ෆේස්බුක් රස්තියාදුව | සිළුමිණ

ෆේස්බුක් රස්තියාදුව

 අපේ සමාජයට සාපේක්ෂව සමාජ මාධ්‍ය බිහිවී, සංවර්ධනය වී ඉතාම කෙටි කාලයක් වුණත්, සමාජ ජීවිතය සමග එහි ඇති අවියෝජනීය සම්බන්ධය සහ එහි ශක්තිමත්භාවය මගින් පැහැදිලි වන්නේ එම මාධ්‍ය පරිණත මාධ්‍යයක් ලෙස අප කෙරෙහි සිදුකර ඇති සුවිශේෂ බලපෑමයි. ඒ අතර එම මාධ්‍ය භාවිතා කරන ආකාරය අනුව අප කෙතරම් අපරිණතභාවයක් පෙන්නුම් කරන්නේද යන්නත්, පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ තත්වය කාලීන වශයෙන් අප හමුවේ ඇති සුවිශේෂ අභියෝගයක් බවට පත්වී ඇත්තේ ස්වභාවයෙන්ම මෙම මාධ්‍ය සතු සුවිශේෂී ගතිලක්ෂණ නිසයි. සමාජ මාධ්‍ය පුරවැසි මාධ්‍යයක් වීම මෙහි ඇති එවැනි මූලිකම ලක්ෂණයයි. ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යවලට ප්‍රතිපක්ෂ ලෙස පුරවැසියා විසින්ම එහි අන්තර්ගතය සකස්කොට ජාලීය අවකාශයට මුදාහැරීමේ ස්වාධීන හැකියාව මෙන්ම සංවාදශීලී පරිසරය සමාජ මාධ්‍ය සතුවන්නා වූ විශේෂත්වයයි.

එක් අතකින් පරිණත සමාජයක් බවට පත්වීමට ස්වාධීනව සිතීමේ සහ ප‍්‍රකාශනයේ අයිතිය පුරවැසියා සතුවීම වැදගත් වන අතරම එවැනි නිදහස් මාධ්‍යයක් පාවිච්චි කිරීමේදී සාමාජීය වශයෙන් පුරවැසියා තුළ පරිණත භාවිතයක් පැවැතීමත් අත්‍යවශ්‍යයි. එවැනි පරිණත බවක් පෙන්වන ඉතා සක‍්‍රීය පරිශීලකයන් සුළුතරයක් දිනපතා අප දකින නමුත්, බහුතරයක් මුදාහරිනු ලබන්නාවූ අන්තර්ගත මගින් එම අන්තර්ගත ගොඩනගන්නන් අපරිණත මාධ්‍ය භාවිතයක් පෙන්නුම් කරන ආකාරය පැහැදිලි වෙනවා.

එහෙත් අප කළයුතුව ඇත්තේ, සාම්ප්‍රදායික මාධ්‍යය ද අතික්‍රමණය කරමින් සමස්ත සමාජ විඥානයේ සියළලුම ස්වරූප තම ආධිපත්‍ය තුළට නතුකර ගනිමින් සිටින නව ඩිජිටල් මාධ්‍ය යථාර්ථයක් ලෙස සළකා, ඒ අනුව එහි සමාජ ප්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍ය කටයුතු කිරීමයි. ඒ සඳහා විශේෂයෙන්ම නව ඩිජිටල් මාධ්‍ය තුළ සමාජ කතිකාවන්වලට සම්බන්ධවීමේ අවශ්‍යතාව අවධාරණය කරනවා. එහෙත් මෙම මාධ්‍ය පිළිබදව සමාජයේ සෑම තලයකම සිටින බහුතරයක් පුරවැසියන්ගේ කියවීම වන්නේ මෙම මාධ්‍ය කාලය කාදැමීම සඳහා ඇති රස්තියාදුකාර මාධ්‍යයක් බවයි. අපේ රටේ නව ඩිජිටල් මාධ්‍ය අවකාශය ඇතුලේ වැඩියෙන්ම ව්‍යාප්තවෙලා තියෙන්නේ ෆේස්බුක් සමාජ ජාලය වීමත්, නව මාධ්‍ය පිළිබඳව සහ එහි ප්‍රතිලාභ අත්පත් කර ගැනීම පිළිබඳව සමාජයේ මාධ්‍ය සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පැවතීමත් නිසා එම මාධ්‍ය දැඩි ලෙස අපහරණයට ලක්වී තිබීම තමයි ඒකට මූලිකම හේතුව. ශ්‍රී ලංකාවේ ක්‍රියාශීලී ෆේස්බුක් ගිණුම් ලක්ෂ 44 ක් පමණ (මේ තුළ ව්‍යාජ ගිණුම්ද තිබේ) තිබෙන අතර ට්විටර් ගිණුම් (මයික්‍රො බ්ලොග් ලෙස සැලකෙන) ගණන 2016 වසර අවසන් වෙද්දී 180,000 ක් පමණ සුළු සංඛ්‍යාවක් වීමෙන් මෙය පැහැදිලි වෙනවා.

සමස්තයක් ලෙස සමකාලීන භාවිතය තුළ මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයන් පෙන්නුම්කර ඇත්තේ ඔවුන් එවැනි පරිණත තත්වයකට පත්වී නැති බව නොවේද? එය හුදු පෞද්ගලික අවශ්‍යතා මත පදනම්ව පටු සන්නිවේදන අවශ්‍යතා සඳහා භාවිතා කරන ආකාරයක් නොවේද? එහිදී පිළිගත් මාධ්‍ය ආචාරධර්ම පමණක් නොව පොදුවේ ශිෂ්ට සාමාජ විසින් භාවිතයට ගැනෙන ආචාරධර්මීය භාවිතයන් පවා අමතක කර ඇති ආකාරය පැහැදිලි වෙනවා. එසේ වුවත් නව සමාජ මාධ්‍ය වාරණය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති නමුත්, එහි ප්‍රශස්ත භාවිතය සඳහා අවශ්‍ය පෙළඹවීම මෙන්ම බලපෑමද කිරීමේ අවශ්‍යතාව දිනෙන් දින වර්ධනය වෙනවා. ඒ සඳහා සමාජය තුළ මාධ්‍ය ක්‍රියාකාරීවීමේදී අදාළවන ආචාරධාර්මික පදනම, නීතිමය පසුබිම සහ සාමාජීය පසුබිම ආදී වශයෙන් රාජ්‍ය මැදිහත් වීමෙන් පරිශීලකයන්හට මාධ්‍ය සාක්ෂරතාව ලබාදීමේ අවශ්‍යතාව මතුවී තිබෙනවා.

මාධ්‍යකරණයට අමතරව මෙම මාධ්‍ය නූතන අලෙවිකරණ උපකරණයක් ලෙස ක‍්‍රියාකරන ආකාරය ද හඳුනාගැනීම ඉතා වැදගත්. මෙම නව සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය ධනවාදයේ නූතන රූපාන්තරණයේ විශේෂ ලක්ෂණයක්ද වන අතර සමකාලීන සමාජයේ ආර්ථිකය පමණක් නොව සමස්ත සමාජ විඥානය කෙරෙහි ද එය සක්‍රීය ලෙස මැදිහත්වන ආකාරය ප්‍රදර්ශනය කරමින් තිබෙනවා. එහෙත් ගෝලීය නව ලිබරල් ව්‍යාපෘතියේ සන්නිවේදන සැකැස්ම කුමන ආකාරයෙන් පාවිච්චියට ගන්නේද යන්න පිළිබඳව අපේ සමාජයට දියුණු අදහසක් නැති බව පැහැදිලියි. විවිධ ආකාරයෙන් මතවාදී අවශ්‍යතා වෙනුවෙන්, පුද්ගලාන්තර සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන්, විනෝදාස්වාදය වෙනුවෙන් ආදී වශයෙන් අප සමාජ මාධ්‍ය භාවිතා කළත්, පැහැදිලිව හඳුනාගතයුතු කරුණක් වන්නේ මෙය ඩිජිටල් අළෙවි උපකරණයක් ලෙස මූලික වශයෙන් ක්‍රියාකරන ආකාරයයි. ඒ අනුව ලෝක ජනගහණය වන බිලියන 7.47 කින් බිලියන 2.8 ක් පමණ සමස්තයක් වශයෙන් සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරීව සිටින තත්ත්වයක් තුළ එම මාධ්‍ය නූතන අලෙවිකරණය සඳහා මෙහෙයවන ආකාරය අන් සියල්ලටම වඩා පැහැදිලිව නිරීක්ෂණය කළ යුතුයි.

සමාජ පරිණාමය අනුව මෙම යුගය සැලකෙන්නේ තොරතුරු යුගය ලෙසයි. සමාජ විඥානයේ සියලුම ස්වරූප සංකීර්ණ ආකාරයෙන් නීර්ණය කිරීමට පවා තොරතුරු සහ තාක්ෂණය මේ යුගයේ ඉතා බලසම්පන්නයි. හැම දියුණු රටක්ම මාධ්‍යයේ නව ප‍්‍රවණතා සමාජ ප්‍රගතිය සඳහා යොදාගනිද්දී අපේ රටේ රාජ්‍ය අංශය මේ සම්බන්ධව මෙන්ම තාක්ෂණය භාවිතය පිළිබඳව දක්වන්නේ ඉතා පසුගාමී ආකල්පයක්. මේ තත්වය තුළ විශේෂයෙන්ම අපේ රටේ ශාස්ත්‍රඥයන් මෙම නව ඩිජිටල් මාධ්‍ය අවකාශය අනාගතය සඳහා යොදාගත යුතු ආකාරය පිළිබදව පර්යේෂණ සිදුකිරීම, පරිශීලකයන්ට අවශ්‍ය සාක්ෂරතාවය ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

විජේසිංහ දිසානායක

Comments