ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා ක‍ෙඩ් යනවා | සිළුමිණ

ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා ක‍ෙඩ් යනවා

 ‘දොස්තරලා ස්ට්‍රයික් කරන්නෙත් ඕනෑවට වඩා ඉගෙනගෙන තියෙන නිසාද?’

‘වෙසක් එක අප්‍රේල් මාසෙට එන එක ප්‍රශ්නයක් වෙන්නේ බුද්ධාගමට වඩා ඉංග්‍රීසි කැලැන්ඩරේ අදහන සුද්දන්ට විතරයි’

’මේ ආණ්ඩුව වෙසක් එකත් අප්‍රේල් මාසෙට ගන්න හදන්නෙ’

‘ඔයා කතා කරන්නේ මහින්ද මහත්තයා වගේනේ’

‘මේ රටේ එකම ප්‍රශ්නය මහින්ද මහත්තයා නෙමෙයි’

‘සේරම ප්‍රශ්නවලට මුල විශ්වාසයක් නැති කම’

‘ඒ කිව්වේ මට තේරුණේ නෑ’

‘තමන් දන්න දේ ගැන තමන්ට විශ්වාසයක් නැති වුණාම ක‍ෙඩ් යවන්න පුළුවන්’

‘උදාහරණයක් දෙන්නකෝ’

‘උපතින් බුද්ධාගමේ වුණත් බුද්ධාගම ගැන හිතේ සංකා තියෙන නිසා සමහර අය මාක්ස්වාදියෝ වෙලා තියෙනවා’

‘එතකොට මාක්ස්වාදියෙක් වෙනවා කියන්නේ කඩේ යනවා කියන එකද?’

‘මාක්ස්වාදියෙක් වෙනවා කියන්නේ සමහර විට කඩේ යාමක් නොවෙන්න පුළුවන්. ඒ වුණත් මාක්ස් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේ ම පූජා කරනවා කියන එකයි තමන් දන්න දේයි තමන්ගේ මව්පියන් නෑ මිත්‍රයෝ කියන දේයි සම්පූර්ණයෙන් ම අමතක කරනවා කියන්නේ කඩේ යාමක්. කඩේ යාම ප්‍රස්තා පිරුළකින් කියනවා නම් ඉස්සෙල්ලා ආව කනට වඩා පස්සේ ආව අඟ ලොකු කරගැනීම’

‘මෙතනදී කීකරුකම, විශ්වාසය ප්‍රශ්නයක් වෙනවා නේද?’

‘හරියට හරි දැන් පොඩි ළමයෙකුට කීකරු කම අවශ්‍ය ඇයි? එයාට ලෝකේ තියෙන බොහෝ දේ ගැන අවබෝධයක් නෑ. ඒ නිසා එයා අනිවාර්යෙන් ම කරන්න ඕනැ දෙයක් තමයි අම්මා තාත්තා කියන දේ විශ්වාස කරන එක. ඒක තමයි කීකරු කම’

‘තමන් හැම දෙයක් ම දන්නවා කියලා හිතන අය මෝඩයෝ වෙන්නේ ඒ නිසාද?’

‘ඔව් අම්මා තාත්තා නැති වෙලාවට ළිඳ පැත්තේ යන්න එපා එබෙන්න එපා කියලා දරුවන්ට කියනවා. මේ මොකද කියලා හරියට තේරුණේ නැති වුණත් අම්මා තාත්තා විශ්වාස කරලා නොයා ඉන්නවා. හැබැයි තමන් ම ඒ මොකද කියලා ළිඳෙන් වතුර ඇදලා පරීක්ෂා කළොත් මොකද වෙන්නේ’

‘කූඤ්ඤේ ගලවපු වඳුරට වෙච්ච දේ’

‘අද බොහෝ අය නිර්භීත වෙලා ඉන්නේ පර්යේෂකයෝ වෙලා ඉන්නේ කුඤ්ඤ ගලවන වඳුරෝ වගේ. ඒ වඳුරත් නායක වඳුරා කීව දේ ඇහුවේ නෑනේ’

‘ඔව් තමන්ට හිතන්ට ශක්තියක් තියෙනවා කියලා හිතන එකත් හිතන්න ශක්තිය නැති මෝඩයෝ කරන වැඩක්’

‘අද අපේ රටේ ඉන්න ගොඩක් අය මෝඩකම නිර්භීතකම කරගත්ත අය. නොදන්න කම දන්න කම කරගත්ත අය. තමන් දන්නවා කියලා හිතන නිසා ම කාට හරි කඩේ යන අය බවට පත්වෙලා ඉන්න අඳ බාලයෝ’

‘කවුරු ගැන ද කිව්වේ’

‘මේ තොප්පිය ජනගහණයෙන් සියයට හැත්තෑපහකට ම වැඩිය හරියනවා. කාට හරි මොකට හරි කඩේ යන එක හැර අන්තිමට කිසිම දෙයක් ඉගෙන ගෙන නෑ’

මං මේ වාද කරන්නේ කවුරුන් සමඟදැයි කල්පනා කරන්නට වූවෙමි. මා සිහිනයෙන් මා සමඟ ම වාදයක පැටලී සිටින බව කල්පනා වූයේ එවිටය.

Comments