![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/09/22/colsep-24-1135440115_6066439_19092017_RTW.jpg?itok=IFFXZm-R)
කියැවීම සඳහා අපෙන් පොතක් ඉල්ලාගත් අයකු නැවත ඒ පොත ආපසු බාර නොදෙන්නේ ඇයි? ඒ පිළිබඳ මා අනුමාන කරන හේතු කිහිපයක් මෙසේය.
කියැවීම මිනිසා සම්පූර්ණ කරයි. පොත කියවා හමාරවූ පසු මිනිසාට දැනගන්නට ලැබෙන්නේ තමා ඒ කී පරිදි සම්පූර්ණ නොවූ බවයි. මේ නිසා හෙතෙම කල්පනා කරන්නේ ඒ පොත කියැවීමෙන් තවෙකකුට පලක ්නොවන බවයි. එබැවින ්පොත ආපසු නොදෙයි.
ගණිත හැකියාවද මේ සඳහා බලපාන බව පෙනේ. පොත කියවා හමාරවූ පසු මිනිසා පොතේ විකුණුම් මිල හා ඒ මොහොතේ වටිනාකම ගණනය කරයි. විකුණූ දින සිට භාණ්ඩයක වටිනාකම ක්‍රමයෙන් ක්ෂය වෙයි. ඒ අනුව පොතේ පහළ ගිය වටිනාකමට ප්‍රවාහන ගාස්තු සහ බාරදීමට යන කාලයේ වටිනාකම ගණනය කොට එකතු කළ කල්හි දැනගන්නට ලැබෙන්නේ එය හිමිකරුට භාරදීම අලාභ බවයි. එබැවින ්පොත ආපසු නොදෙයි.
පුස්තකාලයකින් ගෙන ගිය පොතක් ආපසු බාර නොදුන්නොත් දඩගෙවීමට සිදු වේ. එහෙත් මිතුරකුගෙන් ඉල්ලාගෙන යන පොතකට එසේ නොවේ. එය මෙලොවදී තියා පරලොවදීවත් විපාක දෙන පාපකර්මයක්ද නොවේ.
පොත් මිලදී ගත්තත් සමහර පොත් වහාම කියැවීමට අපට අවස්ථාවක් නොයෙදේ. යම් පොතක් අපට කියැවීමට ලැබෙන්නේ මිලට ගෙන වසරකින් පමණ විය හැකිය. ඒ හැරුණු කොට සමහර පොත් නැවත නැවතත් කියැවීම සඳහා අවශ්‍ය වෙයි.
මා කුඩා කාලයේ අප නිවෙසේ පුස්තකාලයක්වූ අතර, එහි වූයේ මගේ දෙමවුපියන්ගේ පොත්ය. එකල වට්ටම් සහිතව පොත් මිලයට ගත හැකි පොත් ප්රරදර්ශන නොවීය.තාත්තා සතියකට වරක් හෝ දෙකක් වැඩ ඇරී ගෙදර එනවිට පොතක් හෝ දෙකක් මිලයට ගෙන එයි. පැරැණි සිංහල සාහිත්‍ය පොත්, පාළි, මනෝවිද්‍යා, කාව්‍ය, බුදුදහම්, විචාර හා විවේචන, දේශපාලන හා ආර්ථික ආදිවූ විවිධ ක්ෂේත්රවලට අයත් පොත් එහි විය. එමෙන්ම රසවාහිනී, නවයුගය, ශ්‍රී ආදි සඟරාද ඒ එකතුවේ විය.
එළුඅත්තනගලුවංශය කියවා තේරුම් ගැනීමට අපහසු තරමේ වයසකදී මම අපේ පුස්තකාලය බාරව කටයුතු කිරීමට බලෙන්ම සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමි. මෙහිදී පැනනැගුණු ප්රමුඛ ගැටලුව වූයේ පොත් ගෙන යන හිතවතුන් අතින් පොත් වාෂ්ප වීමයි. සමහර විට පොත් පමණක් නොව හිතවතුන්ද පොත් සමගම වාෂ්ප වෙයි.
මේ ගැන මා තාත්තා සමග කතා කළ විට ඔහු කියා සිටියේ පොත් ඇත්තේ කියැවීමට බවයි.අප පොතක් කියවා අවසන් කළ පසු එය අන්අයටද දිය යුතුය. ඔවුන්ද ඒවා කියවා දැනුම, අවබෝධය ලබා ගත යුතුය.
මේ සියලු භෞතික දෑ කාලයාගේ ඇවෑමෙන් දිරාපත් වෙයි. ඒවා පවතින කාලය අතරතුර වැඩි දෙනකු අතරට සංසරණය විය යුතුය. වැඩි දෙනකු ඒවායෙන් ප්‍රයෝජන ගත යුතුය.
දර්ශනකරුණාතිලක