එළවුළු නැති වැ බත් කෑ නොහැකි ය. දැන් නම් බතට වඩා ‘රයිස්’, කොත්තු, පරාටා ආදිය කන්නන් වැඩි බැවින් එළවුළුයෙන් එ තරම් ම වැඩක් ද නැති. යට කී කෑම කනනට බදින ලද, පුළුස්සන ලද, දුම් ගසන ලද කිරට, මිරිසට උයන ලද නොයෙක් මස්, මාළු ජාති ඇත්තේ ය.
දවාලට කෙසේ වතුදු රෑට නම් බතක්, එළවුළුවක් ගන්නට බොජුන් හලක්, හෝටලයක් මෙරට නැත්තේ ය. එ වුවද බොහෝ ගෙවල තව මත් එළවුළු පිසේ. බොහෝ දෙන එළවුළු කති. ඇතැම්හු එළවුළු පමණක් කති. ඇත්තට ම නම් ඔවුහු වැඩිදෙන එළවුළු පමණක් නො ව, පලතුරු ද කේඩු වෙඬරු ආදිය ද කති. කිරි ද බොති. එහෙත් ඉංගිරිසියෙන් ‘වෙජිටේරියන්’ නිසා සිංහලයෙන් ද එළවුළු පමණක් කන්නෝ ය. කුමක් කෙරෙමු ද? ඉංගිරිසියට එරෙහි වැ යා හැකි ද? දැන් දැන් ඇතැමුන් ‘නිර්මාංසභෝජන’ යැයි ගම්භීර නාමයන් ඔවුනට දී ඇත ද වැඩි දෙනකුට එය වැටැහෙති යි සිතිය නොහැකි ය.
මෙරට වැඩි දෙනෙක් ‘එළවුළු’ යනු ‘එළවළු’ යි ලියති. ඉක්මනින් කියන කල ‘එළෝළු’ යි ද කියති. එ ද, හෙළ හවුලේ ‘සුබැසියෝ’ නම් එ දෙන ම වරදැ යි ද ‘එළවුළු’ යනු ම නිවරදැ යි ද කියත්. ඔවුන් කියන සැටිය ම එළවුළු වී ඇත්තේ ‘හෙළ අවුළු’ යි. මස් අවුළු (මසවුළු) ‘මාළු’ වී ඇතැ යි ද කියනුයෙන් එ ද නො විය හැක්කේ නො වේ. වේවා!
සියවස් තුන් කාලක් පමණ බස වෙනුයෙන් ම කෑ ගාන හෙළ හවුලේ අසරණයනට ද යන්තම් හෝ ඉඩක් දිය යුතු බැවින් අපි දු එළවුළු යි ම යොදමු. ජන බස් මහැදුරෝ තමා කෙරෙත් වා!
අනන් මනන් කුමට ද? එළවුළු ගැන ම කතා කෙරෙමු. ගිනි ගණනට මෙ රට මිනිසුන්ගෙන් ඉතා වැඩි දෙනෙක, මිනිසකු කෑ යුතු එළවුළු ප්‍රමාණයෙන් සියයට තිහක් වත් නො කති යි විද්වත් ‘පෝෂණවේදීහු’ කියත්. සැබෑ මැ යි. යන්තම් පාන් නටුවක් සොයාගෙන හෝ පොන්නි සම්බා ටිකක් තම්බාගෙන හෝ කන්නවුනට කුමන එළවුළු ද? අර ‘රයිස්’ පීසා, කොත්තු කන්නවුනට ද එළවුළු කන්නට එ තරම් ඉඩක් නො ලැබේ. ඉතින් රටේ වැඩි දෙනකු එළවුළු නොකෑමත් පුදුමයක් ද? එහෙත් මේ තිරසර යුගයේ රට සංවර්ධනය වන සැටියට නම් ළඟ දී ම එළවුළු ඉතිර පැතිර යා හැකි බැවින් එළවුළු කෑම එ තරම් දුෂ්කර නොවනු ඇත.
අනෙක් පැත්තෙන් නැඟෙන අදහසකුදු වෙයි. දැන් වනාහි හැම වගාවට ම රසායන පෝරත් කෘමි නාශකත් අතිශයින් යොදති යි කියැවේ. ඇතැම් එළවුළුවලට නෙළන්නට දවනකට පෙර ද හොඳට තෙල් ගසති යි දන්නෝ කියත්. ඉතින් ඒ එළවුළු වැඩියෙන් කෑම නම් වැඩි වැඩියෙන් වස විස සිරුරට ගැන්මෙකි. සිහි නුවණ ඇති කවරෙක් නම් දැනදැන ම එ සේ කෙරේ ද? එ හෙයින් අපේ පෝෂණවේදීන් දැන් කන පමණ වත් එළවුළු කන්නට එඩිතර වීම ගැන මෙරට ජනයාට ප්‍රශංසා කළ යුතු ය.
එළවුළු ද නොයෙක් වර්ගවල වේ. ඇතැම්හු උඩරට එළවුළු නමිනුදු එළවුළු වෙසෙසක් දක්වති. උඩරට වැවුණු පමණින්, පිටරට එළවුළු උඩරට එළවුළු යි ගැන්ම උඩරටට ද කරන නිගාවෙකි.
එක් එක් එළවුළුව එක් එක් ගුණයෙන් යුතු ය. හොඳ ගුණ රැකෙන පරිදි අගුණ මැකෙන පරිදි තුනපහ දුරු මිරිස් යොදා එළවුළු පිසින්නට පෙර නම් ගෘහණියෝ හොඳින් දත් හ. දැන් නම් කෝකටත් ගැළැපෙන තුනපහ කුඩු ටිකක් දමා පිටි කළ පොල් කිරි ද එක්‍ොකට තැනෙන එළවුළුයෙන් ම කට දිව රවටා ගැන්ම කාට කාටත් හුරු ය.
එළවුළු ද මිනිසුන් වැන්න. එහි දු චණ්ඩයන් සාමාන්‍යයන් මෙන් ම අහිංසකයෝ ද සිටිති. අහිංසකයන් අතර මුලට ම ගැනෙනුයේ පතෝලත් වැටකොළුත් ය. වැටකොළු නම් එ නමින් ම සීගිරි ගී ලියන කලත් තිබුණු බව තහවුරු ය. වැටකොළු විකුණන මහලු කතුන් ගැන කොළඹ කවීහු පැදි ද ලියූ හ.
පතෝල නම් කොතෙක් කෑව ද සිරුරට අහිතකර නො වේ. කවර ලෙඩකට වුව ද අගුණයක් නො වේ. හොඳට වැඩුණු කරලක් නම් දෙතුන් වේලකට වුව ද සෑහේ. වැවීමත් එ තරම් අමාරු නො වේ. ශුද්ධ කළ යුතු දෙයෙකුදු එ තරම් නැති. ඉතින් පතෝල හොඳට ම හොඳ නොවේ ද? බැලුව මැනැවි, දුෂ්ටයන් ගේ සැටි. එ තරම් වටනා පතෝල උපමාවට ගන්නේ නිකම් පම්බඩ, පාන් කඩයන් හඳුන්වන්නට යි. ඔවුහු වනාහි ‘පතෝලයේ’ නම් වෙති.
පතෝලයෝ කො තැනත් සිටිති. ඔවුනට කවර අතටත් නැමිය හැකි ය. උතුරට දකුණට, බටහිරට, නැඟෙනහිරට හැම අතට ම නැමිය හැකි ය. එ හෙයින් කො තැනිනුත් ඔවුනට සැලැකුම් ගත හැකි ය. කො තැනිනුත් කටු කැබැලි ලද හැකි ය. එහෙත් හොඳ සැරට කා බී පුරුදු ඇත්තවුනට ලෙඩ වුණු ක්හි වුව ද පතෝල කන්නට වීම නම් මහත් අමාරුවෙකි.
පුවත්පත්හි දු පතෝල ලිපි ඇත. එයින් කාට වුවත් අගුණයෙක් නැත. එ හෙයින් පුවත්පත් කරුවනට ද අගුණය නැත. එහෙත් තීරු ලිපිත් පතෝල වූ කල නම් පාඨකයනට මඳක් අමාරු විය නොහැකි ද නොවේ.
ඒ කෙසේ වතුදු, හොඳට පතෝලත් බතුත් කා ලෙඩ දුකින් තොර වැ සාමයෙන් සංහිඳියාවෙන් යුතු වැ සියලු ලක්වැස්සෝ සැර දෙත් වා යි හිතමිතුරු නමින් ම ආශංසනය කරමින් සමු ගනුම් හ.
හිතමිතුරා