ගෝසාව අනපායිනී | සිළුමිණ

ගෝසාව අනපායිනී

 මා පෙනී සිටින අල්ප ගණනක් වූ ඡායාරූප අතරින් චිත්‍රාගාරයකින් පිටතදී ගත් ඡායාරූප සඳහා ඒවා ගන්නා අවස්ථාවල පසුබිමින් ඇසුණු හඬ එක් කළහොත් ඒ මෙසේය.

අප පවුලේ සියලු දෙනා එකතුව ගමේ ගෙදර මිදුලේ දී ඡායාරූප ශිල්පියකු රහිතව ස්වයංක්‍රීය ව ගත් ඡායාරූපය - පසුබිමින් කුරුල්ලන්ගේ කිචි බිචිය.

පවුලේ විනෝද චාරිකාවක දී දියලුම ඇල්ල අසල ගල් තලාවක් මත වාඩි වි සිටියදී තනිව ගත් ඡායාරූපය - පසුබිමින් දිය ඇල්ලේ හඬ.

පාසලේ එළිමහනේදී සියයකට ආසන්න පිරිසක් පෙනී සිටි ශිෂ්‍ය නායක ඡායාරූපය - පසුබිමින් යාබද ටෙනිස් පිටියේ සිසුන් පුහුණුවීම් කරද්දී පන්දුව ගැටෙන හඬ.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී කර්මාන්ත ප්‍රදර්ශනයට සූදානම් වෙන අතරවාරයේ චින්තා සමග සිටින" ශානි විසින් ගත් ඡායාරූපය - පසුබිමින් අනෙකුත් අය කතාබහ කරන හඬ.

කාර්යාලීය මිතුරන් සමග හෝටන් තැන්නට ගිය ගමනේ දී හිමිදිරියේ ඔහිය දුම්රිය ස්ථානයේ දී කීර්ති විසින් ගත් ඡායාරූපය - පසුබිමින් කිසිදු හඬක් නැත.

තිරිවානාගල් කන්ද මුදුනේ දී මිතුරන් සමග ගත් ඡායාරූපය - පසුබිමින් තදින් හැමූ සුළ‍ෙඟේ හඬ.

විශ්වවිද්‍යාල භූමියේදී ගත් කලා පීඨ සමූහ ඡායාරූපය - පසුබිමින් රීඩ් මාවතේ යන වාහනවල හඬ.

පෝලන්ත ජාතික චිත්‍ර ශිල්පිනියක වන ඩොරති සමග අප නිවෙසේ මිදුලේදී ගත් ඡායාරූපය - පසුබිමින් චූං පාන් සංගීතය.

එමිලියෝ සමග සීගිරියට යන අතරවාරයේ ගත් ඡායාරූපය - පසුබිමින් චූං පාන් සංගීතය.

ටීනා සමග වල්පොළ රාහුල අධ්‍යයන කේන්ද්‍රයේදී ගත් ඡායාරූපය - පසුබිමින් චූං පාන් සංගීතය.

පසුගිය බාලදක්ෂ ජම්බෝරිය දා ඇතුළු වීමේ දොරටුව අසල දී ගත් ඡායාරූපය - පසුබිමින් චූං පාන් සංගීතය.

ඥාතියකුගේ අවමංගල උත්සවය දා එළිමහනේ දී අනෙකුත් ඥාතීන් සමග සිටියදී ගත් ඡායාරූපය - පසුබිමින් චූං පාන් සංගීතය.

නංගිගේ නිවෙසේ දී දුන් සාංඝික දානය දා ස්වාමීන් වහන්සේගේ අනුශාසනයට සවන් දෙන මොහොතේ ගත් ඡායාරූපය - පසුබිමින් චූං පාන් සංගීතය.

ගමේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම පැවැති දා මියගිය ආදි ශිෂ්‍යයන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාව පැවැත්වූ මොහොතේ ගත් ඡායාරූපය - පසුබිමින් චූං පාන් සංගීතය.

දර්ශන කරුණාතිලක

Comments