ගංවතුර කළ විපතක් | Page 3 | සිළුමිණ

ගංවතුර කළ විපතක්

මීතොටමුල්ල කුණු කන්දට ජීවිත ගණනාවක් යට වී තවමත් තුන්මසක්වත් ගෙවී ගොස් නැත. අරණායක සාමසර කන්ද මෙන්ම බුලත්කොහුපිටිය කළුපහන වත්ත නාය යෑමෙන් මිය ගිය පුද්ගලයන් සමරා වැඩි දවසක් නැත. කොටසකට නිවාස ඉඩම් ලැබුණ ද එයින් අසරණ වු පිරිස් තවත් සිටිති. පසුගිය කාලයේ සිදු වු මේ ස්වාභාවික විපත්වල මතක ගෙවී යෑමට මත්තෙන් යළිත් කඳුළු සලන්නට සුසුම් හෙළන්නට සිදු වී ඇත්තේය. ඒ අනපේක්ෂිත ලෙසය. දැඩි නියං සමය නිමා කරමින් රට වටා තැනින් තැන වැසි වසින්නට පටන් ගත්තේ කාගෙ කාගෙත් හිත්වලට සැනසිල්ල උදා කරමිනි. නමුදු පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකට එක දිගට වැටුණු වැස්ස ගංවතුර තත්ත්වයක් ඇතිකළේ කිසිවෙකුවත් නොසිතු ලෙසය. මෙම විපතින් සිදුවූ ජීවිත හානිය හෝ දේපළ හානිය කොතෙක් දැයි මෙය ලියන මොහොත වන විටත් කිව නොහැකිය.

ඉකුත් බ්‍රහස්තින්දා රාත්‍රියේ අගලවත්ත මාවත වත්තේ වැසියන් සුපුරුදු ලෙස නින්දට ගියේ අලුත් දවසක ආරම්භ කිරීමේ අරමුණිනි. එහෙත් නොකඩවා එක දිගට ඇද වැටුණු අනෝරා වැස්ස ඔවුන්ට අලුත් දවසක් දකින්ට අවස්ථාවක් නොදුන්නේය.

"වෙලාව පාන්දර දෙකහමාරට විතර ඇති. එක පාරටම සද්දයක් ඇහුණා. හිතා ගන්න බැරි වුණා මොකද වෙන්නේ කියලා. පස් කන්ද කඩා වැටිලා ගෙවල් කිහිපයක්ම කඩා වැටුණා. තවමත් මළ සිරුරු කිහිපයක් විතරයි හොයා ගන්න පුළුවන් වු‍ණේ. හිතා ගන්න බැහැ අපිට මේ වුණ විපත මොකක්ද කියලා. යට වුණු ගෙවල්වල පොඩි දරුවොත් හිටියා දෙවියනේ" පස්කන්ද කඩා වැටීම ගැන ප්‍රදේශවාසියකු පවසන්නේ දෑස්වල කඳුළු පුරවාගෙනය.

"පසු ගිය දවස්වල උඩින් තියෙන රබර් වත්ත ඩෝසර් කෙරුවා. ඒ අලුතෙන් රබර් පැළ දාන්න . ඒ වත්ත ඩෝසර් කෙරුවට පස්සේ කන්ද ඉරිතළා ගිහින් කියලා ගමේ කිහිප දෙනෙක්ම කිව්වා. හරියටම කියන්න දන්නේ නැහැ ඒ හින්දම ද මේ පස්කන්ද ගෙවල් උඩට කඩා වැටුණේ කියලා." ප්‍රදේශවාසියෙකු වන අමරසිරි පවසන්නේ ගම්මුන්ගේ කතා ගැනය.

හිටි හැටියේ කඩා පාත් වු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකම ගං වතුර තත්වයක් ඇතිවී ඇත්තේය. මෙනිසා ආපදාවට පත් වු සංඛ්‍යාව අති විශාලය. ඇතැමෙකුට මේ වන විටත් ආරක්ෂිත ස්ථාන කරා යෑමට නොහැකි වී ඇත්තේ තමන් සිටින නිවාස පවා ජලයෙන් යට වී ඇති බැවිනි. ඇතැම් දෙමහල් නිවාස යට වී ඇත්තේ එහි වහල මට්ටම දක්වාය. විපතට පත්වු ඇතැමුන් සිටින්නේ ගස් උඩය. මේ බව අපට වාර්තා කළේ ගං වතුර තත්වය පිළිබඳ වාර්තා කිරිමට මාතර ප්‍රදේශයේ සංචාරය කළ තිහගොඩ සමුහ වාර්තාකරු කැළුම් බෝධිමානය.

"අපිට සැහෙන වෙලාවක් ගියා ඒ ප්‍රදේශවලට යන්න. මිනිස්සු බොහෝම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ඇතැම් තැන්වල පස් කඳු කඩා වැටිලා. හිතා ගන්න බැහැ වැස්ස මේ තරම්ම දරුණුවට වැටුන ද කියලා. මේ ප්‍ර‍දේශවල හැමෝම වගේ කියන්නේ දෙදහස් තුනට පස්සේ ආව ලොකුම ගංවතුර මේක කියලා. ගංගාවල් පිටාර ගලලා ති‍යෙන නිසා මුළු ප්‍රදේශයම ආපදාවට ලක් වෙලා තියෙන්නේ. කුඹුරු අක්කර ගණන් ගංවතුරට යට වෙලා. පස් කඳු කිහිපයක්ම කඩා වැටිලා.."

කැලුම් පවසන්නේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී දුටු දේ ගැනය. කෙසේ වෙතත් ඇති වු ගංවතුර තත්ත්වයෙන් පිඩාවට පත් වු ජනතාව බේරා ගැනීමේ කට යුතුවලට මේ වනවිටත් ශ්‍රි ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව උර දී සිටින්නේය. මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ද ගංවතරට හසු වී ඇත්තේය. ගංවතුර ට ගොදුරු වු ප්‍රදේශ අතර විරකැටිය, නෙළුව,අගලවත්ත, කිරිඇල්ල, පිටබැද්දර, ඇහැලියගොඩ , අයගම, කළවාන , දෙයියන්දර, මාකඳුර, තවලම, බදුරලිය, බුලත්සිංහල , පාලින්ද නුවර ,බෙලිඅත්ත , කහවත්ත සහ පාදුක්ක ආදි ප්‍රදේශ වේ. විශේෂයෙන්ම නිල්වලා, කළු හා ගිංගඟ පිටාර ගැලීමෙන් ගංවතුර තත්වය ඇතිවීට හේතු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේය.

සාමාන්‍ය ජනතාවගේ දිවි බේරාගැනීමට ඉදිරිපත් වී සිටින ත්‍රිවිධ හමුදාවේ මානුෂිය මෙහෙයුම පිළිබඳ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර රොෂාන් සෙනෙවිරත්න මහතා මෙසේ පවසන්නේය.

"පස් කඳු කඩා වැටිමෙන් හා ගංවතුරට කොටු වු මිනිසුන් බේරා ගැනීම සඳහා ශ්‍රි ලංකා යුධ හමුදාව වගේම බෝට්ටු මගින් ශ්‍රි ලංකා නාවික හමුදාවත් සහාය දක්වනවා . ඊට අමතරව ශ්‍රි ලංකා ගුවන් හමුදාව හෙලි කොප්ටර් මඟින් විපතට පත් වු අය බේරා ගැනීමට කටයුතු කරනවා. මේ වනවිට යුද හමුදා භට පිරිස් අට සියයක් පමණ මෙම මානුෂිය මෙහෙයුම සඳහා යොදවා තිබෙනවා. " බ්‍රිගේඩියර් සෙනෙවිරත්න පවසන්නේ ගංවතුර ව්‍යසනය දැන ගත් මොහොතේ පටන් ත්‍රිවිධ හමුදාව කටයුතු කරන ආකාරය පිළිබඳය. මෙම මෙහෙයුම බාරව කටයුතු කරන බටහිර ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතාය.

"මේ වන විට පස් කඳු හයක් නාය ගිහින් තියෙනවා. අපේ සෙබළුන් නිලධාරින් පස් කඳුවලට යට වූ මළ සිරුරු සොයනවා. මතුගම ප්‍රදේශයේ පස් කන්දට යටවූ මිනිසුන් අතරින් මළ සිරුරු තුනක් ගොඩ ගත්තා. තවත් නව දෙනෙකු අතුරුදහන්. කොහොම වුණත් බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවිම නිසා ජනතාව ගලවා ගැනීමට ඒ ප්‍රදේශවලට යෑමේ අපහසුවක් තිබෙනවා. යුධ හමුදාවේ අටසියයක පමණ බට කණ්ඩායමක් මේ මෙහෙයුම සඳහා යොදවා සිටිනවා. ඇඹිලිපිටියේ ඉංජිනේරු පාසලේ බට පිරිස් මෙන්ම තවත් බට පිරිස් යොදවා තිබෙනවා. මේ අවස්ථාවේදි ත්‍රිවිධ හමුදාව බොහෝම කැපවිමෙන් ගංවතුරට යට සියලු දිස්ත්‍රික්කවල ජනතාව බේරා ගැනීම සඳහා කටයුතු කරනවා."

වැස්ස කඩා වැටුණේ හිටි හැටියේය. ඒ වැස්සට පිරුණු කැලණි ගඟේ ඇතැම් ස්ථාන පිටාර ගලා ඇත්තේය. ඇතැම් තැන් පිටාර ගලන මට්ටමේය. නමුදු නිල්වලා ගඟ , වළවේ ගඟ හා ගිංඟ ගඟ දැන් ගම් බිම් යට කරගෙන ගලා යන්නේය. මෙය ලියන මොහොත වන විට හිත් පිත් නැති ගංවතුරට , පස් කඳු වලට යට වු ජීවිත සංඛ්‍යාව හැටකට ආසන්නය. මේ අතර කුඩා දරුවෝද වැඩිහිටියෝද වෙති.ඇතැම් ප්‍රදේශවල සියලු සන්නිවේදන සම්බන්ධතා ඇනහිට ඇති අතර, අවතැන් වු මිනිසුන් සංඛ්‍යාව කොතෙක් දැයි ගණන් බලා නැත. මෙය ලියන මොහොතේදි අපගේ ප්‍රාදේශිය වාර්තාකරුවකු පැවසුවේ පාසල් ගොස් පැමිණි දරුවකු පාසල් වෑන් රථයෙන් බැස්ස ගමන්ම ගංවතුරට බිලි වු බවය. එමෙන්ම සපුගස්කන්ද ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ද මිය ගියහ.

ගං වතුරට යටවූ කෙනකු බේරා ගැනීමට ගිය ගුවන් හමුදා සෙබළකු බේරා ගත් පුද්ගලයා ද සමඟ අඩි 25ක් පමණ උසක සිට කේබලය කඩා වැටීමෙන් අනතුරට පත්වී ඇත්තේය. දැන් ‍දෙදෙනාම රෝහල් ගත කර ඇත. ගංවතුරේ සැඟවුණු තවත් දුක්බර කතා බොහෝය. මේ මොහොතේ විපතට පත්වු මිනිසුන් පිළිබඳ සොයා බලා ඔවුනට අවශ්‍ය පහසුකම් ලබා දිම රාජ්‍ය මෙන්ම පෞද්ගික අංශයේ පමණක් නොව රටේ සාමාන්‍ය ජනතාවගේ ද යුතුකම වන්නේය.

ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප හා පසුබිම් තොරතුරු
කැලුම් බෝධිමාන තිහගොඩ සමුහ 
සරත්චන්ද්‍ර මඩවල මතුගම සංචාරක

Comments