අනංගයා අඬමින් මා වෙත ආවේය. ඔහුගේ උරයේ උක්දඬු දුන්නවත් අතේ මල්හීසරවත් තිබුණේ නැත. මට එක් වරම සිතුණේ මල් කඩන අය ඔහුගේ මල්හීසරයේ තිබුණු මල්ද කඩාගන්නට ඇතැයි කියාය. බස්වල කෝච්චිවල හා මගතොටේ මල් කඩන අය අද එතරම් ම සුලබ නිසා සිහිනයෙන් මට එසේ සිතීම ගැන කවුරුවත් පුදුම විය යුතු නැත. කෙසේ වුවත් සිහිනයෙන් මට ඒ ගැන වැඩිය සිතන්නට නොදෙමින් අනංගයා අඬන්නට වූවේය.
‘මුළු ලොවම නැති වුණත් මට එකම ප්‍රාර්ථනයයි තිබුණේ...’
අනංගයා එසේ කීම ගැන මට හීනයෙන් පුදුම හිතුණේ නැත. ඉන්පසුව අනංගයා දිගටම දුක කියාගෙන ගියේය.
‘මං කවදාවත් හිතුවේ නෑ මට එහෙම කරයි කියලා...
මට දැන් අඬන්න කඳුළු නෑ...
මගේ ප්‍රාර්ථනාවන් ඔක්කොම වියළිලා...
හිත ඉරිතැළිලා...’
ඉන්පසුව අනංගයා පිස්සුවෙන් මෙන් නැටුමක් නටන්නට වූවේය. ඒ නැටුම ගජගා වන්නමද භරතනාට්‍යම්ද පහතරට නැටුම්ද බ්‍රේක්ඩාන්ස්ද අප්‍රිකානු නැටුමක්ද කියා මට වටහාගැනීමට හැකි වූයේ නැත. ඒ නිසා එය අනංග නැටුමක්යැයි මම සිහිනයෙන්ම තර්ක කරමින් නිගමනය කළෙමි. එහෙත් තවත් ටිකක් නැටුම බලාගෙන යන විට එය මට හුරුපුරුදු නැටුමක් බව පෙනිණි.
අනංගයා දුව ගොස් උඩ පැන, අත කරට උඩින් කරකවා දැම්මේය. උඩ බලාගෙන දුව ගොස් උඩින් එන යමක් අල්ලාගත්තේය. අත් දෙකම උඩට ඉස්සුවේය. තවත් වේලාවක එක ඇඟිල්ලක් පමණක් එසවූවේය. අනංගයා ඉන්පසුව යළිත් බලාපොරොත්තු බිඳුණු බව කියමින් අඬන්නට වූවේය. යළිත් දුවගොස් උඩ පැන අත කරට උඩින් කරකවා දමමින් නටන්නට වූවේය. අනංගයා දුන්නේ ක්‍රිකට් ඩාන්ස් එකක් බව මට වැටහිණි.
මේ අනංග නැටුම මැද මට කෙල්ලක් බූට් එක තැබුවා සේ හූල්ලන ලංකාව පුරා සිටින තරුණයන් ලක්ෂ ගණනාවක් පෙනෙන්නට වූවේය. කොල්ලෙක් බූට් එක තැබුවා සේ හූල්ලන කෙල්ලන් පෙනෙන්නට වූවේය. සිම්බාබ්වේ පිලට සීරීස් එකකින් පැරදුණු වේලේ ලංකාවම මළගෙයක් වූයේ මේ ආදරය නිසා බව වැටහී මම අනංගයාගෙන් මෙසේ ඇසුවෙමි:
‘කෝ උක්දඬු දුන්නයි මල් ඊතලයි?’
‘ඒවා නෑ - දැං තියෙන්නේ මේවා...’
එසේ කියමින් අනංගයා ලොකු බෑග්එකක් ඇතුළෙන් බැට්එකක් සහ බෝලයක් එළියට ගත්තේය.
‘ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ටවත්, කෙල්ලෝ කොල්ලන්ටවත් ආදරේ නෑ. ඔක්කොම ආදරේ ක්‍රිකට්වලට. කොල්ලෝ විතරක් නෙමෙයි, වැඩිහිටියොත් ක්‍රිකට් ආදරෙන් පිස්සු වැටිලා. මාත් දුනු ඊතල විසික්කරලා මේවා ගත්තා...’
ඉන්පසුව අනංගයා ලෙදර් බැට් එකේ මිටෙන් මගේ පපුවටද තට්ටුවක් දැම්මේය.
‘සිම්බාබ්වේ ටීම්එකට පැරදුණාට, අපේ එවුන් ඉන්දියන් ටීම්එකට දුවන්න දෙයි...’
මගේ සිතටද ආදරණීය ක්‍රිකට් හැඟුම් මෝදු වනු මට දැනිණි. මාද ක්‍රිකට් ආදරවන්තයකු වනු මට දැනිණි. .