“හෙට පෝයද මලේ?”
මං නිමලෙගෙං ඇහුවා. නිමලෙ උඹ කොටේ උඩට වෙලා කල්පනා කරනවා. කම්බි වැටේ සිල් රෙද්දක් වනලා. හුළඟට හෙලවෙනවා.
“පෝය ගෙවිලා හත්තට දොහක් ගත වුණා නෙවැ. බණ්ඩයියට දින පැටලිලා ද?”
“එහෙම වෙලා ද කියලා හිතුණා සිල් රෙද්ද දැක්කම.”
“හා... දැනුයි තේරුණේ. බණ්ඩයියා ඕක දැන් ද දැක්කේ. තුන් දොහක් තිස්සේ වැටේ වැනුණා නෙවැ.”
“හද්දෙයියනේ! සිල් රෙද්දක් තුන් දොහක් තිස්සේ වැටේ වැනෙන්නෙ අහවල් දේටද? මේක අන්නියාගංකාරයන්ගෙ වැඩක් කියලා හිත යි කවුරුහරි දැක්කොත්.”
“බණ්ඩයියා කියන්නෙ අපේ මායියා අන්නියාගං කාරයන්ට අහු වෙලා කියලද?”
“නෑ නෑ හෙණං මොකද්ද මේ වෙලා තියෙන්නේ?”
“ජනාදිපති චන්දෙදි බෙදාපු සිල් රෙද්දක් අපේ මායියටත් ලැබුණා නෙවැ.”
“ඉතිං?”
“ඕක අඳින්ඩත් ලෝබකොමේ ට්‍රන්ක පෙට්ටියේ දාලා වහලා තිබ්බේ.”
“ඉතින්?”
“ඉතින් සිල්රෙදි නඩු තීන්දුව දුන්නු හැටි ටීවීඑකෙං දැක්කා.”
“ඉතිං?”
“ඒක දැකපු මයික් විජේ සිල්රෙදි බෙදපු එවුන්ට වගේ ම ගත්තු එවුන්ටත් නීතියෙං දඬුවං හම්බු වෙයි කියලා කියපි.”
“ඉතිං?”
“ඉතිං අපෙ මායියා සිල් රෙද්ද කහල ගොඩට දැම්මා.”
“ඉතිං?”
“අපේ බාල කොලුවා ඕක අරං ගිහිං වැටේ වැනුවා.”
“ඕං ආයිබොවන්ඩ දැනුයි කාරණේ තේරුණේ. අපේ මායියා සිල් රෙද්ද හම්බුණ දා ඔටුන්න හම්බුණු අනුලා දේවි වගේ හිටියේ. හීනෙං ‘හිකි හිකි’ ගානවා බැරි ම තැන මං එළියෙ බුදියන්ඩ පටං ගත්තා. සිල් රෙද්ද ඔතලා තිබ්බ පොලිතින් කොළේ ජනාදිපතිතුමාගෙ පයින්ඩෙ කොට්ටෙ යට තියාගන හිටියේ. හැබැයි අපේ උන්දා සිල් රෙද්ද විසිකෙරුවෙ නෑ ආයිබොවන්ඩ. ඒ ගැන නිමලෙ මගෙං ඇහුවා.”
මේ මං දුන්න උත්තරේ:
“අපෙ මායියා කියනවා, හෙටානිද්දා ඒකාබද්දේ බලේ අල්ලලා සිල් රෙදි වැරදිකාරයො එළියට දානවා. බලාගෙන හිටපල්ල ඕං ඔහොම. පුළුවන් නම් ගනිව් අපේ සිල් රෙදි! කියලා මටත් දත්කූරු කෑවා. මං මිදුලට විස උණා. මට නං පේන්නෙ අර ඒකාබද්දෙට ඇවිත් තියන මරුවිකල්ල අපේ මායියලටත් බෝ වේගන යන බවයි.”