නිදහස් අධ්‍යාපනය අහෝසි කරව් | සිළුමිණ

නිදහස් අධ්‍යාපනය අහෝසි කරව්

 පානම් පත්තුවේ හුලංනුගේ කනිෂ්ට විද්‍යාලයට මා නිරීක්ෂණයක් සඳහා ගියේ 2003 වසරේ දී ය. එය කුඩා පාසැලක් වූ අතර නිරත්තරව කොටි සංවිධානයේ ප්‍රහාරයට ලක් වූ සිංහල පවුල් වල දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාව තහවුරු කළේ එම පාසැලයි. අපොස සා.පෙට පමණක් පන්ති පැවැත්වූ නිසා ප්‍රදේශයේ දරුවන් පත්වූයේ විශාල අපහසුතාවකට ය. අපොස සා.පෙ සමත්වන දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා ගන්නට පානම සිංහල මහා විද්‍යාලයට යෑමට අවශ්‍ය විය. එය එකල මහත් පීඩාකාරී කටයුත්තක් විය. මහ වනය මැදින් යෑමට සිදුවීම කොටි සංවිධානයේ ප්‍රහාරයකට අත වැනීමකි. අනෙක එහි යන්නට කොළඹ සිට පානම කරා යන බසය එනතුරු සිටිය යුතුය.

එම පාසලේ සේවය කළ ඉදිරිගාමී ගුරුවරු කිහිපදෙනෙක් අපූරු වැඩක් කළහ. එනම් අම්පාර අධ්‍යාපන කාර්යාලයෙන් අවසර ගෙන ළමුන්ට උසස් පෙළ පන්ති පැවැත්වීමයි. විද්‍යා පීඨ ගුරුවරුන් වූ ඔවුහු උසස් පෙළ විෂයන් දරුවන්ට කියා දුන්හ. දරුවන් විභාගයට මුහුණදීම පානම සිංහල මහා විද්‍යාලයෙන් සිදු කෙරිණි. ඒ අනුව වරක් දරුවන් හතර දෙනකු උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල වරම් ලැබූහ. එක් දරුවකුගේ දෙමව්පියන් දෙදෙනාම කොටි සංවිධානය විසින් ඝාතනය කර තිබුණි. එනිසා ඈට විශ්ව විද්‍යාලයට යන්නට ආර්ථිකයක් නොතිබුණි. තවත් දරුවෙක් මව්පියන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ඇඟළුම් කම්හලකට ගියාය. විශ්ව විද්‍යාලයට යන්නට හැකියාව උදාවූයේ එක් දරුවකුට පමණි.

අග නාගරිකයෙන් ඈත දුෂ්කර ප්‍රදේශයන්හි දරුවන්ට උදාවන මේ අසමාන සැලකීම එතැනින් අහවර නොවේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ දත්ත නිරීක්ෂණය කළහොත් පැහැදිලි වන්නේ මොනරාගල, හම්බන්තොට, පොලොන්නරුව, පුත්තලම, මුලතිව්, මන්නාරම හා වව්නියාව වැනි පරිධියේ දිස්ත්‍රික්ක සලකා බැලූවිට වෙඳපළ ඉල්ලුමක් සහිත විශ්ව විද්‍යාල පාඨමාලා සඳහා තේරෙන්නේ අල්පමය සංඛ්‍යාවක් බවය. එසේ තේරී පත්වන දරුවන් ද යම්කිසි ආර්ථික හැකියාවක් ඇති පවුල්වල දරුවන් ය. ඔවුන් යාබද තදාසන්න නගරයකට ගොස් අමතර පන්තිවලින් දැනුම ගෙන විශ්ව විද්‍යාල වරම් ලබන්නට තරම් ඉහළ මට්ටකින් අපොස උපෙ සමත්වන්නන් ය. ඒ අනුව වෙළෙඳපළ ඉල්ලුමක් පවතින වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය , කෘෂිකර්ම, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණය වැනි උපාධි පාඨමාලා සඳහා ආන්තික ජන කොටස්වල දරුවන් තේරී පත්වන්නේම නැත.

එම ප්‍රදේශයන්හි දුප්පත් පවුල්වල දරුවන්ට යම් තරමකින් හෝ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාවක් ලැබුනේ ශාස්ත්‍ර පීඨ පාඨමාලා සඳහා පමණි. ශාස්ත්‍ර පීඨ පාඨමාලා වෙළෙඳපළ ඉල්ලුමක් නොමැති උපාධි පාඨමාලා වන අතර එම උපාධිධාරීන් සමාජ ගතවූ පසුව රජයේ රැකියාවන්ට යෑම හැර වෙනත් රැකියා අවස්ථා උදාවීමක් නැත්තටම නැති තරම් ය. අමතර යම් පාඨමාලාවක් කර ගත්තකු වෙළෙඳපළ ඉල්ලුමක් සහිත රැකියාවකට සම්බන්ධ වුවද ඈත දුෂ්කර ප්‍රදේශයන්හි දරුවන්ට ඒ භාග්‍ය නොමැත.

එසේම මෙවැනි ප්‍රදේශයන්ගෙන් විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබන දරුවන් බොහෝ විට නීති පීඨයන්ට යෑමට තරම් සුදුසු ලකුණු මට්ටම් ලබාගෙන තිබුණ ද ඔවුන්ට ඒ සඳහා අවස්ථාව එක් බාධාවක් නිසා අහිමි වේ. නීති පීඨයන්ට යෑමට නම් අපොස සා.පෙ සඳහා ඉංග්‍රීසි විෂයට සම්මානයක් තිබිය යුතුය. එහෙත් දුෂ්කර ප්‍රදේශයන්ගෙන් විශ්ව විද්‍යාලයට එන බොහෝ දරුවන්ට ඉංග්‍රීසි විෂය සදහා සම්මානයක් නොමැත. ඒ නිසාම ඒ දරුවන්ට නීති පීඨ වරම් අහිමි වේ.

පවතින නිදහස් අධ්‍යාපනය පරිධියේ ප්‍රදේශයන්හි දුප්පත් දරුවන්ට වරප්‍රසාදයන් ලබාදෙන්නේ මේ අන්දමිනි. කන්නන්ගර මහතා දහසකුත් බලාපොරුත්තු සහිතව නිදහස් අධ්‍යාපනය හදුන්වා දුන්න ද අද වනවිට එම ක්‍රමය දුප්පත් දරුවන්ට අවම වරප්‍රසදයන් ලබාදෙන මධ්‍යම පන්තියේ දරුවන්ට උපරිම වරප්‍රසාදයන් ලබාදෙන ක්‍රමයක් බවට පත්වී හමාරය. මැද පාන්තික පවුල්වල දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබන ගමන්ම අවශ්‍ය වෙනත් අධ්‍යාපනික අවශ්‍යතා සඳහා වියදම් කිරීමට පෞද්ගලික ධනය ඇති බැවින් මෙම ක්‍රමය වඩා වරප්‍රසාද සහගත වන්නේ ඔවුන්ට ය. දුෂ්කර ප්‍රදේශයන්හි දුප්පත් දරුවන්ට පමණක් නොව අගනාගරිකයේ දුප්පත් දරුවන්ට ද නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයන් ලබාදෙන්නේ අමිහිරි අත්දැකීම් ය.

මේ තත්ත්වය නිදහස් අධ්‍යාපනය රැක ගන්නට ජීවිතය පරදුවට තබා මහන්සි වෙන බොහෝ අරගල කරුවන්ට නොතේරේ. ඔවුන් තම එකම අරගලය කරගෙන ඇත්තේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමය. තවදුරටත් නිදහස් අධ්‍යාපනය යනු දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ක්‍රමයක් නොවන්නේ නම් එය රැක ගන්නට මහන්සි වෙන්නේ දුප්පතුන්ට අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමේ අරමුණෙන් විය නොහැකිය. මේ වනවිට නිදහස් අධ්‍යාපනය මැද පාන්තිකයන්ගේ ඉසුරුමත් ජීවිතය සහතික කරන්නක් බැවින් එය රැක ගැනීමට අරගල කිරීම මැද පාන්තික සටනකි. ගොවි කම්කරුවන්ගේ දරුවන් විශ්ව විද්‍යාලයට ඇවිත් කොළඹ අග නාගරිකයේ හා තදාසන්න ප්‍රදේශයන්හි ප්‍රභූ අවශ්‍යතතාවන්ට නතුවී දේශපාලනිකව නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට අරගල කිරීම රැවටීමක් මිස අනෙකක් නොවේ.

පවතින නිදහස් අධ්‍යාපනය මුළුමනින්ම අහෝසි කිරීම දේශපාලන ප්‍රතිසංකරණයන්ගේ අනිවාර්ය කරුණක් විය යුත්තේ මෙම වාතාවරණය තුළ ය. ඒ අනුව ආර්ථික ක්‍රමයෙන් පිටමං වී ඇති ආන්තික ජන කොටස් වල දරුවන්ට පළමු වසරේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලයේ හා නේවාසිකව අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරන අලුත් ක්‍රමයක් වෙනුවෙන් අප සටන් කළ යුතුය. ඒ තුළ මූලික ඉලක්කය විය යුත්තේ ආන්තික ජන කොටස්වල අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම මිස මැද පාන්තිකයන්ට රටේ පොදු ජනයාගේ වියදමින් අධ්‍යාපනය ලබාදීම නොවේ.

එවැනි අලුත් අධ්‍යාපන ක්‍රමයක් සහතික කරන ගමන්ම පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉක්මන් අරගලයකට රොද බැඳීම ආන්තික පවුල්වල දරුවන්ගේ වගකීමයි.

අබරන් 

Comments

උක්ත කාරණයට අදාළ තර්කයේ සැලකිල්ලට ගත යුතු වැදගත් කරැනු තිබේ. ‍මේ කරැණු පර්යේෂණයක් කර තහවුරැ කළ හොත් රෙටේ පාසල් අධ්‍යාපනය සංවර්ධනයට මහගු පිටුවහලක් වනු ඇත.

Hi, I just want to say for English subject we need to have a different syllabus, to easily can understand and learn. That is the way we can build up the second Language skills among students. Thank you.

පිටු