සිහිනයෙන් මට, මා නිර්මාණය කරන දේ සත්‍ය යැයි, සිතෙන්නට විය. මට සත්‍යය නිර්මාණය කළ හැකි යැයි සිතෙන්නට විය. කොටින්ම කියතොත් මගේ කටින් යමක් කියවෙන්නේ ද ඒ සියල්ල ම සත්‍යය යැයි සිතෙන්නට විය.
සත්‍යය යනු කුමක් ද යැයි කිවහොත් ඒ වනාහී මගේ කටින් පිටවෙන වචන යැයි මට ම සිතෙන්නට විය. ඒ අනුව මහල්ලා සහ මුහුද ගී ද මෝපසාංගේ ය යන්න සත්‍යයකි. කතරගම ප්‍රේමවතී ඝාතනය සිදුකළේ හමුදා නිලධාරියකු නොව පොලිස් නිලධාරියකු යැයි කීම සත්‍යයකි.
මෙලෙස කරුණු ඇතිව හෝ නැතිව හෝ වෙලාවට අනුව මා කියන සියලු දෙය ම මා විසින් කිවූ නිසා ම සත්‍ය විය යුතු බව මට සිතුණි. මා සිහිනයක් දකින බව මට නොසිතිණි. මට මා ගැන මහා ආඩම්බරයක් උපණි. මා නැතිනම් ලොවට සත්‍යයත් නැති බවත් ලොව සත්‍යය පවතින්නේ මා නිසා බවත් මට සිතිණි.
ලොව උතුමන් භාවනා කර සත්‍යය සොයන්නට උත්සාහ කළත් මයික්රපෝනයක් ඉදිරියට ගිය විට ඉබේ ම මා ඉදිරියේ සත්‍යය පහළ වීම මා සතු සුවිශාල ආනුභාවයක් යැයි මට සිතිණි මයික්රපෝනයක් ඉදිරියට යාම හැර ඒ වෙනුවෙන් මා දවසක් දෙකක් උපවාස කර ඇති බව ද ඒ සමඟම සිහි විය. සමහර විට සත්‍යය වනාහී මගේ තනි අයිතිවාසිකමක් බවට පත්වීමට මා සිදුකළ ඒ උපවාස සත්කාර්යය ද හේතුවන්නට ඇතැයි මට සිතිණි.
මා රටට යැයි මට සිතිණි. මා මට යැයි මට සිතිණි. රට මට යැයි සිතිණි. ඒ නිසා රට යන්නට පාස්පෝට් කිහිපයක් අවශ්‍ය යැයි ද සිතිණි.
මා සියල්ල ම කරන්නේ පාස්පෝට් වෙනුවෙන් යැයි ද මට සිතිණි. පාස්පෝට් යනු රට යැයි ද රට යනු පාස්පෝට් යැයි ද සිතිණි.
ඕනෑම බොරුවක් සත්‍යය යැයි සිතාගැනීමේ හැකියාව මා තුළ ඇති බව සිහිනයෙන් ම මට හැඟී ගියේය. චේතිය රජ්ජුරුවන්ට ද තිබෙන්නට ඇත්තේ මේ හැකියාව ම යැයි සිතිණි. මට චේතිය රජ්ජුරුවන් ව පෙනිණි. මා චේතිය රජ්ජුරුවන් යැයි සිතිණි. චේතිය රජ්ජුරුවන් ලියා ඇති පොත් සියල්ල මා විසින් කියවා ඇතැයි ද සිහිනයෙන් ම මට කල්පනා විය. චේතිය රජ්ජුරුවන් කියවා නැති පොත් ද මා කියවා ඇති බව මට ඒ සමඟ ම සිහිවිය.
ඒ සමඟ ම දැන් චේතිය රජ්ජුරුවන්ට වුව ද උගන්වන්නට නැතිනම්, ටියුෂන් දෙන්නට හැකියාවක් මා තුළ ඇතැයි සිතිණි.
චේතිය රජ්ජුරුවන් මගෙන් ටියුෂන් ගන්නා ආකාරය සිහිනයෙන් ම මට පෙනිණි. චේතිය රජ්ජුරුවන් මා ගැන පුදුම වන හැටි මට මැවී පෙනුණි.
චේතිය රජ්ජුරුවන්ට ද එදා සිටි බොරුකාරයන් කොතරම් ආදරය කරන්නට ඇති දැ යි ඒ අතර ම මට සිහිනයෙන් ම සිතිණි.
මා බොරුකාරයෙක් ව ඇත්තේ මගේ ම වරද නිසා නොවේ යැයි ද මට සිතිණි. ජනතාවගේ ආදරය දිනාගැනීම උදෙසා චේතිය රජ්ජුරුවන් සරණ යාම මගේ වරදක් නොවේ යැයි මට සිතිණි.