අහස යට............................... | සිළුමිණ

අහස යට...............................

අපේ ගෙදර කුස්සිය පැත්තෙ මාස ගානක ඉඳන් තියෙන ඇබෑර්තුව පුරවන්න ආපු කොළපාට හැට්ටයට නොගැලපෙන පාටකින් සායක් ඇඳපු කළුපාට ඉටි කවරයක් අතින් ගත්තු ගැහැණිය ස්තෝප්පුවෙ මැද කනුවට පිට දීල උත්තර දෙනව. මගේ බිරිඳ එතනම තියෙන වැල් පුටුවෙ වාඩිවෙලා . සම්මුඛ සාකච්ඡාව පටන් අරගෙන සෑහෙන වෙලාවක් ගතවෙලා. අනික් පැත්තෙ තියෙන දිග හාන්සි පුටුවෙ දිග ඇදිල ඉන්න මගේ අතේ තියෙන පොතේ අකුරුවලට ඇහැගියාට කන් දෙක නම් හැරිල තිබුණේ දෙබස පැත්තට.

“අවුරුදු හත අටක් පිටරටවල රස්සාව කරල ඇවිත්, ආයිත් ගෙවල් වල වැඩ කරන්න වුණේ ඇයි, හම්බකරපුව ඉතිරි කරගත්තෙ නැද්ද ? “ කියල බිරිඳ අහපු ප්‍රශ්නයට පිළිතුරු ගොඩාක් ප්‍රමාද ඇයි කියල බලන්න පොතේ අකුරු අතරින් ඇස් දෙක මෑත් කරල ගැහැණිය දිහාවට හැරෙවිව.

බිම බලාගෙන ඉන්න ගැහැණියගෙ ඇස් වලින් බේරෙන කදුළු වම් අතින් පිහදාල,

“දරුවො දෙන්නට උගන්නල, පොඩියටවත් ගෙයක් හදාගන්න හිතාගෙන තමයි මම රට රස්සාවට ගියෙ, ඒත් අවුරුදු ගානක් පිටරට දුක්විඳල ලංකාවට එද්දි මට ඉතුරු වුණේ කුඩු වලට ඇබ්බැහි වෙච්චි මිනිහවයි අයාලෙ ගිය දරුවො දෙන්නවයි විතරයි නෝනා” කියල දකුණු අතේ තිබුන ඉටි කවරය වම් අතට ගත්ත.

අතේ තිබුන පොත පැත්තකින් තියල ගේ ඇතුලට ඇවිත් මම ඇඳේ හාන්සි වුණා.

මගේ මතකය අවුරුදු ගානක් ඈතට ගිහිල්ල නාවිකයෙකු විදිහට සේවය කරද්දි හමුවෙච්චි කුරුවිලා කියන ඉන්දියානුව ඉස්සරහ නතරවුණා.

කැප්ටන් කුරුවිලාත් එක්ක වැඩ කරන්න ඉංජිනේරුවො කවුරුත් වැඩි කැමැත්තක් නැත්තෙ එයාගෙ නීති වලට යටත් වෙන්න අකමැති හින්ද. නිවාඩුවට ලංකාවට ඇවිත් ආපහු ගිය මට කුරුවිලාගෙ නැවේ ඉංජිනේරුව හැටියට වැඩ බාර ගන්න වුණා. හිතේ පුංචි චකිතයක් ඇති වුණත් මගේ පාඩුවෙ රස්සාව කරනව කියල තීරණය කෙරුව. මුල් දවස්වල රාජකාරි මට්ටමෙන් අවශ්‍යම දේ විතරක් අපි දෙන්න අතරෙ සන්නිවේදනය වුණා. කෑම මේසෙදි අපි දෙන්න හමුවුණා. ටික දවසක් ගෙවුනම මම එනකම් එයා කෑම නොගෙන බලාගෙන හිටිය. හෙමින් හෙමින් අපි දෙන්න අතරෙ මිත්‍රකමක් ගොඩ නැඟූ

එයා හොඳ රසිකයෙක් , ලතා මංගේශ්කර්, මොහොමඩි රාෆි, මන්නාඩේ වගේ අයගෙ ගීත රසවින්ඳ. අපි දෙන්න ඉන්දියන් රම් බෝතලයක් මැදින් තියාගෙන හඳ එළියෙ නැවේ ඩෙක් එක උඩදි රෑ එළිවෙනකම්ම කතා කෙරුව.

පිරවි, සලාම් බොම්බෙ, එලියපත්තන් වගේ සම්භාව්‍ය ඉන්දියානු චිත්‍රපට ගැන එයා විචාරය කරද්දි රේඛාව, නිධානය, වැලිකතර වගේ සිංහල චිත්‍රපටි ගැන මම කියල දුන්න.

මට කතාකෙරුවෙ”චන්දරන්” කියල ඒ ඉන්දියානු හුරුවට.

“චන්දරන් උඹ දන්නවද ඇයි මම මේ රටට ආවේ කියල? “ අහස තනි කරුවල රැයක මගෙන් ඇහුව.

“ මම ඉන්දියන් නාවික හමුදාවෙ වැඩ කරද්දි, මමයි බිරිඳයි දුවයි ජීවත්වුණේ කුලී ගෙදරක. ඒ ලැබුණ පඩියෙන් කවදාවත් අපිට ගෙයක් දොරක් හදාගන්න බැරි හින්දයි ඒ දෙන්නව තනිකරල මම මේ රටට ආවෙ”.

“ඒ මීට අවුරුදු විස්සකට විතර ඉස්සර”

“ මුල් අවුරුදු දෙක තුනක්ම හම්බ කරපු හැම සතයක්ම එකතුකරල ඉඩමක් ගත්ත”

“ ඊට පස්සෙ, ගෙයක් හදන්න සල්ලි හෙව්ව, ඒ වෙද්දි දුව ස්කෝලෙ යන්න ගත්ත. බිරිඳට ඕනැවුනා දරුවව ඉහලම ස්කෝලෙකට දාන්න. ඒ වෙනුවෙන් අවුරුදු ගාණක් හම්බකරපුව ගෙවන්න සිද්ධවුණා. ඒ වෙද්දි බිරිඳ එයාගෙ පවුලෙ අයත් එක්ක ලොකු තරගයක් පටන් ගත්ත, ගෙදරට ඕනෑම බඩු මුට්ටු වුණත් සාමාන්‍ය ඉන්දියානුවන් ගන්න දේට වඩා සුඛෝපබෝගී දේවල්.”

‘දරුවව විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒ වියදම් දරන්න තවත් අවුරුදු ගාණක පඩිය වෙන්කලා”

ගිය අවුරුද්දෙ දුවගෙ විවාහය කෙරුව. විවාහයට දෑවද්ද, මහා විසාල උත්සවය අවසන් වෙද්දි මම ආයිත් ණය කාරයෙන් වුණා.

පසුගිය අවුරුදු විස්සටම හරියට බැලුවොත් මම ඉන්දියාවෙ ජීවත්වුනේ දවස් ගානයි.”

“ඒ හැම දේම කෙරුවෙ මගෙ පවුලට කියල මට හිත හදාගන්න පුළුවන්, ඒත් මට හිත හදාගන්න බැරි දෙයක් තියෙනව උඹට කියන්න” කියල කැරුවිලා ඇස් අඟ තිබුණ කදුළු බින්දුව පිහදාගත්ත.

උඩ සාක්කුවෙ තිබුණ හතරට නමපු ලියුමක් දිග ඇරල “මේකෙ ලියල තියෙන දේ උඹට කියවන්න බැහැ. මගේ බිරිඳ මගෙන් වෙන්වෙන්න තීරණය කරල”

‘දැන් මට කියල මොනවත් ඉතිරිවෙලා නැහැ” කියල කළුවර අහස දිහා බලාගෙන හිටිය.

ඊට දවස් ගානකට පස්සෙ කුරුවිලා අසනීපවුණා. බහරේන්වල රෝහල් ගත කෙරුව. දරුණු හෘදයාබාධයක් .

මීදුම මැද්දෙන් බහරේන් වරායේ තියෙන කහපාට ලයිට් එළි පඬුවන් පාට ගැහිල මූසල ගතියකින් නැවේ මගෙ කාමරේ ඇතුළට රවුම් වීදුරුවෙන් පෙනුණා.

කපිතාන් වරයෙකු විදිහට මහා පෞරුෂයක් ඇතිව සේවය කරපු දකුණු ඉන්දියානුවාට අමතක වෙච්චි දෙයක් මතක්වුණා වගේ ඇඟිලි කරු අතර රැඳිලි තිබුන සිගරට් එක උරල දුම් ටික පපුවෙ තද කරගත්ත. හතරැස් මිටි ඉන්දියන් රම් බෝතලේ නම් තව උගුරකට වැඩිය ඉතිරිවේලා නැහැ. සිගරට් අළු බඳුන ඉතිරිල ගිහිල්ල. මේසෙ උඩත් තැන් තැන්වලත් අළු විසිරිලා.

“කැප්ටන් කුරුවිලා , කැප්ටන් කුරුවිලා,”

කියල මහ හයියෙන් කෑ ගහල මගේ කාමරේ දොරට ගහනව.

තලප්පාව බැඳපු දිග රැවුල තියෙන අපේ සමාගමේ රියදුරා ගුරුදාල් සිං දොර ළඟ.

කැප්ටන්, එයාපෝට් එකට යන්න වෙලාව හරි" හින්දි බාසා‍වෙන් කීයුව.

ඉද්ද ගැහුව වගේ පුටුවෙන් නැගිට්ට කුරුවිලා ඉදිමිලා තිබුණු ඇස් දෙක පොඩි කරල රම් බෝතලේ ඉතිරි ටික උගුරට හලාගෙන මට මෙහෙම කියුව.

"චන්දරන්, අපි වෙන්වෙන්න වෙලාව ඇවිත්, ආයිත් කිසිම දවසක අපි හම්බවෙන එකක් නැහැ. මට උඹට දෙන්න එඩ්රටස් එකක්වත් නැහැ” කියල මොහොතක් මාව වැළඳගෙන

“ප්ලෙන් එක මාව ඉන්දියාවට ගෙනියයි,

“එතනින් එහාට........................මම කොහේ යන්නද" කියල කැප්ටන් කැරුවිලා කාමරෙන් පිටවුණා.

පඬුපාට එළිය මැද්දෙන් ගුරුදාල් සිංගෙ කාර් එක පිටත්වෙනව රවුම් ජනේලෙන් බලාගෙන හිටපු මම කාමරේ දොරවහල ඇති තරම් මහ හයියෙන් ඇඬුව.....

චන්දන ගුණසිංහ 

Comments