
නිවසේ ඇති අපද්‍රව්‍ය තුළ මයික්‍රො බිට්ස් අන්තර්ගතවේ. භාවිතයෙන් පසු පරිසරයට මුදාහරින පොලිතින් හා ප්ලාස්ටික්වලින් ප්‍රතිචක්‍රීකරණයට ලක්වන්නේ 7% ක් වැනි සුළු ප්‍රමාණයකි.
දැන් සිලි සිලි මලු හා ලන්ච් සීට් තහනම් ය. මේ අනුව කාර්යාලයේ වැඩට යන සැමියාට, පාසලේ අමතර පන්තියට යන දුවට පුතාට බත් මුලක් බැඳදීම ගැටලුවක් බවට පත්ව තිබේ.
මේ අතර දිරන පොලිතින් තවම වෙළෙඳ පොළටත් පැමිණ නැත. නොදිරන පොලිතින් තහනම් ය. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? එකම විසඳුම කෙසෙල් වැනි ජීව කොළවල බත් එතීමයි. එසේ වුවත් හැමදාම බත් එතීමට කෙසෙල් කොළ කොයින්ද?
මෙයට එකම විකල්පය කෙසෙල් කොළ උණු වතුරෙන් හා හිරු එළියෙන් පදම් කර සකස් කර ගැනීම බව කොළඹ සරසවිය වැලිගත්ත කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යායතනයේ පර්යේෂණ අනුව හෙළිවී ඇත. වසර 20 කටත් පමණ සිදු කළ විවිධ පර්යේෂණ අනුව එවැනි පදම් කළ කෙසෙල් කොළ සති දෙකක් තබා ගත හැකි බව පැහැදිලිව අනාවරණය කර ගෙන ඇත.
මෙහිදී මුලින් ම අප කළ යුත්තේ තරමක් මේරූ තරමක් විශාල ඉරුණු නැති කෙසෙල් අත්තක් කපා ගැනීමයි. ඊට පසු නාරටිය මඟ හරවා අපට බත් එතීමට අවශ්‍ය තරම් කෙසෙල් කොළ පරිස්සමින් කපා ගත යුතු ය. පසුව ඉතා සුපරීක්ෂාකාරීව එම කැබලි පිරිසිදු ඇල්වතුරේ ගිල්වා දූවිලි හා අපද්‍රව්‍ය ඉවත් කිරීම කරගත යුතු ය. විවිධ සතුන්ගේ අශූචි ආදිය ඒ කෙසෙල් කොළවල තිබේ දැයි පරීක්ෂාකාරීව බලා ඒවා ඉවත් කළ යුතු ය. ඊට පසු පත්‍ර කැබලි යටි පැත්තේ ඇති අලු තෙත් කළ පිරිසුදු රෙදි කැබැල්ලකින් ටිෂූ කැබැල්ලකින් පිසදා ඉවත් කර ගැනීම ඉතා සුදුසු ය. මේ අනුව අපට සියලු අපද්‍රව්‍යවලින් තොර වූ පිරිසුදු කෙසෙල් කොළ කැබලි අපට ලැබේ.
කෙසෙල් කොළ පදම් කිරීම ඊළඟ ප්‍රධාන පියවර වේ. ඒ සඳහා කට පළල භාජනයකට වතුර දමා නටවන තෙක් තබා ගත යුතු ය. ඊට පසු ඒ නටන උණු වතුරට කෙසෙල් කොළ කැබලි තත්පර 2 – 3 ක් ගිල්වා ඉවතට ගත යුතු ය. මේ කටයුත්ත සඳහා අත්ආවරණ සමඟ ආරක්ෂක උපක්‍රම භාවිත කිරීම සුදුසු ය. දැන් ඊළඟට කෙසෙල් කොළ කැබලි අව්වේ පැය 2 – 3 ක් තැබීම කළ යුතු ය. එසේ නැත්නම් පවනේ පැය 4 – 6 ක් වියළා ගැනීම ද සුදුසු ය. මේ කාල වේලාවට පසු කෙසෙල් කොළ හොඳින් පදම් වී ඇත. ඒවා දැන් ඉරීමක් හෝ පොඩිවීමක් සිදුවීමට ඉඩක් නොමැත. දැන් ඒ කෙසෙල් කොළ ස්වාභාවික ආහාර දවටනයක් බවට පත්වී තිබේ. මෙහි සමහර ලන්ච් සීට්වල ඇති කැල්සියම් කාබනේට් නැත. උණු ආහාර දැමූවිට ඉන් වස - විස නිකුත් නොවේ. දැන් කළ යුත්තේ ඒ කෙසෙල් කොළ කැබලි හතරට නවා ඔබ කැමැති ගණනක් එක මත එක සීරුවට ඇසිරීමයි. ඉන්පසු එක පැකට්ටුවක් වන සේ තෙල් කඩදාසියක ඔතා භාවිතයට ගත හැකි ය. කල් තබා ගැනීම සඳහා ශීතකරණයක තැබීම ඉතා සුදුසු ය.
අපි කළ පර්යේෂණ අනුව මේ කොළ සති කිහිපයක් වුව ද තබාගෙන පාවිච්චි කිරීමට පුළුවන. මෙය ඉතා සරල ක්‍රමයකි. ඒ අනුව මේ ක්‍රමය කිහිප වරක් සිදුකර ඒ පළපුරුද්ද ලබාගැනීම ඉතා උචිතය. වාණිජ මට්ටමට මේ කෙසෙල් කොළ පදම් කිරීම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කළ යුතු ය. ඒ සඳහා සුවිශේෂී උදුනක්, සුවිශේෂී යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කළ හැකි ය. මෙහිලා අලු ඉවත් කිරීම හා වියළීම අවශ්‍ය නොවේ. අද පොලිතින් උවදුර මුළු රටම වෙලාගෙන ඇති රකුසෙකි. අලුත් ම පර්යේෂණ අනුව අපේ රටේ ජනිතවන පොලිතින් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10000 කි. බස්නාහිර පළාත ඇතුළත ඉපැදෙන කුණු කසළ ප්‍රමාණය ටොන් 6500 – 7000 අතරවේ. මේ අතර ට්‍රිලියන 800 කට වඩා වැඩි ප්ලාස්ටික් මයික්‍රො බිට්ස් (මයික්‍රො මීටර් 5 ට වඩා අඩු ගණ ප්ලාස්ටික් කැබලි) ප්‍රමාණයක් පරිසරයට එකතු වේ. මේවා බොහොමයක් දත්බේත්, ෆේස් වොෂ් හා නිවසේ ඇති අපද්‍රව්‍ය තුළ මේ මයික්‍රො බිට්ස් අන්තර්ගතවේ. භාවිතයෙන් පසු පරිසරයට මුදාහරින පොලිතින් හා ප්ලාස්ටික්වලින් ප්‍රතිචක්‍රීකරණයට ලක්වන්නේ 7% ක් වැනි සුළු ප්‍රමාණයකි.
වසරකට ටොන් බිලියන 300 ක් පොලිතින් නිෂ්පාදනය වේ. 2050 වනවිට මුහුදේ මත්ස්‍යයින් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ප්ලාස්ටික් කැබලි මහ මුහුදට එක්වන බව අප කළ පර්යේෂණවලින් පැහැදිලි වී ඇත. මෙවන් තත්ත්වයක් යටතේ පොලිතින් පාවිච්චි කිරීම ගැටලු රැසක් ඇති කරයි. ඊට අමතරව පොලිතින් අවභාවිතය නිසා මෙන් ම ඒවා පිළිස්සීම නිසාත් ලෙඩ රෝග, පාරිසරික ප්‍රශ්න, සාමාජික ප්‍රශ්න ඇතිවෙන බව විද්වත්හු පෙන්වා දෙති.
මෙවන් තත්ත්වයක් යටතේ මේ කෙසෙල් කොළ පදම් කිරීම වැනි පරිසර හිතකාමී විකල්පවලට ගමන් කිරීම කාලීන අවශ්‍යතාවකි. මේ කෙසෙල් කොළ පදම් කිරීම පිළිබඳ වැඩි විස්තර දුරකථන අංක 0712092001 මගින් දැනගත හැකි බව කිවයුතු ය.