්‍රාමීය දේශපාලන නායකයන් දකින්නට නැති තරම්ය.
ග්‍රාමීය දේශපාලනයේ මේ නරාවළ ගැන සමාජ දේශපාලන කතිකාවක් අවශ්‍ය වුවද බොහෝ අය කරන්නේ ඒ වළෙන් තමන්ට හැකි පමණ යමක් බාගැනීම පමණි. දේශපාලන අදහස් සමාජගත කරමින් මේ නරාවළ වසාදැමීම සඳහා අරගල කරන්නේ නම් පීඩනයට පත්ව සිටින ග්‍රාමීය පිරිස ඒ හා අත්වැල් බැඳගැනීම කිසිවකුට වැළැක්විය නොහැකිය.
අබරන්