නෙළුම් විල | Page 2 | සිළුමිණ

නෙළුම් විල

වැහි දවස

උදෑසනකි කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයයි. දුම්රියෙන් බට මම සුපුරුදු පරිදි දුම්රිය ස්ථා‍නයේ පිටුපස ගේට්ටුවෙන් පිටව යෑමට ගියෙමි.

යාන්තමින් පැවති වැස්ස මහ වැස්සක් බවට හැරිණ.

මම පිටවන දොරටුව ළඟ හිර වීමි. වැස්ස තවතවත් දැඩි විය. සැරට හිරිකඩ පහර ද වැදිණ.

මා හිතා හිටියේ වැස්ස තූරල් කරන විට ම පාරට දුව ගොස් කුලී ත්‍රිරෝද රියකට නැග ගන්නටය.

පුදුමයකට මෙන් ඒ වැස්සේ ම ආ කුලී ත්‍රිරෝද රියක් මට යාබදව දුම්රිය අංගණයේ නැවැත්වීය. හොඳට ම තෙමී තිබූ එහි කළු රෙද්ද මෑත් කර එළියට බැස්සේ අත දරුවකු ද වඩා ගත් තරුණියකි. ඒ සමඟම උස මහත තරුණයෙක් ද එළියට ආවේ ය.

මම එසැණ ම වැහි පහර ද කාගෙන දුව ගොස් එහි නැගුණෙමි. ත්‍රිරෝද රථ රියැදුරු වැඩි හිටි මුහුණ හරවා මදෙස බැලුව ද කිසිවක් නොකීවේ ය.

‘යං’ මම කීමි.

‘හයර් එක ගන්ඩ තියනව’ ඔහු කීවේ ය. එය මුස්ලිම් ඌරුවකි.

මීටරයේ 118 ක ගාස්තුවක් සටහන්ව තිබිණ.

මම නිහඬ වීමි.

ඔහු කතා කළේ ය.

‘රුපියල් දෙදාහක් මාරු කර ගන්ඩ තියනව කිව්වෙ මගදි. මුල දිම කිව්ව නං ෂෙඩ් එකකට අල්ලල තෙල් ටිකක් හරි ගහල මාරු කර ගන්නවනෙ. කොහාටද යන්නෙ කියල ඇහුවට කිව්වෙත් නෑ. ‘යං මං පාර කියන්නං’ කිව්ව. වේගෙං යං කිව්ව. කෝච්චිය අල්ලගන්ඩ තියනව කිව්ව. මේ වැස්සෙ කොහොමද හයියෙං යන්නෙ? බ්‍රේක් කියන්නෙ පොඩි දෙයක්නෙ. මොනව හරි උණොත් මහ කරදරේ! මං මේ වයසක මිනිහ. මං මගෙ ගාණට ආව. ඒකට කේන්තියෙ ආවෙ. බහින කොටයි කිව්වෙ ටිකට් අරං සල්ලි මාරුකරං එන්නං කියල. පොඩ්ඩක් බලමු!’

මම ‘හා’ යි කීමි.

අපි බලා සිටියෙමු.

තරුණයා ආවේ නැත.

බැරි ම තැන රියැදුරු බැස දුම්රිය පොළ තුළට ගියේ ය. ටිකකින් ආවේ ය.

‘ගෑනු කෙනා නං ඈතට ගියා දැක්ක. ඒත් මනුස්සය නං පේන්ඩ නෑ. මගෑරියවත්ද? උදේ පාන්දර හයර් එක. තව ටිකක් බලමුකො’

අපි තවදුරටත් බලා සිටියෙමු.

තරුණයා එනපාටක් නොවී ය.

‘එන්නෑ! එන්ඩ ඕනෑ තරං වෙලා තිබුණනෙ. එයා මට තිබ්බෙ එකසිය ගාණක පොල්ලක්නෙ. දෙයියො එයාට ඊට වැඩිය පොල්ලක් තියයි. අපි යං මහත්තය!’ කලකිරුණ හඬින් කී හෙතෙමේ රිය පණ ගන්වා ආපසු හරවා ගත්තේ ය.

යන ගමන් ද ඔහු දිගට ම කතා කළේ ය.

‘මහත්තයා මං සාධාරණ මිනිහෙක්. වැරදි විදිහට හම්බ කරල ගෙදර අරන් යන්නෙ නෑ. ඒවයින් දරු මුනුපුරන්ට කන්ඩ දෙන්නෙ නෑ. එතකොට ලේවලට විස බින්දුව බින්දුව එකතු වෙනව. මං ඒකට ඉඩ තියන්නෙ නෑ.’

මට ඔහු ගැන හැඟීමක් ඇති විය. මම ඔහු ඉන්නේ කොහි දැයි ඇසීමි.

‘මං ඉන්නෙ ආමර් වීදියෙ. මං ආමර් වීදියෙ ඉක්බාල්. ඕනැ රැක මාත්තය ඇවිල්ල බලන්ඩ. මගෙ තමයි අඩුම ගාස්තුව.’

මගේ ගමන නිමා විය. මීටරයේ වැටුණු ගාණ දෙස බලා මම ඔහු ගේ ගාස්තුව ගෙවීමි.

‘බලන්ඩ මහත්තය, මට අර ගාණ නැතිවුණ තැනදි ම දෙයියො මට තව ගාණක් හදල දුන්න’ කියමින් ඔහු මා දුන් මුදල අතට ගත්තේ ය.

‘අපි ආයෙ හම්බ වෙමු’ මම කීමි.

‘එන්ඩ මාත්තය ආමර් වීදියට. මං එතන ඉන්නව.’ කී ඔහු රිය හරවා ගත්තේ ය.

මේ කතාව අවසන් කිරීමට පෙර ගාස්තුව නොගෙවූ අර තරුණයාට යමක් කිව යුතු ය.

‘සොහොයුර, ඇතැම් විට ඔබට මුදල මාරු කර ගැනීමට බැරි වූවා විය හැකි ය. ඇතැම්විට ඔබලා දුම්රියේ නැගී ගියා විය හැකි ය. ඇතැම්විට දුම්රිය වැරදුණාට කේන්තියෙන් ගාස්තුව ගෙවීම පැහැර හැරියා විය යුතු ය. ඒ කෙසේ වුව ද මේ සිද්ධිය සිහිපත් වන වාරයක් - වාරයක් පාසා ඔබට තැවීමට සිදු වෙනවා ඇත. එහි ආදිනව ඔබ ලද සුළු වාසියට වඩා බෙහෙවින් වැඩි වනු ඇත. එහෙයින් මතු දිනෙක ආමර් වීදියේ AAW 2667 අංකය දරන ත්‍රිරෝද රථයේ සිටින ඉක්බාල් නමැති අපූරු මිනිසා හමුවී මග හැරුණු මුදල ගෙවා හිත සැහැල්ලු කර ගන්න.

ගණේමුල්ලේ ධනංජය මදුෂාන් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

 


සැබෑ ගුරුවරු

නොබෝ දා අපේ පාසලක උසස් පෙළ සිසු දරුවකු ගුරුවරියක දුන් දඬුවමක් විඳ දරා ගත නොහී දිවි නසා ගත් පුවත ඇසූ වේලේ මම කම්පාවීමි.

ඒ ශෝකාන්තය දිගේ මම මගේ අතීතයට ගියෙමි.

ඒ දකුණේ පාසලකි. මම ඉහළ පන්තියක සිටියෙමි. සිසු නායකයෙක් ද වීමි.

පාසලේ උත්සවයක් වෙනුවෙන් නිකුත් කැරෙන සමරු කලාපයක් බිහි කිරීමේ වගකීම මා ඇතුළු මිතුරන් පිරිසකට පැවරිණි.

මුල දී අපි කවුරුත් උද්‍යෝගයෙන්, එකාවන් ව වැඩ කළෙමු. එහෙත් වෙළෙඳ දැන්වීම් ඉල්ල ඉල්ලා ව්‍යාපාරිකයන් පසු පස යෑම අපුල දනවන කාර්යයක් වූ බැවින් සෙස්සෝ ටිකින් ටික කර ඇරියහ. ඉතිරි වූයේ මා පමණි. කටයුත්තට කැමැත්තෙන් ම උර දී සිටි මට මග හැරිය නොහැකි විය. අන්තිමේ දී සමරු කලාපයේ මුළු බර රැඳුණේ මා මත ය.

පාසල් කාලයෙන් පසු මගේ හවස් වරුව මුළුමනින් ම වෙන් වූයේ මේ වෙනුවෙනි. සමරු කලාපයේ ඩමිය ද රැගෙන මගේ පරණ පා පැදියට නැගුණු මම සැතපුම් ගණන් දුර කරක් ගැසුවෙමි. ගෙදර ආවේ බිම් කරුවල වැටුණු පසු ය. අනුග්‍රහය සැලසීමට අදි - මදි කළ වෙළෙඳුන් සොයා මා ගියේ කාන්දමකට ඇදෙන ඉදිකට්ටක් සේ ය.

‘අනේ මාමෙ, අනේ සීයෙ, අපිට උදව්වක් කරන්නකෝ’ යි ආයාචනා කළෙමි. මුලදී ‘ඕවට කොහෙන්ද ළමයො සල්ලි? යනව! යනව!’ යැයි කියා මා එළවා ගත් සමහරුන් අවසානයේ දැන්වීමක් බාර ගත්තේ දරුවකු වූ මා දරන වෙහෙසට උදව්වක් හැටියට විය යුතු ය.

මගේ මහන්සියේ ඵල දැරුවේ ය. අනුග්‍රාහකයන් රැසක් එකතු කර ගෙන ඉතා සරු සමරු කලාපයක් සැකසීමට මට හැකි විය. මගේ ගුරුවරයා මා මුරුංගා අත්තෙහි තබා වර්ණනා කළේ ය. ගුරුවරුන් ද, ළමයින් ද මා දෙස බැලුවේ වීරයකු දෙස බලන ආකාරයෙනි. මම සතුටින් උද්දාම වීමි.

එසේ වුව ද ඒ සතුටට වැඩි ආවිසක් නොවී ය. සමරු කලාපයේ පිටපත් තොගයක් ඒවා ගබඩා කර තිබූ පාසල් කාමරයෙන් අතුරුදහන් වී බරපතළ ප්‍රශ්නයක් පැන නැඟුනේ ය.

මා මුරුංගා අත්තේ තැබූ ගුරුවරයා ම මට චෝදනා කිරීමට පටන් ගත්තේ ය.

‘තමුසෙ ඒව යටි මඩි ගැහුව නේද? කියනව! ඒකට නේද තමුසෙ ඔච්චර මහන්සි වෙලා ඕක කෙරුවෙ?’ ඔහු මට කඩා පැන්නේ ය. පැණි වරකාවට හෙණ ගැසුවා සේ විය.

ගුරුවරයා මා වෙත කඩා පනිනු වෙනත් ගුරුවරු ද, ළමයි ද දුට හ.

මගේ සරුවාංගය ම ලැජ්ජාවෙන් හීතල වී ගියේ ය.

මගේ දෑසින් කඳුළු පැන්නේ ය.

මේ සමාජයෙන් ම පලා යා යුතු යැයි මට සිතිණ. දිවි තොර කර ගැනීමට ද සිතිණ.

මේ වේලේ ගුරුවරුන් අතර සිටි එක් ගුරුවරයකු තමා ළඟට එන්නැ යි මට අතින් සන් කරනු කඳුළු අතරින් ම දුටු මම හෙමිහිට ඔහු ළඟට ගියෙමි.

ඔහු මා කැඳවාගෙන ඉදිරියට ගියේ ය.

මම ඔහු පසු පස ගියෙමි.

පාසල් ගොඩනැඟිලි දෙකක් අතර වූ පටු පාරේ ඔහු නැවතුණේ ය.

මම ද නැවතීමි.

ඔහු එකවර ම ආපසු හැරී මගේ දෑස දෙස තරයේ බලා සිටියේ ය.

මම ගල් ගැසුණෙමි.

‘නායකයො අඬන්නෙ නෑ. ඇඬුවොත් එයා නායකයෙක් නෙමේ!’ ඔහු ‍තදින් කීවේ ය.

ඒ හඬ පාසල් බිත්තිවල වැදී දෝංකාර නැඟුවේය. මම වහ වහා කඳුළු පිස දා ගතිමි.

‘ප්‍රශ්න එනව තමයි. ප්‍රශ්න ආවම අඬල හරියන්නෙ නෑ. ප්‍රශ්නවලට විසැඳුම් හොයන්න ඕනැ. අන්න ඒ වගේ අය තමයි නායකයො!’ එසේ අවධාරණය කළ හැටියේ ම ඔහු යන්නට ගියේ ය.

මගේ හිතට මහත් ශක්තියක් ආවේ ය.

ගොඩනැඟිලි දෙක අතරින් ඈතට ඇදී යමින් සිටි ඒ උදාර මිනිසා දෙස මම නොසැලී බලා සිටියෙමි.

වහා ක්‍රියාත්මක වූ මම පාසලේ අස්සක් මුල්ලක් නෑර පිරික්සුවෙමි. තැනෙක සඟවා තිබූ සඟරා තොගය සොයා ගැනීමට මට හැකි විය. අද මම ආයතනයක පරිපාලන නිලධාරියෙක්මි.

මෙතරම් වගකීමක් දැරීමට මට ශක්තිය දුන්නේ පාසල් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොවේ. මට කවදාවත් විෂයයක් උගන්වා නැති අර ගුරුවරයා ය. ඔහු ඉගැන්නුවේ වෙනත් පන්තිවලට ය.

එදා ඔහු මනසින් ඇද වැටී සිටි මා ඉහළට ඔසවා තැබුවේ වචන කිහිපයකිනි. ඒ වදන් කිහිපය වැදී මා තුළ නිදා සිටි ශක්තිය අවදි විය. තමන් පරමාදර්ශ සේ සලකන ගුරුවරුන් කරන අවමාන බැතිමත් සිසුනට දරා ගත නොහැකි ය.

එදා කීර්ති සර් නොසිටින්නට ඇතැම් විට මා ද අද ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබිණි. මෙදා අර සිසුවාට වී ඇත්තේ ද එය ය. සැබෑ ගුරුවරු යනු සිසුන් විනිවිද දැකිය හැකි ජීවිතය ගැන ගැඹුරු අවබෝධයක් ඇති පෞරුෂධාරීහු ම වෙති.

අනන්‍යතාව සඟවා තැබීමට කැමති සිළුමිණ, පාඨකයකු විසින් යොමු කරන ලද සටහනක් ඇසුරිනි.

නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

Comments