
“බණ්ඩයියා වෙසක් බලන්ඩ යන්නැද්ද?”
අබිලිං මේස් බැනියමක් අඳින ගමං අහපි.
“කොහෙද තියෙන්නෙ?”
මං ඇහුවා.
“දෙයි හාන්දුරුවනේ! ඇහෙන්නැද්ද සද්දෙ. රට පුරා ම වෙසක්. බණ්ඩයියා දැන්ද ඇහැරුණේ?”
අබිලිංට කේන්ති ගෙහුං.
“සද්ද බද්ද නං ගොඩක් ඇහෙනවා. සද්දෙ දාන අයගෙ හිත්වල වෙසක් තියෙනවද කියල නං මට හැකයි බොලං.”
මං එහෙම කියලා කට ගන්ඩ හම්බුන්නෑ තිලකෙ කොලුවා කාලෙකට පස්සේ අබිලිංගෙ කඩේට ගොඩ වුණා.
“තිලකෙ දැං පැන්සොං ගෙහුංද? පාප්ප බාල්දියයි පෝස්ටර් මිටියයි පැත්තකිං තිබ්බද?”
නිමලෙ ඔලොක්කුවට ඇහුවා.
“අපි දැන් ඒ පිලේ නෑ නෙ...” තිලකෙ කීවා. ඒක ඇත්ත.
පාප්ප බාල්දිය කාණුවකට දාලා වංසෙ කබල්ගාන්ඩ ඒ ඇත්තන්ගෙ පස්සෙං ගියා නෙවැ.
“මට දෙන්ඩකො කළු පොලිතින් මීටරයක්.”
තිලකෙ අබිලිංගෙං ඉල්ලුවා.
“අම්මට සිරි ගජ! කළු කොඩි දාන්ඩවත්ද?”
නිමලෙ ඇහුවා.
“රට විකුණන හොරගිවිසුං ගහන්ඩ එද්දි බකං නිලාගෙන ඉන්ඩ පුළුවන්ද?
තිලකෙ පෙරළා පුරස්න කොළා.
දෙයියෝ සාක්කි! එක වංසෙකින් තව වංසෙකට මාරු වෙච්ච තිලකෙට ගිය කලක්! තිලකෙ පොලිතීන් කොළේ අරං බෝක්කුව ළඟට ගියා. කොල්ලො දෙතුන් දෙනෙක් පිටිපස්සෙං ගෑටුවා.
කළු කොඩිය අරං නැග්ගා ඇල්බීසියා ගහ උඩට.
ඔය අව්අස්සෙ වෙස් මූණු දාගත්තු කොල්ලො රැළක් ලොරි බාගෙක නැගල හූ කියමින් යන්ඩ ගියා.
තව ඩිංගක් වෙලා යන කොට ලෑන්මාස්ටරේක කොලු නඩයක් බජව් දදා යනවා. තව ඩිංගකින් මෝටර් බයිසිකල් පෙළපාළියක්. ඔය විදියට වාහන පෙළපාළි දිගටම.
“වෙසක් බලන්ඩ පිලාකටුපොත යන්නෙ අහවල් දේටද? ඔය තියෙන්නෙ අගේට!”
මං කීවා.
“පිලාකටුපොත ගියා නං දන්සල් වැඳලා, තොරං බලලා බූත මන්දිරෙත් බලන්ඩ තිබ්බා නෙවැ...”
අබිලිං කීවා.
“සැල්ටොංගෙ බාර්රෙක ඇරලා නැද්ද?”
මං ඇහුවා.
“පිස්සු ද? දවස් දෙකක් වහලා. පෝය දවසකවත් කට සංවර කොරන්ඩ කල්පනාවක් නැද්ද?” අබිලිං ඇහුවා.
ඔය අව්අස්සෙ බෝක්කුව පැත්තෙං කොල්ලො හූ කියනවා. බල්ලො උඩු බුරනවා.
“මොකද මලේ වෙලා තියෙන්නෙ?”
නිමලෙගෙං අහද්දි නිමෙල මිදුලට බැස්සා. මාත් පස්සෙං ගෑටුවා.
හද්දෙයියනේ! ඇල්බීසියා ගහේ අත්තක කළු කොඩි බාගෙට එල්ලිලා. තිලකෙගෙ සරම කඩාගෙන වැටිලා. කොල්ලන්ට ප්‍රීති වෙසක්!