![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/10/20/tl-2.jpg?itok=n6zka1uk)
'වියස්තාවක් එපා. ඔය යන හැටියකට යං'
මයික් විජේ නාගසලං වෙන්ඩ ගහලා බෝක්කුව උඩ හිටගෙන දෙපැත්තට වැනෙනවා. අබිලිංගෙ කඩේට යන එන මිනිස්සු කට ඇරගෙන බලං ඉන්නවා.
'මයික් විජේට හදිස්සියෙ මොකද වියස්තාවක් මතක් උණේ?'
මං නිමලෙගෙං ඇහුවා.
'මිනිහා ඊයෙ පෙරේදා නුවර ගෙහුං ආවා. වියස්තාව එපා කියලා ඒකාබද්ද නිවේදනයක් නිකුත් කොරලලු.'
'දෙයියෝ සාක්කි! කව්ද ඒක කොරල තියෙන්නේ? ආණ්ඩුවෙන්ද,'
'නෑ නෑ තමන් ආණ්ඩුවටත් වඩා ලොකුයි කියලා හිතාගෙන ඉන්න උදවිය'
'ඇත්තට ම ඒ අය ලොකුයි ද?'
'ඇඟ ලොකුයි. මොළේ ගැන නං කියන්ඩ මන් දන්නේ නෑ. ඒකට ඉතිං වයිද්ද පරීක්සනයක් තියන්ඩ වෙනවා'
'වියස්තාව එපා කියන්නෙ ඇයි?'
'ඒ අය කියන හැටියට රට පාලනය කරන්ඩ කියලනේ'
'ඒ අය නීතිය දන්නව ද?'
'ඒ අයගෙ නීතිය දන්නවා. ඒක රටේ ම නීතිය වෙන්ඩ ඕනෑ කියලයි කියන්නේ'
'දෙයියෝ සාක්කි! ඒකාබද්ද නිවේදනයක් ද ඒකාබද්දේ නිවේදනයක් ද?'
'ඒකාබද්ද නිවේදනයක්. ඒ උණාට ඒක හැදෙන්නෙ ඒකාබද්දෙං'
'ඒකාබද්ද, ඒකාබද්දෙ කියන්නෙ දෙකද්ද එකද්ද?'
'මෙච්චර කල් හිතාගන හිටියෙ දෙකක් කියලා. දැන්නං පේන්නෙ දෙකම එකක් බව'
නිමලෙයි මායි දන්නෙම නැතුව කතාව දිග් ගැහුණා.
'වියස්තාවක් එපා' මයික් විජේ කෑගහනවා.
කොල්ලො හූ කියනවා.
ඒ අතරෙ එකෙක් විජේගේ සරම කැඩුවා.
මයික් විජේ බෝක්කුවෙං පෙරළුණා.