‘අලයන්’ ස්ටාෆ් යද්දී ‘ගඳයෝ’ ගෙදර යති | Page 19 | සිළුමිණ

‘අලයන්’ ස්ටාෆ් යද්දී ‘ගඳයෝ’ ගෙදර යති

 මේ කොලමට ‘ගලහ හන්දිය’ ලෙස නම තැබීම ගැන මිත්‍රයෝ කිහිප දෙනෙක්ම මගෙන් විමසූහ. ඔවුන්ගෙන් වැඩි දෙනකු කීවේ මීට වඩා අර්ථාන්විත නමක් තබන්නට අවස්ථාව තිබූ බවය. එහෙත් එක් මිතුරෙක් පමණක් ඒ සම්බන්ධයෙන් අපූරු විවරණයක යෙදුණේය. ඔහු කීවේ ගලහ හන්දියෙන් කොළඹ දිසාවට යන මාර්ගය නූතනත්වය කරා යන්නේ නම් අනෙක් මාර්ගය යන්නේ සාම්ප්‍රදායික ගතානුගතිකත්වය වෙත බවයි. එහෙත් විශ්වවිද්‍යාලය කරා දිවෙන මාර්ගය දැනුම් පද්ධතියක් කරා යන බැවින් මේ කොලමේ පදනම දැනුම නිෂ්පාදනය හා සමාජය කරා ඒ දැනුම ගෙනයෑම මූලික විය යුතු බවයි.

දැනුම නිෂ්පාදනය හා බෙදාහැරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයකට ඇත්තේ අපමණ වගකීමකි. එහෙත් ඒ වගකීම ප්‍රායෝගික වන්නේ ලෝකයා සමඟ සංවේදීව කටයුතු කළ හොත් පමණි. සාමාන්‍යයෙන් ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි දැනුම නිෂ්පාදනය සම්බන්ධයෙන් ගැටලු පවතී. එය ලංකාවේ නොදියුණු භාවය නිසාද පරිධියේ රටක් ලෙස ආවේණික හේතු නිසාද විය හැකිය. එහෙත් පරිධියේ රටක් ලෙස පවතින හේතු නිශ්චිත වුවත් නොදියුණුභාවය නිසා පවතින ගැටලු ප්‍රබලයැයි සඳහන් කළ හැකිය.

කාලයකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දැනුම නිෂ්පාදනය කිරීම තිබුණේ කනගාටුදායක මට්ටමකය. එහි විෂය කරුණුවලට ඉගැන්වූයේ ඒ ඒ විෂයයන්ට අදාළ නොයිඳුල් කරුණුය. එසේම නොඉඳුල් විෂයයන්ය. එකල මේ ලියුම්කරුවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මැවී තිබූ චිත්තරූපය වූයේ පැරණි වලව්වකි. වලව්වක් නිසා එහි ආධිපත්‍යයික බලයක් පවතී. පැරණි නිසා ගතානුගතික සාම්ප්‍රදායික ස්වරූපයක් පවතී. මේ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඒ ඒ විෂයයන්ගේ අමු විෂය කරුණු උගන්වන, විෂයයන් අතර සමීපතා හඳුනා නොගත්, නවීන ලෝකයට සංවේදි නොවූ දැනුම් පද්ධතියකට සමීප විශ්වවිද්‍යාලයක් විණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රථම වසර ශිෂ්‍ය කණ්ඩායමේ වාර්ෂික විනෝද චාරිකාව යන්නේ සීගිරියටයි. එක් ආචාර්යවරයකු මේ කරුණ විවේචනය කරමින් පවසා තිබුණේ “හැම බැච් එකක්ම ෆස්ට් ඉයර් ට්‍රිප්-එක යන්නෙ සීගිරියට. අඩු ගානෙ ඕක වත් වෙනස් කරලා වෙන තැනකට යන්න බැරිද?” කියාය. එහෙත් ශිෂ්‍යයන් සිනා මුසුව සාකච්ඡා කළේ හැමදාම සීගිරියට ෆස්ට් ඉයර් බැජ් ට්‍රිප්-එක ගියත් එමඟින් කිසිවකුට හානියක් නොවන බව හා එහෙත් තමන් උගත් විෂය සටහන්ම තමන් දේශකයකු වූ පසුව ශිෂ්‍යන්ට ලබාදීම කොතරම් අනර්ථකාරීද යන්නයි. යාවත්කාලීන නොවූ විෂය සටහන් ශිෂ්‍යයන්ට ලබාදීම බොහෝ පසුගාමී කථිකාචාර්යවරුන්ගේ සිරිතයි.

එහෙත් පසුගිය කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දැනුම නිෂ්පාදන ක්‍රියාවලිය යාවත්කාලීන වී තිබෙන බව අසන්නට ලැබිණි. අමු විෂය ධාරා උගන්වන්නේ නැතිව විෂයයන් සංකලනය වූ නිර්මාණාත්මක විෂයයන්ද අලුත් ලෝකයට ඉල්ලුමක් පවතින විෂයයන්ද ආශ්‍රයෙන් පාඨමාලා නිර්මාණය වී තිබීම සතුටට කරුණකි. සාමාන්‍යයෙන් විෂයයන් පාඨමාලාවන්ට ඇතුළත් වන්නේ වෙළෙඳපළ ඉල්ලුම අනුව ය. එහෙත් ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ පෞරුෂය හා ජීවිතයේ වටිනාකම් වර්ධනය වන විෂයාංග පාඨමාලාවන්ට ඇතුළත් කිරීම හා ඇතුළත් කරන්නට නැඹුරුවක් තිබීම සතුටට කරුණකි.

අණුක ජීව විද්‍යාව හා ජීව තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සනත් රාජපක්ෂ පවසන්නේ ශිෂ්‍යශිෂ්‍යාවන් විෂය කරුණු උගෙන උසස් විෂයානුබද්ධ ප්‍රතිඵල පෙන්වීමට දක්ෂ වුවද සමාජ වටිනාකම් ජීවිතයට ඇතුළත් කරගෙන නිර්මාණශීලීන් ලෙස ජීවිතය හැඩගස්වාගැනීමට උනන්දුවක් නොදක්වන බවයි. එවැනි පෞරුෂ ලක්ෂණ වර්ධනය කිරීම සඳහා සකස් කළ විෂය කොටස් පාඨමාලාවන්ට එක් කළද ඒවා මඟහරිමින් වෙළෙඳපළ ඉල්ලුමක් සහිත විෂයයන් පමණක් අධ්‍යයනය කිරීමේ ප්‍රවණතාවක් ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

දේශපාලන අදහස් ඇති ශිෂ්‍යශිෂ්‍යාවන්ට ඒ අදහස් මත ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරකම් කිරීමට අවස්ථාව තිබිය යුතු වුවත්, දුෂ්කර ගම්වලින් පැමිණෙන ශිෂ්‍යයන් දේශපාලනික කටයුවල යෙදෙන්නේ තම අධ්‍යාපනය කඩාකප්පල් කරගනිමිනි. සමාජ පරමාර්ථයන් ඉෂ්ට කළ යුත්තේ මූලික වශයෙන් තමුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරගනිමින්මය; එසේම තම දෙමවුපියන්ගේ බලාපොරොත්තුවලට සාධාරණය ඉෂ්ට කරමිනි. එහෙත් දේශපාලනයේ යෙදෙන ග්‍රාමීය සම්භවයක් සහිත ශිෂ්‍යශිෂ්‍යාවෝ වැඩි දෙනෙක් දේශපාලනය මත තම ජීවිත විනාශ කරගනිති.

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතයේ පොදු අවකාශයෙන් බැහැර වන නවකවධයට එකඟ නොවන ශිෂ්‍යශිෂ්‍යාවන් හඳන්වන්නේ ‘අලයන්’ ලෙසය. මේ වනවිට ප්‍රවණතාවක් ලෙස විශ්වවිද්‍යාලයේ තාවකාලික ආචාර්ය මණ්ඩලයට තේරී පත් වන්නේ අලයන්ය. ලංකාවේ ආර්ථික වශයෙන් ආන්තික මිනිසුන්ගේ දූදරුවන් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයන්ට තේරී පත් නොවීම අසාධාරණයකි. එහෙත් ඒ අසාධාරණයට වගකිව යුත්තේ ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම්ය. ඔවුන්ගේ දේශපාලනය තුළ තම කාඩර්වරුන්ට අධ්‍යාපනය ලැබීම සම්පූර්ණ කළ යුතු වීම අනිවාර්යක් නොවීම කනගාටුවට කරුණකි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පාඨමාලා ‘ස්මාර්ට්’ වෙමින් පැවතීම සතුටට කරුණකි. ශිෂ්‍යශිෂ්‍යාවන්ද ඒ අන්දමින්ම ‘ස්මාර්ට්’ වන්නේ නම් සතුටකි. එහෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ ඔබ-මොබ යන විට නම් එවැන්නක් දක්නට නොලැබිණි. - අබරන් 

Comments

“Galaha Handiya” was first seen by me thanks to one of my batch mates, Philip Shantha. Early on I commented that “Our country is at cross roads” and hence an appropriate title. Most of the facts presented here are true and agreeable. But the columnist has indicated that the “rejection of ragging” and “alienated from common university life” as a single trait of “Alayo”. This is a common misconception that many who support the ragging have been trying to convince for decades. Also this is the most common misconception used by many student activists who try to inflict a division among new students and thereby hold a grip on one of the factions. Needless to say, those who categorically reject the concept of ragging have been able to freely enjoy the university life to the fullest extent. Freshmen who refuse to succumb to the pressure of ragging are being sidelined by a minor fraction of the students who hold an iron grip on the general student voice. Another fraction of the freshmen who take part in ragging who refuse to unleash the terror on their juniors are also sidelined by the same. If at all, anyone who has no sentiment toward the ragging has not been able to enjoy and participate in the “common university life”, it is mainly because of the forceful sidelining by those who support the ragging. It should be everyone’s responsibility to restore the decency in student life, inside the higher education institutes as well as outside. Accepting that the ragging is illegal and a form of torture is an important step toward this goal.

විද්‍යා ඵීඨයේ පමණක් නොව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මා උගත් පීඨයේත් පළමු වසර චාරිකාව යන්නේ සීගිරියට තමයි. එයට හේතුව එක් දවසකින් ගොස් පැමිණීමේ අවශ්‍යතාවයයි. අනේක සීගිරිය යනු විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන් බොහෝ දෙනෙකු ඒ වන විට නරඹා ඇති තැනක් නොවෙයි. විමලසිරි ගම්ලත්ට පවා විශ්වවිද්‍යාලයට ආවා නම් සීගිරිය නරඹන්න යන්න තිබුණා. නවක උපාධිධාරීන් ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීම අධ්‍යයන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සිතැඟි අනුව තීරණය වෙන දෙයක්. ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් කෙසේ වෙතත් අලයින් නොවන අය පවා පළමු පෙළ සාමාර්ථ සහිතව උපාධිය ලබා ගත්තත් ඔවුන්ව බඳවා නොගත් අවස්ථා එමටයි.

පිටු