
ඊයේ රාත්‍රියේ මම සිහිනයෙන් සරසවි ශිෂ්‍යයකු බවට පත් වුණෙමි. බොහෝ විට සිහිනෙන් දෙව්ලොව යෑමද අපේ පුරුද්දකි. එහෙත් සරසවි ශිෂ්‍යයකු වූ මට සිහිනයෙන් දෙව්ලොව යෑමට හැකි වූයේ නැත. එහෙත් සරසවි ශිෂ්‍යයකු වූ මා ඉන්ටවීව් කිරීමට දෙව්ලොව ටීවීචැනල්එකකින් පැමිණියේය. ටීවීචැනල්වලට අදහස් ප්‍රකාශ කිරීම අද බොහෝ සරසවි සිසුනායකයන්ගේ සිහිනයක් බැවින් සිහිනයෙන් සරසවි ශිෂ්‍යයකු වූ මා තුළට එම සිහිනයද පිවිසීම ස්වාභාවිකය. දෙව්ලෝ ටීවීඑකෙන් මගෙන් ඇසූ ප්‍රශ්න හා සරසවි ශිෂ්‍යයකු ලෙස මා දුන් පිළිතුරු පහත දැක්වේ.
දෙව්ලෝ වාර්තාකරු: ඔයාලට මහපොළ දෙන්නේ කවුද?
සිහිනයෙන් සරසවි ශිෂ්‍යයෙකු වූ මම: අන්තරේ.
දිග වැඩි වන හෙයින් මින් පසුව අසන්නා හා උත්තර දෙන්නා නොදක්වා ප්‍රශ්නය සහ පිළිතුර පමණක් පිළිවෙළින් දක්වනු ලැබේ. චැනල් සහ කැම්පස් ළමයි ගැන ඔබ දන්නා බැවින් ඔබට ප්‍රශ්න අසන්නා සහ උත්තර දෙන්නා පහසුවෙන් වෙන් කර හඳුනාගැනීමට හැකි බව මම දනිමි.
‘‘ඔය ළමයින්ව උගන්නලා උස් මහත් කළේ කවුද?’’
‘‘අන්තරේ.’’
‘‘ළමයින්ට හෝඩිය පන්තියේදී අයන්න ආයන්න කියලා දුන්නේ කවුද?’’
‘‘අන්තරේ.’’
‘‘ඔය ළමයින්ට උසස් පෙළ හොඳට පාස් වෙලා කැම්පස් යන්න ලකුණු ගන්න පුළුවන් වෙන විදිහට මහන්සි වෙලා ඉගැන්නුවේ උසස් පෙළට හිටිය ගුරුවරුද?’’
‘‘නෑ, ඒත් අන්තරේ.’’
‘‘පොඩි කාලේ ලෙඩක් දුකක් හැදුණාම ලුණු කැඳ ටිකක් හදලා පෙව්වේ කවුද? අම්මාද-තාත්තද?’’
‘‘ඒත් අන්තරේ වෙන්න ඕනෑ.’’
‘‘ඕගොල්ලන්ට හොඳ-නරක කියා දුන්නේ කවුද? දෙමාපිය-වැඩිහිටියොද?’’
‘‘නෑ, එහෙම කට්ටියක් අපට හිටියේ නෑ. අපි කැම්පස් එනකොට කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. අපිව මේ තත්වෙට ගෙනාවේ අන්තරේ.’’
‘‘කැම්පස්එකේ ගුරුවරු ඉන්නවද? ඒ අය ඔය අයට උගන්නනවද?’’
‘‘අපට කැම්පස්එකේ ඉන්න එකම ගුරුවරු තමයි අන්තරේ. අන්තරේ අපට හැම දෙයක්ම කියලා දෙනවා.’’
‘‘අන්තරේ මොනවද කියලා දෙන්නේ?’’
‘‘කවදාවත් අඬන්න එපා. කඳුළු ගෑස් ගැහැව්වම අඬන්න ඒ කඳුළු ඉතුරුකරගන්න. සයිටම්එක තහනම් කරනකං කවදාවත් හිනා වෙන්න එපා.’’
‘‘තව මොනවද කියලා දෙන්නේ?’’
‘‘ලෙනින්ගේ මානව දයාව, චේගේ ආදරය, කස්ත්‍රොගේ පන්නරය, හිට්ලර්ගේ...’’
‘‘කැම්පස් ඉවර වෙලා මොකද කරන්නෙ කියලා දන්නවද?’’
‘‘අපි දන්නේ නෑ, ඒත් අන්තරේ දන්නවා.’’
‘‘ඕගොල්ලෝ ජීවත් වෙන්නෙ කවුරු වෙනුවෙන්ද?’’
‘‘අන්තරේ වෙනුවෙන්.’’
ඉන්පසුව මේ සිහිනය, එම ඉන්ටවීව්එක දෙව්ලෝ ටීවීචැනල්එකේ විකාශය වෙද්දී ශක‍්‍රයා එය නරඹමින් සිටින සිහිනයක් බවට පරිවර්තනය විය. එය නරඹා සක‍්‍රයා අවසානයේ තමාටම මෙසේ කියාගත්තේය:
‘‘කැම්පස් ළමයි අන්තරේට සලකන තරම් දෙවියොවත් ශක‍්‍රයා වන මට සලකන්නේ නෑ නේ! අන්තරේ කඳවුම්කරු වුණා නං හොඳයි ශක‍්‍රයා වෙනවට වඩා.’’
ශක‍්‍රයා එසේ තමාටම කියාගත්තත් සිහිනයක් නිසා මට එය ඇසිණි.