
යාල වනෝද්‍යානයට ගිය බොහෝ දෙනකුගේ පැතුමක් තිබිණි. ඒ 'තිලක්' දැකගැනීමය. සාමාන්‍ය අලි -ඇතකුට වඩා තිලක් සතු වූ ආභරණය - පූට්ටු වූ දළ යුගල - ඊට හේතුවයි. එහෙත් මින් මතු ඒ සිහිනයට ඉඩ නැතැයි ඇතැමුන් සිතනු ඇත. එය එසේ වේවිද? වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ වෛද්‍ය නන්දන අතපත්තු මහතාගේ වසර 30කට අධික අත්දැකීම් අතර 'තිලක්' පිළිබඳ මතක ගොන්නකි. ඉන් බිඳක් අප හා බෙදාගන්නට ඔහු නිර්ලෝභී විය.
“මෑතකදී විද්යුත්, මුද්‍රිත මාධ්‍ය මෙන්ම මුහුණු පොතේ බොහෝ දෙනා තිලක්ගේ හදිසි මරණය ගැන කණගාටු වුණා. දළ පූට්ටුවා උද්‍යාන මායිමේ විදුලි වැට ඉක්මවා ගොස් මියැදී සිටි නිසා විවිධ ක්ෂේත්‍රවලට අයත් අය කීවේ යාල වනෝද්‍යානය නිජබිම කරගෙන විසූ මේ සත්ත්වයා උද්‍යානය තුළ රඳවාගැනීමට තරම් කළමනාකාරිත්වයක් දෙපාර්තමේන්තුවට තිබුණා නම් උෟ අදටත් ජීවතුන් අතර කියායි. එහෙත් ඒ මරණය වෙනත් ඇතකුගේ පහරදීමෙන් සිදු වූ බවත් ඔවුන් පිළිගෙන තිබුණා. ඔවුන්ට අනුව මෙය සිදු වන්නට ඇත්තේ ගෝචර භූමිය හෝ ආහාර පිළිබඳ අයිතිවාසිකම් පෑමේ සටනකදියි. ඒත් ඇත්ත නම් කවමදාකවත් අලි ඇතුන් භූමිය හෝ ආහාර වෙනුවෙන් සටන් කරන්නේ නෑ. උන් සටන් වදින එකම හේතුව වන්නේ ගැහැනු සතකු හිමිකර ගැනීම ම පමණයි. ඇතුන් දෙදෙනකු, අලි දෙදෙනකු හෝ අලියකු සහ ඇතකු අතර මේ සටන ඇති වන්න පුළුවන්. ඒ අවස්ථාවලදී දක්ෂයාට ඉඩදී අනෙකා පසුබැස යෑමේ සිරිතක් උන් අතර තිබෙනවා.
එකිනෙකාගේ ජවය අධිතක්සේරු කර සටනට එන අලි ඇතුන් මුලදී සටන් වදින්නේ ගැහැනු සතා අයිති කරගැනීමට වුවත් පසුව එය එකිනෙකාගේ අභිමානය වෙනුවෙන් කෙරෙන්නක් බවට දික්ගැස්සෙන අවස්ථා තිබෙනවා. ඒ සටන් අවසන් වෙද්දී ඇතින්න පේන මානෙකවත් නැති වෙන්නත් පුළුවන්."
වෛද්‍ය අතපත්තු පවසන මේ සටන් නිසා ඇතැම් විට එක් සටන්කරුවකු දිවි පුදන්නට පුළුවන. දළ ඇති විට සටන තවත් දරුණු වේ. ඇතැම් විට අවාසනාවන්ත ලෙස පිරිමි සතුන් දෙදෙනාම වුවත් මරුමුවට පත් වීමට හැකිය. ඉතා දුර්ලභ අවස්ථාවකය, එකකු මිය ගොස් දින කීපයකින් හෝ අනෙකා ද මිය යන්නේ. දශක තුනහමාරක පමණ වනජීවී අත්දැකීම් ඔස්සේ වුවද සටන්කරුවන් දෙදෙනාම මිය යන අවසථා වෛද්‍ය අතපත්තු දැක ඇත්තේ දෙවරක් පමණි.
"ගලිගමුවේදී පවත්වන ලද එක් පශ්චාත් මරණ පරීක්ෂණයකට පසු ඒ අසලම අලුතෙන් මිය ගොස් සිටි අලි මළ සිරුරක් හමු වුණා. එය සටනක් නිසා බව පැහැදිලි වුණා. තවත් එක් අවස්ථාවකදී සීගිරිය ප්‍රදේශයේදීත් එසේ දින තුන-හතරකදී මිය ගිය ඇතුන් දෙදෙනකු හමු වුණා.
කොහොම වුණත් තිලක් මිය යද්දී ඌ පසු වන්නට ඇත්තේ අවුරුදු 60ක් පමණ වූ සැඳෑ සමයේ. අලියකුගේ ආයු කාලය සාමාන්‍යයෙන් අවරුදු 65ක් පමණ වන්නේ. එනිසා බෙලහීන වී ජවය පිරිහුණු තත්ත්වයේ සිටියත් ඇතින්නක් වෙනුවෙන් තරුණ ඇතකු සමඟ සටනට යෑම නිසා මේ මරණය සිදු වූ බව නිසැකයි. එනිසා මෙය ස්වාභාවික මරණයක් ලෙසයි මම දකින්නේ. ඌ ජීවතුන් අතර සිටියත් තව වසර හතරකට පහකට වඩා පවතින්න බෑ. විදුලි වැට නිසි පරිදි නඩත්තු කරන තුරු අලි-ඇතුන් උද්‍යානයෙන් පිට වීම වැළැක්විය නොහැකියි. සැමවිටම උන් ප්‍රිය කරන්නේ ලඳුකැලෑවලටයි. ස්වාරක්ෂක කලාපයේ හේන් ගොවිතැන් කර අතහැර දැමූ කටුපඳුරු සහිත ලඳුකැලෑ, මදුවැල් උන්ට හරි රසයි. ඒත් මේ මරණයට හේතුව නියං සමයේ එවැනි පෙදෙසකට යෑම නිසා ඇති වූවක් නොවේ."
මෙසේ පවසන අතපත්තු වෛද්‍යවරයා තවත් කරුණක් මතක් කළේය.
"දැනට අවරුදු 25කට පමණ පෙර වනෝද්‍යානය තුළ දළ පහරක් කා මිය ගොස් සිටි නාඹර ඇතකුගේ මරණයට වගකිව යුත්තා මේ 'තිලක්'. ඒත් ඌ දරුණු ඇතකු නොවේ. පින්තූරයේ පෙනෙන්නේ වනජීවි නිලධාරි මන්සූර් තිලක් ඉදිරියේ සිට මන්තර කියන හැටියි. මම මන්තර පිළිගන්නෙ නැතත් තිලක්ගේ අහිංසකකම මා ගත් පින්තූරයෙන්ම පේනවා. එදා තිබූ ජවය අද තිලක්ට නෑ."
දළපූට්ටුවන් පිළිබඳ වෛද්‍ය අතපත්තුට තවත් අත්දැකීම් බොහෝය.
“මීට වසර 40කට පමණ පෙර යාල වනෝද්‍යානයේ සුප්‍රකට වූ වලස්කෙමියේ දළ පූට්ටුවා මරාදැමුවේ තවත් ඇතෙක් නොවේ; රුදුරු මිනිසෙක්. වනජීවි දෙපාර්තමේන්තු ලාංඡනයේ සිටින්නේ ඒ වලස්කෙමියේ දළපූට්ටුවායි. සැබෑ දළපූට්ටුවකු ලෙස නම් කරන්න පුළුවන් ඌට හොඬය දළ අතරින් ගෙන හැසිරවීමට හැකි වුණේ නෑ; එනිසා හොඬින් ජලය ගෙන මුවට දාගන්න බෑ. මුව තබා දිය පානය කළ හැකි ස්වාභාවික ගල් කෙමියක් වූ වලස්කෙම ඌ තෝරාගෙන තිබුණේ ඒ නිසායි. ඒත් තිලක්ට එවැනි අපහසුවක් තිබුණේ නෑ. දළ යුගල පූට්ටු වූ ස්වභාවයක් පෙනුණත් දළ අතරින් හොඬ මනාව හැසිරවීමට තිලක්ට හැකියාව තිබුණා."
වෛද්‍ය අතපත්තු පවසන ආකාරයට දළ පූට්ටුවෝ වරින් වර වනාන්තරවලට පහළ වෙති.
"තිලක් ස්වාභාවික ක්‍රමයකට කාලක්‍රියා කළත් එය අපේ හිත්වලට දුකක් තමයි. ඒ අප අලි-ඇතුන්ට අසීමිතව ආකර්ෂණය වන නිසා. යාල වනයට තිලක් අහිමි වීම නිම කළ නොහැකි පාඩුවක්. හැබැයි, මගේ අත්දැකීම්වලට අනුව ආපසු යාල වනය සරසන්නට හැකි, අනාගතයේ දළපූට්ටුවන් බවට පත් වන ඇතුන් තුන් දෙනකු සිටින බව මා ඇසින් දුටු සාක්කිකරුවකු හැටියට පවසනවා."
අරුණි මුතුමලී