දාහක් දීලා විසි නව දාහක් තියාගත්ත වගේ | සිළුමිණ

දාහක් දීලා විසි නව දාහක් තියාගත්ත වගේ

"අද කාලෙ කොළ පුරවන්නැතුව ඉඳලත් රුපියල් විසි නව දාහක් ලාබ ගන්ඩ පුළුවන්." නිමලෙ චතුස්කෝටික තර්කයක් ගෙනාවා.

"ඒ මොකද්ද මලේ?"

"වත්කම් බැරකම් ප්‍රකාස බාර දෙන එක නීතියක්"

"අපිත් දෙන්ඩ ඕනැද. මට නං දැං අමුඩ පොල්ල ඉතරයි වත්කමට ඉතුරු වෙලා තියෙන්නෙ."

"බණ්ඩයියට පිස්සුද? ඒක බාර දෙන්නෙ මන්තිරිලා. දොස්තරලා.රාජ්ජ සේවකයො. අපි වාගෙ ලපයි සිපයි නෙවේ."

"නොදුන්නොත් මොකද වෙන්නෙ?"

"රුපියල් දාහක් දඩ ගහනවා."

"බුදු අම්මෝ.. දාහක් දැක්ක කාලයක් මතක නෑ. හරි අසාදාරණ නීතියක් නෙවැ."

"අර ගොල්ලොත් දාහක් දැක්ක කාලයක් මතක නෑ. එයාලා පන්දාහෙ කොළවලින් මෙහා අත තියන්නෙ නෑ."

"විසිනව දාහක් ලාබ තියෙන්නෙ කොහොම ද කීවෙ නෑනෙ"

"ඒක වෙන්නෙ මෙහෙමයි."

"කොහොම ද?"

"වත්කම් බැරකම් පෝරමේ කොළ ගොඩක්"

" ඉතිං?"

"ඒක පුරවන්ඩ දවසක් විතර යනවා. අහල තියන ඇහිල්ලට බෙල්ල උලුක් වෙනවා. අත කොරවෙනවා.

රත්තරං බඩු විස්තර දාන්ඩ ගියාම ගෙදර ගෑනි රණ්ඩු වෙලා මහගෙදර යනවා. බිස්නස් පාඩු වෙනවා. වැඩපොළේ ගල් හොරට පටෝනවා. පාඩුව තිස් දාහයි.

"ඉතින් විසිනව දාහක් ලාබ එන්නෙ කොහොමද?"

"වත්කම බැරකම් විස්තර බාර නොදුන්නම උසාවි දඩේ රුපියල් දාහයි.... ඒ දාහ දුන්නම විසි නව දාහක් ඉතුරුයි." 

Comments