බෙංගාලි ආදර්ශය පදනම් කරගත් පුනරුද ව්‍යාපාරයක්... | සිළුමිණ

බෙංගාලි ආදර්ශය පදනම් කරගත් පුනරුද ව්‍යාපාරයක්...

 කොටි සංවිධානය විසින් යුදමයව හා දේශපාලනිකව එල්ල කළ අභියෝගයට මුහුණදීමේදී දකුණේ සමාජයට තිබූ එකම තෝරාගැනීම වූයේ යුද්ධයද යන ප්‍රශ්නය බොහෝ දෙනකු තේරුම් ගත්තේ නිවැරැදි අන්දමින් නොවේ. ඔවුන් සිතන්නේ යුද්ධය නතර කළ වහා කොටි සංවිධානය විසින් ඒක පාර්ශ්විකව මුළු රටම අල්ලාගැනීමේ ශක්‍යතාවක් තිබූ බවයි. රජය හා කොටි සංවිධානය අතර තිබූ අරගලය මේ අන්දමින් දැකීම දකුණේ සමාජයේ ඌනතික කියවීමකි.

කොටි සංවිධානය සමග රජය ගෙනගිය යුද්දය තාවකාලිකව හෝ නතර කළ සටන්විරාම අවස්ථාවන්හිදී දකුණේ සමාජය නිරීක්ෂණය කළේ එකම එක කරුණකි. එනම්: සටන් විරාමය භාවිත කරමින් කොටි සංවිධානය අවි ආයුධ එක් රැස් කරගන්නා බවයි. මෙයද සමස්ත ප්‍රශ්නයේ ඒක පාර්ශ්වික කියවීමකි. කොටි සංවිධානයත්, ඊට හිතැති අයත් ශ්‍රී ලංකා රජයට චෝදනා කළේත් මීටම සමාන අන්දමිනි, එනම්: සටන් විරාමය යොදාගනිමින් ශ්‍රී ලංකා රජය අවි ආයු‍ධ එක් රැස් කරගන්නා බවයි.

ඇත්ත කතාව නම් සටන් විරාම කාලය තුළ කොටි සංවිධානයත් ශ්‍රී ලංකා රජයත් යන දෙපාර්ශ්වයම අවි ආයුධ එක් රැස් කරගැනීමට තිබූ හදිසියයි. එය සමස්තයක් ලෙස විවේචනය කිරීමට ශක්තිමත් නිරීක්ෂකයන් ශ්‍රී ලංකාවේත් විදේශයන්හිත් සිටියේ සුළු වශයෙනි. සටන් විරාමය තුළ එකිනෙකාට රහසින් යුද්ධය සදහා අවි ආයුද එක් රැස් කිරීමම අනෝන්‍ය අවබෝධය තුළ තිබූ හිඩැසකි. එය කෙසේ වෙතත් දකුණේ සමාජයට මේ අවි ආයුධ කතාවෙන් ඔබ්බට කොටි සංවිධානයේ හැසිරීම නිරීක්ෂණය කිරීමට නොහැකි වුණි. එනමුත් කොටි සංවිධානයට බරපතළම හා දැරිය නොහැකිම අභියෝගය දෙමළ සමාජයෙන් එල්ල වූයේ සටන් විරාම කාලයන්හිදීය. එය හොදින් නිරීක්ෂණය කර තේරුම් ගැනීමට දකුණේ සමාජය අපොහොසත් වීම බරපතළ දුර්වලතාවකි.

කොටි සංවිධානයට දෙමළ සමාජයෙන් එල්ල වූ දේශපාලන අභියෝග සම්බන්ධයෙන් දකුණේ සමාජය මුනිවත රැකීම තේරුම් ගත නොහැකි ගුප්ත කරුණකි. එසේම දකුණේ ජනමාධ්‍ය විසින්ද එවැනි දෑ බරපතළ ලෙස සලකා වාර්තා කළ බවක් දක්නට නොලැබුණි. එහෙත් විකල්ප දේශපාලන ක්‍රියාකාරිකයන් එවැනි දෑ නිරීක්ෂණය කර ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය එවැනි දෑ වාර්තා කළ කීර්තිමත් දේශපාලන එකතුවකි. රාජන් හූල්, දයා සෝමසුන්දරම්, කේ ශ්‍රී ධරන් හා රාජිනි තිරාණගම ලියූ ‘බිඳුණු තල් රුක‘ ග්‍රන්ථය එවැනි සටහන් තැබු විශිෂ්ට ග්‍රන්ථයකි. එසේම පියසිරි කුලරත්න අනූව දශකයේ ලියූ දේශපාලන ලිපිවලද එවැනි දෑ අන්තර්ගතව තිබුණි.

කොටි සංවිධානයට දෙමළ සමාජයෙන් එල්ල වූ එවැනි දේශපාලන අභියෝගයන් දරාගැනීමට ඔවුන්ටද නොහැකි වුණි. එවැනි සමාජ ක්‍රියාකාරකම් ඉතිහාසයෙන් මකාදැමීම සදහා ඔවුහු නිතරම මහන්සි වූහ. යාපනය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් කථිකාචාර්යවරියක වූ ‘බිඳුණු තල් රුක‘ ග්‍රන්ථයේ සම-කර්තෘවරියක වූ රාජිනී තිරාණගම මරාදැම්මේ ඈ එවැනි අදහස් සමාජගත කරන්නට මහන්සි වූ නිසාය. කොටි සංවිධානයට යුද්ධයට වඩා අභියෝගයක් වූයේ යුද්ධය නොමැති වාතාවරණයකි. ඊට මුහුණ දෙන්නට තරම් මිලිටරිමය සංවිධානයක් වූ කොටි සංවිධානයට ශක්‍යතාවක් නොවුණි.

ඒකමානික දැනුම් පද්ධතියක සංස්කෘතික ආභාසය ලැබූවන්ට බහුමානික දැනුම් පද්ධතියක් සහිත ලෝකය විග්‍රහ කරගැනීම අපහසුය. එවිට ඔවුහු වල්මත්ව අතට අසු වන ඕනෑම දෙයකින් අනෙකාට දමා ගසති. සමහර ස්වාභාවික ක්‍රියාකාරීත්වයන් විග්‍රහ කරගැනීමට තරම් දැනුමක් නොවූ අතීත මිනිසා ඒවා දෙවියන්ගේ කැමැත්තට ලඝු කළා සේ තමන්ට තේරුම් ගන්නට නොහැකි සමාජ දේශපාලන ප්‍රපංචයන් ඉදිරිපත් කරන්නන් සතුරාගේ ගොඩට තල්ලු කිරීම බොළඳ හා නොමේරුම්කමකි.

දකුණේ සිංහල සමාජයට යුද්ධය හැරෙන්නට විකල්පයක් දකින්නට නොහැකි වූයේත් තවමත් යුද්ධයේ ආදීනව විග්‍රහ කරගැනීමට නොහැකිව ඇත්තේත් සංස්කෘතික ගැටලුවක් නිසා විය හැකිය.

15 වැනි සියවසේ යුරෝපා පුනරුද ව්‍යාපාරයට සමාන්තරව ආරම්භ වූ බෙංගාලි පුනරුද ව්‍යාපාරය ආරම්භයේදී කාන්තාව මුහුණදුන් අනේක විධ පීඩාවන් සම්බන්ධයෙන් කතිකාවකින් ආරම්භ විය. කුල ප්‍රශ්නය හා දෑවැද්ද වැනි විවාහයේදී බලපාන කාරණා සම්බන්ධයෙන් උනන්දුවෙන් යුතුව සාකච්ඡා කිරීමට බෙංගාල තරුණ සංවිධානය උනන්දු විණි. ‘ගීතාංජලී‘ කාව්‍ය සංග්‍රහය ලියා සාහිත්‍ය පිළිබඳ නොබෙල් සම්මානය දිනූ රවීන්ද්‍රනාත් තාගොර් බෙංගාලි පුනරුද ව්‍යාපාරයේ අවසන් පුරුක විය හැකිය. ඔහු ඉන්දීය නිදහස් සටනට එක් කළේ නැවුම් අරුතකි. ජාතිකවාදී මහත්මා ගාන්ධි විවේචනය කළ තාගෝර් ඉන්දීය නිදහස් සටනට ජාතිකවාදී සීමා මායිම් ඉක්මවා යන මාර්ගයක් පෙන්වීය.

ඉන්දීය උපමහාද්වීය බෙංගාලි පුනරුද ව්‍යාපාරයෙන් පරමාදර්ශ සොයන විට ලාංකික සමාජයට පරමාදර්ශ ලැබු‍ණේ සිංහල හා දෙමළ වර්ගවාදී නායකයන්ගෙනි. සමස්ත ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකමුතුව නැගී සිටින්නට සමත් වූ සමාජ ව්‍යාපාරයක් ලාංකිකයාට නොවුණි. ඒ නිසා සමාජ අරගලයේදී තෝරාගැනීම් කෙරුණේද ඒ වාර්ගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදිය. කොටි සංවිධානය බිහි වීමම මේ බෙදී වෙන්ව තිබූ ලාංකික සමාජයේ ඵලයකි. අවම වශයෙන් කොටි සංවිධානය එල්ල කළ අභියෝගයට විකල්ප දැක්මකින් හෝ මුහුණදීමට නොහැකි වීම ලාංකික සමාජයේ පසුගාමීත්වයට කදිම නිදර්ශනයකි. බෙංගාලි පුනරුද ව්‍යාපාරය මත පදනම් වූ ලාංකික පුනරුද ව්‍යාපාරයක් ගොඩනගාගැනීම වත්මන් බුද්ධිමතුන්ගේ කාර්යභාරයයි.

අබරන් 

Comments