![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/10/06/tl-2.jpg?itok=Halr2hei)
“මල්ලි අයියට විරුද්දව වැඩ කරයි කියලා කව්ද අප්පේ හිතුවේ!” අබිලිංගෙ මායියා කම්මුලට අත තියාගත්තා. රූපවාහිනිය බල-බලා ඉන්න ගමන් තමයි ඕක කියවුණේ. කඩේට බඩු ගන්ඩ ආපු සෙනඟ බඩු ගැනිල්ල පැත්තක තියලා රූපවාහිනියට එබීගෙන. සනත් ජයසූරිය බෝල දාහතෙං ලකුණු පනහ ගහද්දිත් මේ තරං උනන්දුවෙං රූපවාහිනිය බැලු විත්තියක් මට නං මතක නෑ ආයිබොවන්ඩ.
“එක බඩවැල කඩාගෙන උපන්නත් එක වගේ වෙන් නෑ නෙවැ. අනේ අනිච්චං සංසාරේ!” මයික් විජේගෙ මායියා හූල්ලපු හීලිල්ල දැකලා මටත් ඉබේටම හීල්ලුණා ආයිබොවන්ඩ. මං බැලුවා කව්ද මේ ටීවී පෙට්ටියෙං කතා කොරන්නෙ කියලා.
අප්පට සිරි ගජ! අයියා පන්සල් යන අතරේ මල්ලි යාපනේ ගිහිං නල්ලූර් කෝවිලත් වැඳලා මාද්දිය හමුවක කතා කොරනවා. උතුරේ ඉඩම් හමුදාවෙන් නිදහස් කරලා මිනිස්සුන්ට දෙන්ඩ ඕනෑලු. පසුගිය දවස්වල ආණ්ඩුවෙං ඉඩං නිදහස් කරන්ඩ පටං ගත්තම හමුදාව ඉවත් කිරීමෙං රටම අනතුරේ අපේ හාමුදුරුවනේ කියමින් අයියණ්ඩි පන්සල් දෙවනත් කෙරුවා. ඒ විදියට බලං ගියාම මලයණ්ඩි උතුරේ සංචාරය කොරලා රටම අනතුරේ හෙළන යෝජනාවක් තමයි ගෙනෙන්නේ.
“මේ එයාමද එයා වගේ වෙන කෙනෙක්ද?”
“කිව්වත් වාගේ. අයියට විරුද්දව මල්ලි වැඩ කරන්න විදියක් නෑනේ!”
යකඩ මරනුත් හවුල් වුණා.
“නෑ... නෑ... එයා ම තමයි” අබිලිංගෙ මායියා කිව්වා.
“රණවිරුවො දංගෙඩියට දක්කන්න ආණ්ඩුව උත්සාහ කරනවා කියලා අයියණ්ඩි කියනවා. හමුදාව අපරාද කළා කියලා මලයණ්ඩි දැං කියනවා” යකඩ මරං කියපි.
“මේක මාද්දිය හමුවක්නෙ. සජීවී සංවාදයක් උණා නම් කෝල් එකක් දීලා මේ ඔහේමද කියලා අහන්ඩවත් තිබුණා.”
දැං ඉතිං කරන්ඩ තියෙන්නෙ එකම දෙයයි.
හත් කෝරළේ අපි ළඟට ඇවිත් අපේ චන්දෙන් පාර්ලිමේන්තුවට ගියපු උත්තමයගෙ මලයා අයියණ්ඩිට විරුද්දව කතා කොරද්දි වැඩුමහල් සහෝදරයා හැටියට කොච්චර ගිනි ගෙඩියක් හිතේ ඇද්ද? දැං ඉතිං උන්නැහේගෙ හිත හදලා ලියුං කරදහියක්වත් යවන්න ඕනෑ. අපේ චන්දෙං කුරුණෑගලට පත් වුණු මන්ත්‍රී උත්තමයෙක් හැටියට එතුමගෙ හිත හදන එක චන්දදායකයො හැටියට අපේ වගකීමක්. බොරු ද මං අහන්නේ?