පරිපාලනයේ විපිරියාස! | සිළුමිණ

පරිපාලනයේ විපිරියාස!

 කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරිනියක වූ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් මානෙල් කුලරත්නට උසස්වීමක් ලැබී තිබීම අප සියලු දෙනාට සතුටට කරුණකි. එහෙත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ශ්‍රම ශක්ති අධ්‍යක්ෂ ධූරයට පත් වන ඈ නිසා යටියන්තොට සරණක් නැතිව සිටි දහස් ගණන් ජනතාව අසරණ තත්ත්වයට පත් වීම වැළැක්විය හැක්කේ ඇගේ අනුප්‍රාප්තිකයාට පමණි. ඒ අර්ථයෙන් මානෙල් කුලරත්නගේ උසස්වීම සතුටට කරුණක්ම නොවේ.

මානෙල් කුලරත්න මහන්සි වී වැඩ කරන බහුතරයක් රාජ්‍ය නිලධාරීන් අතර එක් තැනැත්තියකි; එහෙත් ඒ බහුතරය අතර පෞද්ගලික වාසි නොතකා වැඩ කරන අතළොස්සක් රාජ්‍ය නිලධාරීන්ගෙන් අයෙකි. ඒ නිසා මානෙල් කුලරත්න රටට සම්පතකි.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ලෙස ඈ ගැන දෙනෝදාහක් දෙනා හඳුනාගත්තේ ගිය වසරේ මැයි මස රටම විනාශයට පත් කළ අයහපත් කාලගුණ තත්ත්වය නිසා උදා වූ ඛේදවාචකයෙනි. ඒ නිසා පීඩාවට පත් වූ යටියන්තොට ජනතාවට දිවා රෑ ශක්තියක් වූයේ මානෙල් කුලරත්නය. ඒ යකඩ ගැහැනිය නොවන්නට යටියන්තොට ජනතාව නැත්තටම නැති වන්නේ නැතත් දහසකුත් කරදර පීඩා මධ්‍යයේ නිලධාරිවාදයට යට වන බව නම් සත්‍යයකි. නහයට උඩින් දුක් කරදර ආ කල රජයේ නිලධාරීන්ගේ උද්දච්ච නිලධාරිවාදයෙන් බැට කන්නට වීම මෙරට ජනතාව මුහුණදෙන බරපතළ ප්‍රශ්නයකි. එහෙත් මානෙල් කුලරත්න ඒ අශිෂ්ට නිලධාරිවාදයේ සැතිරියක බව නම් ඉඳුරාම කිව හැකිය.

ප්‍රාදේශීය පරිපාලනයට රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ අඩුවක් පවතී. බොහෝ ජ්‍යේෂ්ඨයෝ කොහොමින් කොහොම හරි කොළඹ අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ අග්‍රාමාත්‍ය කාර්යාලයේ තනතුරකට පැනගනිති. ඊට හේතුව වන්නේ තමන්ගේ ජ්‍යේෂ්ඨත්වයට සමගාමීව යම්කිසි පහසුකම් සහිත කාර්යාලයක සේවයට ගොස් පෞද්ගලික සුඛවිහරණය ඇති කරගැනීමේ පෘථග්ජන ආසාවයි. එය වරදක් නොවූවද ඉන් පීඩාවට පත් වන ග්‍රාමීය ජනතාවට සිදු වන්නේ අසාධාරණයකි.

ප්‍රාදේශීය පරිපාලනයේදී ප්‍රාදේශීය මහ ලේකම් තනතුරකට පත් විය යුත්තේ රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකි. එහෙත් බොහෝ පිටිසර හා කටුසර ප්‍රදේශයන්හි එම සේවයේ පළමු පන්තියේ නිලධාරීන් නැත. එනිසා තුන්වන පන්තියේ තරුණ නිලධාරීහු ඒවායේ රාජකාරි කරති. මේ තාක් තරමට හෝ ප්‍රාදේශීය පරිපාලනය කඩා නොවැටී පවතින්නේ රාජ්‍ය පරිපාලන සේවයේ තරුණ නිලධාරීන්ගේ අප්‍රතිහත කැප කිරීම නිසා බව ඔවුන්ට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුය. විශේෂයෙන් පැරණි යුද ගම්මානයන්හි කරදර දුක් කම්කටුලු විඳිමින් අදද එම ප්‍රදේශයන්හි ආන්තික ජන කොටස්වලට සේවය කරන්නේ මේ අඩු වයස්වල තරුණ ජව සම්පන්න නිලධාරීන්ය.

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ දෙවැනි පන්තියේ නිලධාරීන් සෙවීම මේ වන විට කළුනික සොයාගැනීමටත් වඩා අපහසුය. එම සේවයේ පවතින අකාර්යක්ෂම පරිපාලනය නිසා විධිමත් පරිදි සේවා කාඩරයන් පරිපූර්ණ කර නැත. එනිසා තුන් වන ශ්‍රේණියේ තරුණ නිලධාරීන් රැසක් හා පළමු ශ්‍රේණියේ නිලධාරීන් රැසක්ගෙන් සේවාව පිරී පවතී. පරිපාලන සේවා කමිටුව කරන්නේ තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් පරිධියේ සේවයටත් පළමු ශ්‍රේණියේ නිලධාරීන් කේන්ද්‍රයේ සේවයටත් අනුයුක්ත කිරීමයි. එනිසා ආධුනික වුවත් ඔවුහු ජව සම්පන්න තරුණ රුධිරය කැකෑරෙන පොළොවේ කාෂ්ඨක අව්වේ වේළෙමින් යමක් රට වෙනුවෙන් කරන්නට තැත් කරති. ඒ අතර පළමු ශ්‍රේණියේ සටකපට නිද්‍රාසහගත අලසයෝ කොළඹ ප්‍රධාන කාර්යාලයකට හෝ පළාත් සභාවේ කාර්යාලයකට හෝ රිංගාගෙන සැප සම්පත් භුක්ති විඳිමින් ඔහේ කාලය ගත කරති.

කොළඹ ප්‍රධාන කාර්යාල රැසක නිලධාරි කාඩරය සකස් කරන්නේ රාජකාරි අවශ්‍යතාවට වඩා නිලධාරීන්ගේ පුහු මාන්නක්කාරකමටය. සමහර ආයතනයන්හි කාර්යයන් උලුප්පා දැක්වීම සඳහා නිලධාරී කාඩරය වැඩි කරගනී. සමහර ආයතන ප්‍රධානීන්ගේ තනතුරු ශක්තිමත් කරගැනීම සඳහා දා කාඩරය වැඩි කරගනී. ඒ සියල්ල කරන්නේ නිලධාරීන්ගේ පුහු මාන්නය සඳහා මිස මහ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට නොවේ. එවිට කොළඹ ලොකු ආයතනයක ඉහළ තනතුරකට පත් වන රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් සැප සම්පත් භුක්ති විඳිමින් කාලය කා දමනු මිස රටට සමාජයට යහපතක් කරන්නට තැත් කරන්නේ නැත. එවැනි කැක්කුමක් සහිත නිලධාරීන් සිටියත් ඔවුන්ට ඒ සඳහා අවකාශයක් නොලැබෙන්නේ ඒ ඒ ආයතනයන්හි රාජකාරි අවශ්‍යතාවට වඩා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සිටින බැවිනි.

ප්‍රාදේශීය පරිපාලනය ප්‍රතිසංවිධානය කර මීට වඩා අඩු ජන කොටසක් ඉලක්ක කරගනිමින් ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක වපසරිය සකස් කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. එවිට බිහි වන අලුත් පරිපාලන ඒකකයන්හි ප්‍රාදේශීය මහ ලේකම් තනතුරුවලට කොළඹ ලොකු ආයතනයන්හි පුස් කකා සිටින ජ්‍යේෂ්ඨයන් අනුයුක්ත කළ යුතුය. බලය බෙදාහැරීමේත් බලය විමධ්‍යගත කිරීමේත් මූලධර්මයන්ට අනුව කොළඹ ලොකු ආයතනවලට ජ්‍යේෂ්ඨ නිලධාරීන් අනුයුක්ත කිරීම වරදකි. ඒ ජ්‍යේෂ්ඨයන් සිටිය යුත්තේ පරිධියේය. පරිධියට බලය බෙදා හැරීමට හා විමධ්‍යගත කිරීමට සමාන්තරව ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ වරප්‍රසාදයන්ද ඉහළ දැමිය යුතුය. එසේ නොවන්නට වන්නේ කොළඹ ලොකු ලොකු කාර්යාල තුළ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පුස් කෑමය. අපේ කීර්තිමත් රාජ්‍ය පරිපාලන සේවා නිලධාරිනියක වන මානෙල් කුලරත්න කොළඹට කැඳවීමද අපරාධයක් වන්නේ එබැවිනි.

අබරන් 

Comments