![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/30/tl-2.jpg?itok=rMaSXBBA)
“අහුවෙද්දෙංකො කොහෙදි හරි!”
මයික් විජේ දෙකයි දෙකේ පරාල කෑල්ලක් අරගෙන අබිලිංගෙ කඩේ ඉස්සරහා පිට බෝක්කුවට නැගලා. දත්මිටි කකා පාර බලනවා.
පාදෙණිය පැත්තෙං මිනුවන් ගැටේ කෝරළේගම හරහා එන වාහනවලට එබිලා බලනවා. වාහනකාරයො තක්කු මුක්කු වෙලා එතැනින් ඉක්මනට පියාඹනවා.
“විජේ කවුරු එනකං ද ඔය දත්මිටි කන්නෙ?” මං අබිලිංගෙං ඇහුවා.
“පාදෙණිය දොස්තර මහත්තයා එනකං”
අබිලිං උත්තර දුන්නා.
“දෙයි හාන්දුරුවනේ! ඒ මොකට ද?”
“ඇයි බණ්ඩයියා දන් නැද්ද?”
“දන්නවනං අහනව ද යකෝ!”
“හා... හා කේන්ති ගන්ඩ එපා. මයික් විජේගෙ මායියට ඉරුවා රදේ ඇවිත් බේත් ගන්ඩ විලාකටුපොත ඉස්පිරිතාලෙට දෙදොහක් ම අරං ගියා.”
“ඉතිං?”
“දොස්තර මහත්තුරු ඉස්ටැයික් හින්දා ආපසු එක්ක ආවා”
“ඉතිං?”
“ත්‍රීවිල් එකට අතේ තිබිච්ච තුට්ටු දෙකත් දීලා බේතුත් නැතුව දැං ඔය තෙල් වගයක් ගගා සාප කොරනවා.”
“ඉස්පිරිතාලෙං මොකද කියල තියෙන්නෙ?”
“අපට කරන්ඩ දෙයක් නෑ. දොස්තරලාත් එක්ක බලා ගන්ඩ කියලා මිසීලා කිව්වලු”
“ඊට පස්සෙ?”
“ඉම් පස්සේ මයික් විජේට ඌරු ජුවල් ගිහිං හොර උපාදි කඩේ වහා දමනු බැනර් රෙදි ඇදලා බිමට දාලා ගිනි තිබ්බලු.”
“ඊට පස්සේ දෙකයි දෙකේ පරාලෙත් කරේ තියාන පාදෙණිය හන්දියට ගෙහුං වර එලියට කියලා කෑගැහුවලු.”
“ඒ කාට ද?”
“දොස්තර පාදෙණියට.”
“දෙයියෝ සාක්කි! ඉතිං එළියට ඇවිල්ල ද?”
“පාදෙණිය හන්දිය කඩඔල සෙනඟ ඇවිත් මිනිහට ඔරෙංජං බාරලි අරං දුන්නලු”
“ඊට පස්සෙ?”
“දොස්තර පාදෙණියෙ උනාට ඉන්නෙ කොළඹ හින්දා අපට වද නොදී යන්ඩ කීවලු”
“ඊට පස්සෙ?”
“ඊට පස්සෙ කොළඹ ගෙහුං කොහෙ කියල හොයන්ඩ ද කියලා තමයි ආපහු ඇවිත් පාර මුර කොරන්නෙ”
“මයික් විජේ පාදෙණිය දොස්තර මහත්තයා අඳුනනවද?”
“උන්නැහෙ අඳුනන් නැති කෙනෙක් අද අපේ රටේ ඉන්නවද? ටී වී පෙට්ටිඔලිං වොයිස් කට් දැකලා දැකලා ජනාදිපතිතුමාටත් වඩා ජනප්රියයි නොවැ”
ඒ කියලා කට ගන්ඩ හම්බුන් නෑ ආයිබොවංඩ අබිලිංගෙ කඩේ ටීවී පෙට්ටියෙං පාදෙණිය උන්නැහේ වොයිස් කට් දෙනවා පේනවා.
කිව්වහම මොකද ආයිබොවන්ඩ අබිලිංගෙ මායියා කම්මුලට අත තියන අප්පච්චියේ පාදෙණිය මහත්තයා කියලා හූල්ලනවා.
අබිලිංගෙ මුණුබුරු පැංචා සූප්පුව කෙට් ගහං බඩ ගගා ඇවිත් ටීවී පෙට්ටිය දිහා බලාන කට අරිද්දි සූප්පුව තඃ ගාලා බිමට වැටුණා.
“අර කවුද පැටියෝ”
අබිලිංගෙ මායියා මුණුපුරා වඩාගෙන ටීවී පෙට්ටියට ඇඟිල්ල දික්කොරා.
“පාජෙනිය” කොලුවා ගොත ගැහුවා.
අබිලිංගෙ බල්ලත් කං දෙක අටවගන පාදෙණිය දොස්තර මහත්තය දිහා බලාංගෙන. කඩේට බඩු ගන්ඩ ආපු උදවිය ලූනු කිරිල්ල, සීනි කිරිල්ල පැත්තක දාලා පාදෙණිය උන්නැහේ දිහා කට ඇරගෙන බලං ඉන්නවා.
යකඩෝ! මේක පුදුම වැඩක් නෙවැ. යකඩ මරංගෙ බරබාගෙ රෝද කැරකෙන කොට ඇහෙන්නෙත් පාදෙණිය, පාදෙණිය . බලං ඉන්ඩ බැරි ම තැන පයිම්ම ගෑටුවා සැල්ටොංගෙ බාර්රෙකට. මිනිස්සු නාගසලං වෙන්ඩ ගහලා කුකුල් මස් ගණං හින්දා බයිට්ටෙකට ගත්තෙත් අර ජනප්රිය වචනෙම තමයි ආයිබොවංඩ. එතන ටීවී එකෙත් උන්නැහේ වොයිස් කට් දෙනවා දැකලා එක මිනිහෙකුගෙ අරක්කු ඉස්පොල්ලෙ ගියා ආයිබොවන්ඩ.
“ඊළඟ ජනාදිපති චන්දෙ එනකං ඔය තත්තෙ ඔහොම්ම තිබ්බොත් හිතන්ඩ බැරි කෙනෙක් ජනාදිපති වෙන්ඩ බැරි නැද්ද?” මං ඇහුවා නිමලෙගෙං.