විජේ කුමාරයා මූදෙ ගිලුණා නං අපි කොහෙද? | Page 11 | සිළුමිණ

විජේ කුමාරයා මූදෙ ගිලුණා නං අපි කොහෙද?

 පන්සලේ නායක හාන්දුරුවො ඔත්පළ වෙලා. පොඩි හාන්දුරුවො පිඬු සිඟා වඩිනවා. අබිලිංගෙ කඩේ ළඟින් වඩිද්දි අබිලිංගෙ මායියා මිදුලට ආවා.

උන්වහන්සේ මඟ නැවතුණා.

පාත්තරේට ආහාර ලැබුණා.

“සුවපත් වේවා!”

පොඩි හාන්දුරුවො පන්සලට වැඩම කොළා. කඩේට ආපු උදවියට මාත්තුරුකාව උණේ පිඬු සිඟා වැඩිල්ල.

“උන්නාන්සේ සිල් රෙදි අරමුදලට සල්ලි එක්කාසු කොරන්ඩ වැඩියෙ නැද්ද?” මයික් විජේ ඇහුවා.

“මොන පිස්සු ද? අපේ ලොකු හාන්දුරුවො පොඩි හාන්දුරුවො හික්මවලා තියෙන්නෙ එහෙම නස්පැත්තිඔලට හවුල් වෙන්ඩ නෙමේ.” අබිලිං කියපි.

“අනාථයන්ට ගහන්ඩ ගල්කිස්සට වැඩම කෙරුවෙ නැද්ද?” මයික් විජේ ආයෙත් අහපි.

“විජේ. උඹලගෙ පන්සල් නොයන පලියට පොඩි හාන්දුරුවන්ට නින්දා කොරන්ඩ එපා. උන්නාන්සෙ, ලොකු හාන්දුරුවන්ගෙ අවවාදඔලින් එහාට යන් නෑ. සරණාගතයන්ට ගහන්ඩ යන එකා මිනිහෙක් ද? මහසෝනෙක් ද?” අබිලිං ඒකටත් උත්තර දුන්නා.

“ඔත්පළ වෙලා හිටියට අපේ ලොකු හාන්දුරුවො කවදාවත් රජ්ජුරුවන්ට නූල් බඳින්ඩ ගියෙ නෑ. රජ්ජුරුවන් ළඟ කංකෙඳිරි ගාලා විලාකටුපොත හන්දියෙං සාප්පුවක් දාගත්තෙ නෑ. රජ්ජුරුවන්ගෙ රාජ පුරුෂයො මිනී මරන කොට රණවිරුවො කියලා උඩගෙඩි දෙන්ඩ ගියෙ නෑ. රජ්ජුරුවන්ගෙ රණවිරුවන්ගෙ මිනීමැරුම් ගැන පරීක්ෂණ කොරනකොට රණවිරු දඩයමං සොබාදහම කුපිත වෙලා නියඟයක් ආවා කියලා ගොම්පස් අල්ලන්ඩ ගියෙ නෑ.” ඔය විදියට අබිලිං කියාගන කියාගන ගියා.

කිව්වහම මොකද ආයිබොවන්ඩ, අපේ ගමේ පන්සලේ නායක හාන්දුරුවො අද ඔත්පළ වෙලා හිටියට අබිලිං කිව්වා වගේ බුදු හාන්දුරුවන්ගෙ දරුමෙ පිරුවටයක් කරගෙන අපරාද කාරයො පස්සෙ ගියෙ නෑ. ඒ හින්දා අදටත් පන්සලට සෙනගත් නෑ. ලයිටුත් නෑ. ලොකු ලොකු වාහන එන්නෙත් නෑ. කොටිම් ම පිට හාමුදුරුවරුත් වැඩිය වඩින්නෙ නෑ. හැබැයි අපේ හාන්දුරුවො බුදු බණෙං පිට ගියෙත් නෑ. අපේ පොඩි හාන්දුරුවොත් ඒ මග ම යනවා. අනේ වාසනාවන්.

“ඒ උණාට ඔය සරණාගතයො කියන අය බෞද්ධ රටකින් එළියට ආපු මුස්ලිම් අයලු නේද? එහාට එපා වෙච්චි උදවිය අපි බාර ගන්නෙ අහවල් දේට ද?” යකඩමරං අහපි.

“මූදෙ ගිලිල මැරෙන්ඩ අරින එක ද පණ බේරගන්ඩ උදවු කරන එක ද හරි?” අබිලිං ඇහුවා.

“ඒ උණාට මුස්ලිම් නෙවැ.” යකඩමරං පරදින්ඩ කැමති නෑ.

“අපේ එවුං ඉතාලියට පැනල යනකොට මූදෙ ගිල්ලෙව්වනං හරි ද?” අබිලිං ඇහුවා.

“අපේ එවුං බෞද්දනෙ” යකඩ මරං අරින්නෙ ම නෑ.

“යකඩො! සිංහල ජාතිය පටන් ගත්තු විජේ කුමාරයා මන්නාරං බොක්කෙදි ගිලිල මැරුණනං අද අපි ඉන්නව ද?”

අබිලිං බැරි ම තැන ඇහුවා.

Comments

පිටු