හාන්දුරුවො වඩිනකං... | සිළුමිණ

හාන්දුරුවො වඩිනකං...

 මේ දවස්ඔල අබිලිංගෙ කඩේට බඩු ගන්ඩ එන කාගෙ කාගේත් මාත්තුරුකාව 'සිල් රෙද්ද...'

මෙහෙං හත ගහන්නැහේ පායනවා. මී හරක් වතුර ඩිංගක් නැතුව වැව් මඩේ එරිලා කටිං පෙණ දාගෙන හෝස් හෝස් ගානවා. වැහිලිහිණියො ආකාසෙ දෙවනත් කරනවා.

දැදුරුඔය ජලාසෙ වතුර හිඳිලා ගෙවල් මතු වෙලා. මේවා ගැන වගේ වගක් නැති උන්නාන්සේලා සිල් රෙද්දයි රුපියලකුයි ගෙනියන්ඩ එයි කියල සමහරු මිදුලට වෙලා කට ඇරගෙන ඉන්නවා.

අබිලිංගෙ කඩේට ආපු මිනිස්සු බඩු ගැනිල්ල පැත්තක තියලා පාරට බෙලි දික් කරගෙන ඉන්නවා.

යකඩ මරං හාමුදුරුවන්ගෙ පාත්තරේට රුපියලක් දාන්ඩ හිතාගෙන මායියගෙං රුපියලක් ඉල්ලුවා.

“උඹට ලැජ්ජ නැද්ද මගෙං රුපියලක් ඉල්ලාගන්ඩ. දුන්නු දෙකයි පනහ සැරෙං සැරේ බීඩි බොන්ඩ ඉල්ලං ගියා. දැං ඉතිං දෙන්ඩ වෙන්නෙ මගෙ කැවුතු වහල්ල තමයි!”

ඔහොම කියද්දි යකඩ මරංට මල පැන්නා.

ගෙදර හට්ටි පෙට්ටි, චීත්ත අග්ගිස්සෙ ගැටේ, ටිං බෙලෙක්ක බෝතල් රාක්ක තල්ලු කොරමින් රුපියලක් හෙව්වා. අන්තිමේ දි බරා‍ඳෙ මුල්ලෙ ලට්ට ලොට්ට යට තිබිලා එකදාස් නවසිය බර ගණන්ඔල අච්චු ගහපු මලකඩ කාපු තඩිම තඩි රුපියලක් හම්බුණා. යකඩ මරං ඕක සරං කොටෙං පිහින්ඩ ගිහිං ටාං ගාලා බිම වැටිලා රෝල් වෙලා සාලෙට තල්ලු වුණා. යකඩ මරං ඒක පස්සෙං යද්දි නළල බිත්තියෙ වැදිලා ආප්පයක් වාගෙ ඉදිමුණා.

දැං අබිලිංගෙ කඩේට වෙලා කල්පනා කොරනවා. අබිලිංගෙ මායියගෙ සිල් රෙද්දෙං පදාසයක් මීයො කාලා. මීයො කාපු රෙද්ද පාත්තරේට දාන්නෙ මොන හිතකින්ද කියලා හූල්ලනවා.

මයික් විජේගෙ මායියා අමුතුම අදහසක් පළ කොරනවා.

“කී දොහක් සිල් ගන්ඩ ඇන්දද? දෙසැරයක් හෝදලත්, ඇ‍ඟෙන් එන පුසුඹ යන්නෑ. හාන්දුරුවන්ගේ පාත්තරේට මොන හිතකින් ඕක දාන්ඩද මන්ද...”

උන්දෑ හූල්ලනවා.

“හාන්දුරුවන්ට ඕක පුරස්නයක් නොවෙයි නං, උඹ කලබොල වෙන්නෙ අහවල් දේකටද බොලං?”

අබිලිං කීවැයිම් පස්සෙ උන්දැ නිස්සද්ද උණා.

අබිලිංගෙ කොල්ලා ඇච්ඇස්සී ලියලා ගමේ කොල්ලොත් එක්ක රෝන්ද ගගහා ඉන්න අස්සෙ,

ඒ ගමන නවත්තලා කොලු නඩෙත් එක්ක පාරට වෙලා ඉන්නවා... එකෙක්ගෙ අතේ ඇල්බීසියා මාවරයක්... තව එකෙක්ගෙ අතේ ගොම බාල්දියක්...

“ඔය මොකටද පුතේ?”

බැරිම තැන මං ඇහුවා.

“සිල් රෙදි බෙදුවෙ රජයේ දේපළවලිං ඒ කියන්නෙ මහජන මුදල්.

දැං මහජනයගෙම්ම මුදල් ඉල්ලන්ඩයි හදන්නේ. හොඳවැයිං සල්ලි ටිකක් දෙන්ඩ තමයි මේ බලං ඉන්නේ!”

කොලුවා එහෙම කියද්දි මයෙ දණිස් දෙක මැඩිලිං ගහන්ඩ පටන්ගත්තා ආයිබොවන්ඩ.

මේ නහින-දෙහින කාලේ මෙහෙම ගිනිවිජ්ජුම්බරත් දකින්ඩ උණා නෙ හැබෑට. 

Comments