![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/07/28/sil-07-30-us-mon28072017_CMY.jpg?itok=7y9npXU0)
මේ දින දෙක තුනකට කලින් සිදුවීමකි. තෙල් අර්බුදය ඉවරය. නැත. අඟහරුවාදා යළි පටන් ගන්නකම් විය හැකිය.
එතැන පාර පුරා දිගු පෝලිමකි. තදබදය ‘ඊස් බීස් ගාන්නට බැරි ගානය. ත්‍රීවිලර්, වෑන්, කාර්, බයිසිකල් පමණක් නොව එක් එක් ප්‍රමාණයේ තෙල් කෑන් හා බකට් එල්ලාගත් පිරිසක් ද සිටිති. ඇට්ටරයා කොළොම්තොට එවන් පෝලිමකට කිට්ටු විය.
“මේ මොන කරුමයක් ද? ඉස්පිරිතාලෙට යන්න බෑ. හැමදාම දොස්තරලා ස්ට්‍රයික්. දැන් තෙල්කාරයො ස්ට්‍රයික් කරලා. මේ රට කොහොමද? ඉස්සරහට යන්නෙ...”
ඉදිරිපස වාහනයක සිටි මහත්මයෙක් කෑ ගැසුවේය.
“ඕකෙන්, සැබෑ පරිප්පුව කන්නේ සියල්ලරට තෙල් ගහගෙන කරවල ටිකක් තේ කුඩු ටිකක් කඩවලට දාගෙන ජීවත්වන අපි වගේ කබ්බො. තෙල් ටැංකිය පිරෙන්නවත් තෙල් ගහගන්න අපට අත මිටක් ලැබෙන්නෙ නෑනේ.”
තැපැල් නයින්ටියක සිටි වෙළෙන්දෙක් කෝචොක් හිනාවක් දමමින් කීය.
ඔය තෙල් ටැංකි ටික ඉන්දියාවට දුන්නා නම් කිව්වා වගේ අහවරයි. පාඩු ලබන හැම දේම විකුණන එකේ වරදක් නෑ. සිංගප්පූරුවේ ලී ක්වාන් යු රට දියුණු කළෙත් ඒ විදියට. අපිට ආයෝජකයෝ ඕනෑ. හම්බන්තොට වරාය වුණත් එහෙම චීනයට බදු දුන්නාට කමක් නෑ...
මේ “පරිප්පුව” කකා සෙනඟ අතර දුක් විඳිමින් සිටියත් එක් මිනිහෙක් ආණ්ඩුවට ඇද කීවේය. එබස් අසා සිටි තවෙකෙක් කීෙව් අපූරුම කතාවකි. “ඔය තෙල් බෙදන්න හමුදාවට කීවා වගේ බෙහෙත් ටික ලෙඩ්ඩුන්ට දෙන්නත් හමුදාවට ඇහැකිනේ.”
“මං හිතන්නෙ සීගිරියත් ගල්වලට විකුණන්න ඕනෑ.” පෝලිමේ සිටි කිසිවෙක් ඒ අතර වෙනත් කතාවක් කියයි.
“අනේ හැබෑටම, මේ මිනිස්සු කරන ස්ට්‍රයික්වල කිසිම සාධාරණත්වයක් නෑ. එක වෙලාවකට පඩි වැඩි කරලා ඉල්ලනවා. තව වෙලාවකට තවත් දෙයක්. අපි හැමදාම මහ පාරෙ... මේක සාහසික ස්ට්‍රයික් එකක්...”
කට සැර රතු මහත නෝනා කෙනෙක් ඉදිරියට පනිමින් කීවාය. ඈ පැමිණ සිටියේ ද තම මෝටර් බයිසිකලයට තෙල් ටිකක් ගසා ගැනීමටය. ඇට්ටරයාට හරිම සතුටු ය. ඔහුට දවල්ට නොකෑවත් කොහේ හරි මෙවැනි අරගලයක් තිබේ නම් ඒ ඇතිය. එය ඔහුට පුදුම රස අහරකි.
කවිකාරයා හැම තැනම යන්නේ කවි කියන්න බලාගෙනය. නැකැත්කාරයා හැමවිට ම නැකැත් කේන්දර ගැන ම කතා කරයි. එසේ ම ඇට්ටරයාට ද ගෙදර ප්‍රශ්න දෝරෙ ගැලුවත් රටේ ප්‍රශ්න සොයා නොබලා ඉන්ට බැරිය.
ඔහු පෝලිමෙන් ඈත්ව ගෙදර එන විට මහ රාත්‍රිය බෝ වී තිබිණ. ගෙයි දොරකඩ ඔහුගේ ප්‍රිය භාර්යාව සිංහපාලි ද සිටියාය.
“මොකද! තමුසෙලා ආණ්ඩුව පෙරළන්නද යන්නෙ?”
“අපි ගියේ ආණ්ඩුව පෙරළන්න නොවෙයි. රට රැකගන්ඩ...” ඇට්ටරයා කීවේය.
“අනේ! තමුසෙලාගේ රට රැකීම. පහුගිය කාලේ අර හෝටලේට ඉඩම චීනට දෙනකොට”.... ඇය තවත් ගොඩාක් දේ කියන්න සැරසුණාය.
“ඒකනේ, හෝදියෙ, උඹලා අලුත් ආණ්ඩුවක් ගෙනාවෙ. දැන් උනුත් එකයි මුනුත් එකයි කියන කතාව නේද? වෙලා තියෙන්නෙ. දැන් එහෙම කියපු එවුනුත් ඒකෙම ඇතුළෙ.”
“මේකෙන්, ඇත්තට ම කවුද? දඬුවම් විඳින්නෙ. තෙල් වෘත්තීය සමිතිද? ආණ්ඩුවෙ ලොක්කොද?” ඇය තරමක් මෙල්ල වී ඇට්ටරයාගෙන් ඇසුවාය.
“දොගොල්ලො ම නොවෙයි” ඔහු කීෙව් ගාණක් නැතිවය.
“එහෙනම්! කවුද ඕයි, ඇත්තට ම දුක් විඳින්නෙ!”
“මේ රටේ දුප්පත් අහිංසක ජනතාව...” එවර නම් ඇට්ටරයා කෙළින් ම කතා කරයි.
“ඔව්, ඔව්, ඒක නම් ඇත්ත ම ඇත්ත. ඒ මිනිස්සු දඬුවම් විඳින්නත් ඕනෑ..” ඇට්ටර බිරිඳ සිංහපාලී කීවාය.
ඇට්ටරයා ඒ උත්තරයෙන් අන්දුන් කුන්දුන් විය.
“ඇයි? ඒ අහිංසක මිනිස්සු දුක් විඳින්න ඕනෑ....” ඔහු මවිත වී බිරියගේ කට දිහා බලා සිටියේය.
“ඇයි? ඕයි, ඒ මිනිස්සුනේ මේ හැමදාම ඔය කට්ටිය පත්කරන්ඩ ඡන්දෙ දෙන්නෙ. ඡන්දෙ දෙනවාට ඕක යස පාඩම...” ඇය වාචික අභිනය මතු නොව ආංගික අභිනයෙන් ද මොනවාදෝ පෙන්වා කීවාය.
ඇට්ටරයා නින්දට ගොස් තෙල් සටනේ ඉතිරිය පිරිමහන්නට හිතාගෙන පසුදා උදෑසන ම අවදි වී ගමනට සූදානම් විය. ගෙදර බිරියද නෝක්කාඩු මුහුණින් සිටියාය.
“තමුසෙලාට ලජ්ජා නෑ. අදත් යන්නෙ සටන් කරන්නද!” ඕ ඇට්ටරයාගෙන් ඇසුවා ය.
පොඩි එකාත් පාසල් නොගොස් සිටින බව ඇට්ටරයාට දැනුණේ ඒ වෙලාවේය. වේලාව උදේ 7ත් පසුවී තිබේ.
“ගෑනියෙ, ඔය මෝඩ කතාව නවත්වලා කියනවා ඇයි? පොඩි එකා ඉස්කෝලෙ ඇරියෙ නැත්තෙ කියලා.”
“කොහොමද ඉස්කෝලෙ අරින්නෙ... පාසල් වෑන් එකට යන්නවත් තෙල් නෑ කියලා ඩ්‍රැයිවරයා කිව්වා.”
ඇය කියන විට ඇට්ටරයාට තරු පෙනිණ. තමන් කළ සටන බූමරංගයක්ව තමා පිටට ම පැමිණ ඇති බව ඔහුට දැනුණේ එවිටය.
පන්හිඳ - උපාලි
තෙළිතුඩ - හර්ෂ