එහෙ ඉපදුණා නම් කල්ල මරේ | සිළුමිණ

එහෙ ඉපදුණා නම් කල්ල මරේ

 “ඊළඟ ආත්මයක් තිබුණොත් මං පතන්නෙ අලුත්ගම හරි ගිංතොට හරි උපදින්ඩ”

අපේ නිමලෙ එහෙම කියද්දි මට හීංදාඩිය දැමා.

“ගෙවල් කුඩුකොරගන්ඩ, අතපය කඩාගන්ඩ ආසද?”

“ආ ඒකට කමක් නෑ. ඩිංගක් ඉවසගෙන ඉන්නවා. ඊට පස්සෙ හොඳ වන්දියක් ගන්නවා”

නිමලෙ කට ඇද කෙරුවා...

“හද්දෙයියනේ! මිනිස්සු අමාරුවෙ වැටිල ඉන්න වෙලාවෙ විහිළු කතා කියනෙක හොඳඳ?”

“විහිළු නෙමේ ඇත්ත...”

“ගෙවන්නෙ ගහපු උදවියගෙං අරංද”

“නෑ නෑ..‍. ආණ්ඩුවෙ සල්ලිවලිං”

“ඒක අසාදාරණ නැද්ද?”

“ගහපු අයගෙං ගන්න-එක අසාදාරණයි...”

“ඒ මොකද?”

“ගහපු-එක වැරදි උණත් එහෙම ගහන්නෙ නිර්බීත අය. අනික් උං කැඳකාපු රිළව් වාගේ හැංගිලා ඉද්දි මේ අය තමයි ඉස්සරහට එන්නෙ. කවද හරි රටට ජාතියට ආගමට තර්ජනයක් ආවමත් මුන්දල තමයි හටනට යන්නෙ.එහෙම අයගෙන් අය කරන එක අසාදාරණයි.”

“ආණ්ඩුවෙන් ගෙවන්නෙ මහජන මුදල්. ඒක සාදාරණද?”

“සාදාරණයි.”

“මහජනයත් හරක් වගේ පස්ස පැත්ත කැලේ ගහගෙන ඉන්නැතුව ජාතික පුරස්න ගැන හිතන්න ඕනැ නේද? හිතන්ඩ බැරි නම් සල්ලිවලින් හරි දායක වෙන්ඩෝනැ. රටක් ජාතියක් තියෙන බව දැනෙන්නෙ එතකොටයි.”

“අලුත්ගම ගහපු වෙලාවෙ නීතියෙන් දඬුවම් දුන්න නම් ගිංතොට පුරස්නෙ එන්නෙ නෑ.”

“මොන විකාරද! එතකොට හාන්දුරුවන්ට මොකද වෙන්නෙ? උන්නාන්සෙලා වැඩම කරලා අර්තෙං දර්මෙං කීවට පස්සෙ තමයි අන්නියාගංකාරයන්ට එලෝ පොල් පෙන්නුවෙ. ඇත්ත වසයෙන්ම ඔය විදියෙං හරි ජාතිකාබිමානෙ කෙළිං කෙරුවෙ නැහ්නං අපේ රටට මොකද වෙන්නෙ? කවද හරි ඇමරිකංකාරයො අල්ලගනී. දැං මේ වැඩෙං උන්දලගෙ කකුල් මැඩලිං ගහනව ඇති. ‘ලංකාවෙ මිනිහා කෙළියොත් කෙළියා.. ඇරියොත් ඇරියා...’ කියල එහෙ පත්තරවලත් යනවලු!”

නිමලෙගෙයි මගෙයි කතාවට පැහැදිලා අබිලිංගෙ මායියා කහට කෝප්ප දෙකක්ම හැදුවා ආයිබොවන්ඩ... 

Comments