සිඟිත්තිය සහ කිඹුලා | Page 3 | සිළුමිණ

සිඟිත්තිය සහ කිඹුලා

 අවුරුදු සිරිය ගෙවී වෙසක් සිරිය ඇරඹෙන්නේ රතු මැයි මල්වලින් පරිසරය සරසමිනි. එහෙත් මෙවර අවරුදු සිරිය ගෙවී මැයි මස ඇරැඹුණේ ඒ සුන්දරත්වය අබිබවමින් යන කම්පනයක් රටට ගෙන දෙමිනි. ඒ ගිම්හානි අනුෂිකා දියණිය කිඹුලකුට ගොදුරු වීමේ සිදුවීම සමඟය. ගල්නෑව මැදි විදුහලේ හත් වැනි වසරේ ඉගෙනුම ලැබූ මේ සිඟිත්තිගේ 13 වැනි උපන්දිනය යෙදී තිබුණේ මැයි 2 වැනිදාටය. එහෙත් ඊට පෙර, අප්‍රේල් 27 බුලන්නටුව වැවේ තම මව, පුංචි අම්මා, බාප්පා සහ නෑදෑ සොයුරු සොයුරියන් සත් දෙනකු පමණ සමඟ දිය නාමින් සිටියදී අඩි 11යි අඟල් 04ක් දිගැති විශාල හැළ කිඹුලකුට ගොදුරු වී අවසන් ගමන් යන්නට ඇයට සිදු විය. මේ සිඟිත්තියගේ වියෝව කොයි ලෙසකින් ඒ මවුපියන් ඇතුළු නෑදෑහිතමිත්‍රාදීන් දරාගත්තේද යන්න සිතාගැනීමටත් අපහසු කරුණකි. ඒ ආවේගය මෙතරම්යැයි මැනගැනීමට අපට ඇති සාක්ෂිය වන්නේ අනුෂිකා දියණිය සමඟම කිඹුලාද අවසන් ගමන් යැවීමට ගම්වාසීන් කටයුතු කළ ආකාරයයි.

මාධ්‍ය වාර්තා නිරීක්ෂණය කර බලද්දී අනුෂිකා දැරිය වතුරට බිය බවත්, එයට හේතුව ඇයට පිහිනීමට නොහැකි වීම බවත්, වරෙක සඳහන් වෙයි. පවුලේ අය සමඟ දිය නාමින් සිටි අනුෂිකා දැරියට සබන් ගා ගැනීමට හැර අන් අය දිය කෙළිමින් සිටියදී හොරෙකු මෙන් පැමිණි කිඹුලා දැරිය සොරකම් කරගෙන ගිය බව පවුලේ අය දන්නේ යම් මොහොතක් ගත වූ පසුය. ඔවුන් දිය නෑමට පැමිණ ඇත්තේ ගොම්මන් යාමයේ - එනම්: සවස 6.30ට පමණ බවද වාර්තාවල සඳහන් වෙයි. එදා රාත්‍රිය පුරාත්, පසුදාත් ගම්වැසියන් ඇතුළු බොහෝ අංශ එක්ව දියණිය සෙවූ මුත් එය සාර්ථක නොවුණ නිසා ඇය අතුරුදන් වූ මොහොතේ සෙරෙප්පු දෙක පා වනු සහ දිය බුබුළු කීපයක් මතු වනු දැක, කිඹුලකු ඩැහැගන්නට ඇතැයි යන සැකයෙන් පසුදා දිය මංකඩ අසල සිටි කිඹුලාගේ හිසට පොලුවලින් පහර දී මරා රජයේ රෝහලට ගෙන ගොස් හදිසි මරණ පරීක්ෂක ලවා බඩ කපා ඒ තුළ තිබූ කොටස් දැරියගේ යැයි හඳුනාගැනීමට උත්සාහ දරා ඇත. දත් ඇඳි දෙක සිය දියණියගේ බව පියා තහවුරු කළ පසු වැඩිදුර සොයා බැලීමට ඩීඑන්ඒ පරීක්ෂණ සඳහාද යොමු කර තිබේ.

මේ සිදුවීම මගේ හෝ ඔබගේ දරුවකුට වූවා නම් යන උපකල්පනයේ සිට බැලීමේදී ‘කිඹුලාට පොලුවලින් ගසා මරාදැමීමත් මඳි‘ යැයි සිතී යයි. හේතුව හයක් හතරක් නොදන්නා තමන්ගේ සුරතල් දියණිය ඩැහැ ගැනීමය. එහෙත් ඒ කම්පනයෙන්ම පමණක් මේ සිදුවීම දෙස බැලීම සාධාරණද යන්න ඇසීමටද අවසරයක් තිබේ. හේතුව මේ වන විට දරුවා අහිමි වීමේ ආවේගශීලී මානසිකත්වයෙන් අප තරමක් මිදී සිටීමය. එහෙත් තවමත් මා මෙසේ සටහන් කිරීම එතරම් ජනප්‍රසාදය හිමි වන තත්ත්වයක් නොවන බවට මටද සැකයක් තිබේ.

කෙසේ වුව අප මනසින් උසස්යැයි සම්මත මිනිසුන් ලෙස මේ දෙස බැලිය යුතු තවත් මානයන් ඇති බව මතක් කර දීම ජනමාධ්‍යවේදියකුගේ වගකීම සහ යුතුකම වන බැවින් මේ සටහන මෙසේ තබමි. එහි සැබෑ අදහස දරුවකුගේ අහිමි වීම අන් කිසිදු අහිමි වීමකට සම කළ හැකි බව නොවේ. කිසාගෝතමිය නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගියා සේ මේ සිදු වීමට මුහුණ දුන් මව, පියා අනුෂිකාගේ අහිමි වීම දරාගත නොහැකිව කරන ඕනෑම දෙයක් ඒ මොහොතේ සාධාරණය යන මතයේ සිට වුවද මේ මෙහෙයුමේ යෙදුණු අන් සියලු දෙනා වෙත යම් මෙනෙහි කිරීමක් කළ යුතුමය.

මිනිසා සහ පරිසරය යනු වෙන් වූ සාධක දෙකක් නොවේ. පරිසරය නැති තැන මිනිසකුද නැත. අප බොහෝ දෙනාට අමතකව ගොස් ඇති කරුණ වන්නේද මිනිසා මේ පරිසරයේම තවත් එක් සත්ත්වයෙක් පමණක්ය යන්නයි. එහෙත් චින්තනයේ උසස් බව හා භාෂාව හැසිරවිය හැකි වීම නිසා අන් සත්ත්වයන්ට වඩා වෙනස් ස්වරූපයක් පරිසරයට දෙමින් සොබාදහම යනු මිනිසාගේ පූර්ණ පරිභෝජනය සහ වින්දනය සඳහා ඇති දෙයක් ලෙස අපි ගණන් තබන්නෙමු. එහෙත් පරම සත්‍ය නම් කෙතරම් උසස් යැයි සිතා සිටියද අනෙක් සතුන් මෙන්ම ඕනෑම මොහොතක පරිසරයේ රීතියට මිනිසාටද යටත් වීමට සිදු වන බවය.

වැව් ඉවුරේ පිපාසයට දිය බොන්නට එන මුව පොව්වා මෙන්ම දිය මංකඩේ දිය නාන්නට එන මිනිස් පැටවා සොබා දහමට දැනෙන්නේ එකම අයුරිනි. එහෙත් අප එය දකින්නේ වෙනස් අයුරිනි. මුව පොව්වකු කිඹුලකු ඩැහැගත් විට අප එය සොබා දහම යැයි කියමු. මිනිස් පැටවකු කිඹුලකු ඩැහැගත් විට අප එය වෙනස් සන්දර්භයක සිට විග්‍රහ කරමු. මිනිසුන් වශයෙන් අප කිඹුලන් මරා හම ගෙන සපත්තු සදාගන්නෙමු; ඉතා වටිනා මිලට එය විකුණමු. අලිඇතුන් මරා දළ ගෙන අධික මිලට විකුණමු. එහෙත් කිඹුලන් හෝ අලින් අපට එරෙහිව පොලු මුගුරු රැගෙන එන්නේ නැත. අපි සතුන්ගේ වාසස්ථාන වැටවල් ගසා අහිමි කර, අපට අවශ්‍ය ලෙස ගෙවල් තනාගත්තාට තවත් මිනිසකුම හැරෙන්නට කිසිම සතෙක් මුකුත් කියන්නේ නැත. එහෙත් උන්ගේ වාසස්ථාන අහිමි කර අප තනාගත් නිවෙසට අලියකු පහර දුන්නොත් අපි උන්ට වෙඩි තබමු; හක්ක පටස් තබමු; විදුලි වැට සවි කර නිදහස සීමා කරමු. මේ, මිනිසා සහ අන් සතුන්ගේ වෙනසයි.

අනුෂිකා දියණියගේ වියෝගයේ කඳුළු අතරින් සොබාදහමේ නියමයන් දකින්නකුට පෙනෙන දැවැන්ත චිත්‍රයක් ඇත. ඒ කිඹුලාගේ මරණයයි. අනුෂිකාගේ සිදුවීම නොවන්නට මෙසේ කිඹුලකු ඝාතනය කිරීම පරිසර නීතිය යටතේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා විස්තර කළ ආකාරයට කිඹුලා යනු දැඩි ආරක්ෂිත උරගයෙකි. “ඒ වගේම ළමයා ඩැහැගත් මොහොතේම මේ කිඹූලාට පහර දුන්නා නම් එය හදිසි කෝපය මත හෝ මිනිසකුට හානි කරන විට ජීවිතයක් බේරාගැනීමේ අරමුණින් කළ දෙයක් ලෙස සැලකීමට හැකිව තිබුණා. එහෙත් වාර්තාවල දැක්වෙන විදිහට දරුවා සොයා දින එකහමාරකට පමණ පසුු ඒ ස්ථානයේ සිටි කිඹුලකු දැක දරුවා ඩැහැගත්තේ මේ කිඹුලා විය හැකිය යන සැකය මත හිසට පොලුවලින් පහර දී මැරීම හදිසි කෝපයට වඩා වෙනස් තත්ත්වයක්. එය නීතිය සියතට ගැනීමක් වැනි තත්ත්වයක් ලෙස නීතිය ඉදිරියේ අර්ථ දැක්වීමට හැකියි. ඒ අනුව වරෙන්තු නැතිව අත්අඩංගුවට ගැනීමට මෙන්ම ඇප රහිත සිර දඬුවම් නියම වීමට තුඩු දෙන වරදක්. එසේම සතකුගේ බඩ පළා පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමට එයට ඉදිරිපත් වූවන්ට නෛතික අයිතියක් නැහැ. එසේම මේ වැවේ කිඹුලන් සිටින බව දැන දැන අපරීක්ෂාකාරී ලෙස ගොම්මන් වේලාවේ දිය නෑමට ඒමත්, හය හතර නොදන්නා දරුවකු අනාරක්ෂිත ලෙස මෙසේ තනි වන්නට හැර ඒ පිළීබඳ වගේ වගක් නැතිව සිටි නොසැලකිලිමත් බවත්, දරුවා ඩැහැගැනීමෙනුත් යම් වෙලාවකට පසු දරුවා නැති බව දැනගැනීමෙන් තහවුරු වනවා. කාලයක් තිස්සේ කිඹූලන් ඇති බව දන්නා ප්‍රදේශවාසීන් කිඹුලන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ යාමය වන ගොම්මන් වෙලාවේ මෙවන් නොසැලකිලිමත් ආකාරයකින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි නිසා මේ සිදුවීමට වැඩිහිටියන් සම්පූර්ණයෙන් වගකිව යුතුයි. අනෙක් කාරණය ඇතැම් මාධ්‍ය මඟින් අනවශ්‍ය කිඹුල් බියක් රට පුරා මවා පෑමට යෑමත් සුදුසු නෑ.“

ඇතැම් අය තර්ක කරන්නේ දින එකහමාරක පමණ කලකදී උකුල් ඇට දිරා ගොස් දත් ඇඳි දිරා නොයෑම පුදුමයක් කියාය.

පරිසර පදනමේ උරග හා උභය ජීවී පර්යේෂක ඩිනාල් සමරසිංහ මහතා පවසන්නේ මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා ඇති වන ප්‍රශ්නයකට සතුන් මැරීම හොඳ පූර්වාදර්ශයක් නොවන බවය. “එසේම කිඹුලන් නැති වැවක හා කිඹුලන් ඇති වැවක හැසිරිය යුතු ආකාරය සාමාන්‍යයෙන් ගම්මුන් අත්දැකීමෙන් දන්නා නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම තමන්ගේ ආරක්ෂාවට වැදගත්. මෙරට ඇති වැව් 8000ක පමණ සංඛ්‍යාවෙන් බහුතරයක කිඹුලන් ඉන්නවා. ඉන් වියළි කලාපයේ වැව්වලින් හරි අඩකට වඩා කිඹුලන් ඉන්න වැව්. අපේ රටේ ජීවත් වන්නේ හැළ කිඹුලන් සහ ගැට කිඹුලන් පමණයි. උන්ගේ මුහුණ අසල කොරල මත ඇති ගැටිති නම් කරන්නේ ‘ඩෝම්ඩ් ප්‍රෙෂර් රිසෙප්ටර්ස්‘ කියලා. ඒ එකක් අපේ ඇඟිලි තුඩු වගේ දස ගුණයක් සංවේදියි. කිලෝමීටර එකහමාරක් පමණ දුරට ඒ සංවේදීතාව දැනෙනවා. ඒ අනුව හරියටම ඉලක්කයට යන්න කිඹුලන්ට පුළුවන්. උදේ පාන්දර සහ සවස් යාමය කිඹුලන්ගේ ක්‍රියාකාරීත්වයෙන් වැඩි කාලයයි. අනෙක මැයි, ජූනි වගේ වියළි මාසවල කිඹුලන් වතුර ඇති තැන් සොයාගෙන පයින් හරි යනවා. සතුන්ගේ වගේම මිනිසුන්ගේ ඇඬියාවට කිඹුලන් බොහෝ සංවේදීයි. අපේ රටේ ජලයේ සිටින විශාලතම මාංසභක්ෂක සතා කිඹුලා. හැබැයි උන් වැඩිපුර කන්නේ මාළු. කොතරම් ලොකු කිඹුලෙක් වුණත් ඇනිකට්එකක් අයිනේ කට ඇරගෙන පුංචි හාල්මැස්සන් තරමේ මාළු කන හැටි බලන්න පුළුවන්. මම හිතන හැටියට මේ වැව්වල අවුරුදු සිය දහස් ගණනක් තිස්සේ මේ කිඹුලන් ඉන්න ඇති. මිනිසුන් මේ වැවට ඇවිත් නාන්නත් ඇති. ඒත් මේ සිදු වීම යම් හේතුවක් නිසා සිදු වන්න තිබෙන්නත් ඇති. ඒත් මේ විදිහට යම් සිදුවීමක් වූ පමණින් ඒ සතා මරා බලන්න ගත්තොත් ලොකු විනාශයකට මුල පිරෙනවා. අනෙක ළමයා ඩැහැගත් කිඹුලා නැතිව වෙන කිඹුලකු එතන සිටියා නම්, අධිආරක්ෂිත සතකු වන කිඹුලකු අහේතුකව මරාදැමීම ගැන වගකියන්නේ කවුද?“

වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පැවසුවේ මෙය අහම්බයක් විය යුතු බවයි. “මේ ප්‍රශ්නය ඉතා සංකීර්ණයි. කිඹුලන් ඉන්න නිසා මිනිසුන්ට සීමා වෙන්නත් බෑ. මිනිසුන්ට අවහිරයි කියා කිඹුලන්ට නීති දාන්නත් බෑ. සමහරුන් කිඹුල් කොටු ගැන කීවාට ලංකාව පුරා ඇති වැව්වල ඒ වගේ දෙයක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නෑ. අනෙක කිඹුලන් සාමාන්‍යයෙන් මිනිසුන් මඟහරිනවා; කලාතුරකින් තමයි පහර දෙන්නේ. ඒත් මේ අවස්ථාවේ මේ දරුවා ඩැහැගන්න ඇත්තේ අහම්බයකින්, දෛවයේ ලියවී තිබූ හේතුවක් නිසා විය හැකියි. ඇත්තෙන්ම මෙය මේ කිඹුලගෙත් අවාසනාව. වැරැදි දෙයක් කළා වුණත් එයින් දරුවාගේ අතුරුදන් වීමේ සිද්ධිය එළි වීම වැදගත්. එසේ නොවුණා නම් ඒ දෙමවුපියන් දරුවා කවදා හෝ එයි කියා මඟ බලා ඉන්න ඉඩ තිබුණා. ඒත් මේ පූර්වාදර්ශය එතරම් හොඳ දෙයක් නොවේ.“

මේ සියල්ලෙන් කියවෙන්නේ සිදු වූ දේ වී හමාරය. එහෙත් මෙවන් දේ මතු සිදු නොවීමට මනසින් උසස්, සිතීමට හැකි මිනිසුන් ක්‍රියා කළ යුතුය යන්න නොවේද? මෙහිදී මතක් කළ යුතු හොඳම වැකිය වන්නේ “සොබා දහම පාලනය කිරීමට අපට හැකියාවක් හෝ අයිතියක් නැත. කළ හැකි හොඳම දේ තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගැනීමය“ යන්නයි.

අරුණි මුතුමලී

Comments