විකට් කණු කඩන්නයි හදන්නේ බුදු අම්මෝ! | සිළුමිණ

විකට් කණු කඩන්නයි හදන්නේ බුදු අම්මෝ!

 අබිලිං ගෙ කඩේ මේ දවස්වල මාත්තුරුකාව විකට් කණු කැඩිල්ල. හරක් බාන හෙවම්මාරුවෙං බඳින්ඩ යන ගමන් කඩේට ගොඩ වුණු නිමලෙ අබිලිංගෙං විකට් කතාව අහනවා. මයික්විජේ විකට් එකට බෝලෙ දාන හැටි කියනවා.

නිමලෙගෙ මායියා විඩෙං විඩේ කඩේට ඇවිත් විකට් කැඩිල්ල ඉවර නැද්ද තව ම අහමින් චීත්තෙ හරි ගස්ස ගස්සා කේන්තියෙං ආපහු යනවා.

බැරි ම තැන මාද් ගියා විකට් කඩන එක අහන්ඩ.

“අබිලිං ඔය කියන්නේ පාකිස්තානෙ විකට් කැඩිල්ල ද?”

මං ඇහුවා.

“නෑ”

“එහෙනං ලංකාවෙ විකට් කැඩිල්ල ද?”

“නෑ”

“එහෙනං ලංකාවෙ කෙල්ලන්ගෙ කණ්ඩායමේ විකට් කැඩිල්ල ද?”

“නෑ ඕයි!”

“එහෙනං කොදෙව් කෙල්ලගෙ විකට් කැඩිල්ල ද?”

“නෑ නෑ”

“එහෙනං හද්දෙයියනේ කොහෙදි කඩන කැඩිල්ලක් ද මේක?”

“කිරිකට් කණ්ඩායමේ කැඩිල්ලක් නෙමේ”

“එහෙනම්”

“අර අර බැසිල් උන්නැහේගෙ විකට් කැඩිල්ල”

“දෙයියෝ සාක්කි! අයියලා මල්ලිලා කිරිකැට් ගහන්ඩ පටං අරං ද!”

“කිරිකැට් නෙමේ බණ්ඩයියෙ මැම්බර චන්දෙ ගැනයි කියන්නෙ”

“මොකක්ද කරන්ඩ හදන්නෙ?”

“උන්නැ‍හෙලා චන්දෙං විකට් පොලු කඩලා දානවලු. චන්ෙද කියන්නෙ මැච් එකක්ලු”

“මෙදා පාර සිල්රෙදි, මල් බාල්දි, මුල්ලු, තාච්චි, උදලු, ඔරලෝසු බෙදන්නැද්ද?”

“එව්ව බෙදන්ඩ සමුර්දි සල්ලි ගන්ඩ කෙරේමයක් නෑ නෙවැ”

“අපරාදේ! චන්දදායකයන්ට තමයි පාඩු”

“ඒ කීවෙ?”

“කිරිකැට් ගහල පෙන්නුවට චන්දදායකයන්ට වැඩක් නැ නෙවැ”

ඔය අව් අස්සේ මයික් විජේ අලුත් අදහසක් ගෙනාවා.

“විකට් තුනෙං එක විකට්ටුවක් කැඩුණා. 19 වෙනකං පිට්ටනියේ නෑ ඇතුළේ.”

“අනෙක් විකට්?”

“ඒ දෙකෙන් එකක් ළඟදි කැඩෙනවා. අනික ඊළඟට”

“බුදු අම්මෝ!”

Comments