අපි යමුද පියේ මදුරු පුරේ සයිටම් පාලී... | සිළුමිණ

අපි යමුද පියේ මදුරු පුරේ සයිටම් පාලී...

 ශක්‍ර දේවේන්ද්‍රයාට තමාගේ පඬුපුල් අස්න උණු වී ඇති බව දැනිණි. පඬුපුල් අසුනට ඩෙංගු උණ හැදී ඇත්දැයි එතුමන්ට සැක සිතිණි. එසේ සිතුණේ මගේ සිතේ ඩෙංගු ගැන ඇති බය සිහිනය ඔස්සේ එතුමාගේ සිතට කාන්දු වීම නිසා විය හැකිය. එහෙත් පසුව පඬුපුල් අසුනට ඩෙංගු සෑදී නැති බවත්, පඬුපුල් අසුන උණු වී ඇත්තේ ලංකාවේ ඩෙංගු රෝගීන් ගැන අනුකම්පාවෙන් බවත් සක් දෙවිඳුන්ට වැටහිණි. එතුමා දිවැසින් ලක්දිව බැලුවේය.

තමන්ගේ ඩිස්පෙන්සරියට වී මුදල් ගණන් කරන දොස්තර මහතෙක් එතුමාට පෙනිණි. තමන්ට සල්ලි උල්පතක් වී ඇති ඩෙංගු වසංගතය තවත් චිරාත් කාලයක් පවතීය යන්න දොස්තර මහතාගේ හැඟුමයැයි ශක්‍ර දේවේන්ද්‍රයා හිතන බව මට සිහිනයෙන්ම සිතිණි.

හදිසියේම දොස්තර මහත්තයා ශක්‍ර දේවේන්ද්‍රයා දෙස හැරී බැලුවේය.

හැබැහින් සිදු විය හැක්කේ ශක්‍රයාට දොස්තර මහතා පෙනීම පමණක් වුවත්, සිහිනයක් නිසා දොස්තර මහතාටද ශක්‍රයා දැකගැනීමට හැකි විය.

දොස්තර මහතා ශක්‍රයා දෙසට ඇඟිල්ල දිගු කර කතා කළේය.

‘ආණ්ඩුවේ ඉස්පිරිතාල රස්සාවෙන් අස් කළත් අපට ස්ට්‍රයික් කරන්න පුළුවන්. අවුරුදු දෙකකට වුණත් ජීවත් වෙන්න සල්ලි ඩෙංගු හින්ද මේ මාස දෙක-තුනට හොයාගත්තා...’

මේ අතර පාරේ ගොඩගසා තිබුණු කුණු ගොඩක සිට මදුරුවෙක්ද එතැනට පියඹා ආවේය.

මදුරුවා සක්‍රයාට කියූ ගීතය සේ මට සිහිනයෙන් ඇසුණේ මෙයයි:

‘අපි යමුද පියේ මදුරු පුරේ සයිටම්පාළී...

කුණු ඇති තැන අපි

අපි ඇති තැන ඩෙංගු

කුණු කන්දෙන් ඩෙංගු ලෙඩෙන්

ගොඩ යන්නේ මායි එයයි...’

මේ මදුරුවා දෂ්ට කළේ කාටද යන්න ශක්‍රයාට හැබැහින්වත් මට සිහිනෙන් වත් සිතාගැනීමට නොහැකි විය. මදුරුවා ඉන් පසු සින්දුව නවතා කතාවක් පවත්වන්නටද වූවේය:

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් මාව නවත්තන්න බෑ. මාව නවත්තන්න නම් මිනිස්සු සංශෝධනය වෙන්න ඕනෑ...’

ශක්‍රයා මදුරුවාගේ පණ්ඩිතකම බලන්නට ලංකාවට ගොඩබැස්සා සේ විය.

මේ අතර “අනේ... අපි දිහාත් බලන්න!“ යැයි කෑගසන ශබ්දයක්ද ශක්‍රයාට ඇසිණි. ඒ ඇසුණේ උමා ඔය දෙසිනි.

ඒ අනුව ඒ දෙස බැලූ ශක්‍රයා දුටුවේ ශක්‍රයා වන තමන්ට පවා විසඳීමට අපහසු උගුලක බණ්ඩාරවෙල හා බදුල්ල ජනතාව හිර වී ඇති අයුරුය. තමන්ට පවා විසඳීමට නොහැකි ප්‍රශ්න මිනිසුන් විසින් නිර්මාණය කරගන්නා ආකාරය පුදුමයැයි එතුමාට සිතිණි.

එහෙත් ඒ පිළිබඳ සිතමින් දුක් විඳින්නට ශක්‍රයා සිතුවේ නැත.

මා අවදි කරවූ ශක‍්‍රයා ඔහුගේ ඔළුවේ මතු වූ ප්‍රශ්නය මගේ ඔළුවට දමා දෙව්ලොව බලා ආපසු ගියේය.

මා අවදි වූයේ ශක්‍රයාටත් විසඳුම් නැති ප්‍රශ්නයකටය. සෑම සිහිනයක් අවසානයේම අවදි වන්නට සිදු වන බව ඉන් මට පැහැදිලි විය. 

Comments