තව ද වෙසක් පෝයක් එළැඹෙයි. ලෝකවාසී සකල බෞද්ධයනට මහත් ප්‍රීතියෙකි. ස්වකීය ශාස්තෘවරයාණන් ගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යයක් සිදු වූ මේ උත්තමෝත්ත ම දිනයට වඩා ඔවුනට ප්‍රීතිය උපදවන අන් කවර නම් දිනයක් ද?
බෝසත්හු සසරෙහි ගොර බිරම් බව දැනදැන ම, අතට පත් නිවනුදු අත්හැර, වදනින් කිය නොහැකි දුක් විඳ දස පැරුම් දම් සපුරා සත් වග කෙරෙහි කළ මහ කුලුණින් ම, ගයාවේ මහ බෝ මැඬ විදුරසුන්හි සිට සව්නේ ගෙවා දැන සම්මා සම්බුදු බවට පත් වූ හ; තමන් අවබෝධ කළ ධර්මය සත් වග ම දෙසමින් ඔවුනට සසරින් එ තෙර වන මඟ දැක්වූ හ. එමඟ නිසි ලෙස ගන්මින් කී දෙනෙක් නම් සසරින් ගොඩ ගියෝ ද?
එ කල්හි මතු නො වේ. මෙ කල්හි දු බුදුන් නිසා ගොඩ යන්නෝ කො පමණ වෙත් ද? බුදුන් දෙසූ දහම පහුරක් කොට ගෙන ගොඩ යන්නන් නම් මෙ කල දුලබ වන බව සැබැවි. එහෙත් වෙනත් අතින් ගොඩ යන්නෝ නම් ඉතා සුලබ වෙති.
වැඩියක් කුමට ද? මේ වෙසක් දිනය නිසා ම ගොඩ යන්නෝ කො පමණ ද? වෙසක් කූඩු සාදන්නෝ, වෙසක් සැරැසිලි සාදන්නෝ ගොඩ යති. තොරණ සාදන්නෝ ද ගොඩ යති. දන්සල් සංවිධානය කරන්නෝ නම් වෙසෙසින් ගොඩ යත් මැ යි! වෙසක් පත් විකුණන්නෝ ද කලකට පෙර ගොඩ ගිය හ. එහෙත් දැන් දැන් සුබ පැතීමට වෙනත් බොහෝ ක්‍රම ඇතියෙන් දෝ වෙසක් පතින් නම් එ තරම් ගොඩ යා හැකි නොවේ. අපේ දෙස්පලු උතුමනට ද වෙසක් මඟින් ගොඩ යා නොහැක්කේ ම නො වේ. දන්සලක් දෙකක් දීමෙන්, වෙසක් (පූජා) කලාපයක් සංවිධානයෙන් ඔවුනට ද ලකුණු ලබාගත නැති මං වෙසඟෙහි දී විවර වෙයි.
මෙ වර වෙසඟින් නම් රටට ම ගොඩ යා හැකි ය. එක්සත් ජාතීන් ගේ වෙසක් උලෙළ පැවැත්වෙන්නේ මේ සිරිලක ය. අහෝ! කවර ප්‍රීතියක් ද? කවර අභිමානයක් ද? කවර ආශ්චර්යයක් ද? බුදුනු රටවල් සුවිසල් ගණනක් අතුරින් ලංකාව ම මේ සඳහා තෝරාගැන්ම අප ගේ ම පුරාකෘත පුණ්‍ය මහිමයක් නොවන්නේ ද? අප ගේ නව යහ වැඩ ගැන එක්සත් ජාතීන් හොඳට ම පැහැදුණු නිසා ය.
මේ හා ම ජී.එස්.පී. බදු සහනය ද ලැබුණෙන් අපට හොඳ ම හොඳ කලක් උදා වන බව සක් සුදක් සේ පැහැදිලි ය. එ වුවද එ බදු සහනයෙන් වැඩි වාසිය ටින් මාළු කාරයනට යෑම නම් වෙසක් සමයට එ තරම් ම ගැළැපෙන්නේ නො වේ. කුම් කෙරෙමු ද? ගල් අරක්කු මිල අඩු කරනු පිණිස ප්‍රගතිශීල යෝජනාවක් ඉදිරිපත් වූයේ ද මෙ සමයෙහි නො වේ ද? ඒ නම්, කසිප්පු බී වැනැසෙන්නන් කෙරෙහි පතළ කරුණාවෙන් යුතු වැ, සද්භාවයෙන් කැරුණු යෝජනාවෙකි. කා කෙරෙහි වුව ද මේ වෙසක් සමයෙහි කරුණාව දැක්වීම කො තරම් නම් අගනේ ද?
ලක්වැසි සියල් බුදුනුවන් හිසැ අත් බන්දන, සාධු, සාධු යි කියවන, ඇසූ ඇසූවන් ළය සනහාලන, සිත් පිනවාලා අනෙක් කරුණ නම් මෙ රට ශාක්‍ය රාජධානියකුදු ඉදි කිරීමයි. සුදොවුන් රජ මැඳුර, රම්‍ය, සුරම්‍ය, ශුභ තුන් මැඳුරු ඇතුළු වැ මුළු කිඹුල්වත ම මෙහි ඉදි වේ. කවර අසිරියක් ද මෙ තෙක් රට කැරැවූ කවරෙක් නම් මෙ බඳු මහ පින්කමක් කෙළේ ද? අහෝ සාධු, සාධු, සාධු!
ඉතින් දැන් කුමට දඹදිව යමු ද? දිවි මුළුල්ලේ එකතු කළ ධනය වැය කොට, මහත් දුක් හිරිහැර විඳ, වෙහෙස වී කුමට දඹදිව යමු ද? නොබෝ කලෙකින් ම රජගහ නුවර, සැවැත්නුවර ආදිය සහිත මගධ රාජධානිය ද, කුසිනාරාම ඇති මල්ල රාජධානිය ද මෙ බිමෙහි ම ඉදි වනු නියත ය. අහෝ, සැදෑවත් දුගී උපාසක - උපාසිකාවන් කෙරෙහි පතළ කරුණාවෙන් යුතු වැ, අතිනුදු පාඩු විඳ දඹදිව වන්දනා ගමන් සංවිධානය කරන්නවුනට යන කල? එ ගැනැ ද මඳක් හෝ සිතීම මැනැවි.
බුදුහු වනාහි ආගමික සහජීවනය ඉවැසූ මහා කාරුණිකයාණෝ ය. එ හෙයින්, අන්‍ය ලබ්ධිකයන් ගැන දු මඳක් සිතා බලා මක්කම, යෙරුසලම ආදිය ද මේ සිරිලක් බිමෙහි ම ඉදි කරනු මැනැවැ යි හිතාධ්‍යාශයෙන් යුක්ත වැ ම පවසාලම්හ.
හිතමිතුරා