දවසට තෙවරක් මහා සෑය නැමදලයි අපි දාගබට නගින්නේ | Page 3 | සිළුමිණ

දවසට තෙවරක් මහා සෑය නැමදලයි අපි දාගබට නගින්නේ

 බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ නිදන් කොට අනුරාධපුර පුජනීය මහමෙව්නාවේ ඉදිකෙරුණු රුවන්වැලි මහා සෑරදුන්ගේ හුනු පිරියම් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරේ. සෑම වසරකම පොසොන් පොහොයට පෙර මහා සෑයේ හුනු පිරියම් කිරීමේ කටයුතු අවසන් කිරීම සිරිතක් වශයෙන් සිදු කරනු ලබයි. රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදී මෙවරද පසුගිය පෙබරවාරී මස විසි අට(28) වැනිදා හුනු පිරියම් කිරීමේ කටයුතු ආරම්භ කළේය.

හුනු පිරියම් කිරීම ආරම්භ කිරීමට ප්‍රථම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හට බාරහාර වීම සිරිතක් වශයෙන් සිදු කරයි. මෙම කටයුත්තට සම්බන්ධ වන පිරිස බෝධි මුලයට ගොස් මහා සෑයේ හුනු පිරියම් කිරීමට අවසර ඉල්ලන අතර එම කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් වූ පසු සතර වාහල්කඩ කිරි උතුරවා එම බාරය ඔප්පු කරයි.

මෙම මාහැඟි කටයුත්ත සදහා මෙවරද රුපියල් ලක්ෂ 75ක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇත. පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර රත්නපුර, නීලගම, කහවත්ත පදිංචි ව්‍යාපාරික එම්.එල්.ආරියපාල මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා එක්ව සම්පුර්ණ මුල්‍ය දායකත්වය ලබා දී තිබේ.

මෙහිදි පළමුවෙන්ම චෛත්‍ය ගර්භය හා කොත් කැරැල්ල වටා ලණු ඇද ඉණිමන් බැඳ ගැනීම සිදුකරනු ලබන අතර පසුව පැරැණි හුනු තට්ටුව ඉවත් කිරීම සිදු කරනු ලබයි. පැරැණි හුනු තට්ටුව ඉවත් කළ පසු අලුතින් හුනු පිරියම් කිරීමට සුදුසු වන සේ දාගබ පිරිසුදු කරමින් මහා වැසි ඇද හැළේ. එය පුරාණයේ සිටම සිදුවන හාස්කමක් ලෙස සැලකේ.මෙවරද එය ඒ පරිද්දෙන්ම සිදු විය.

මහා සෑ ගර්බය වටා එල්ලන ලද ඉණිමන් අටක් උපයෝගී කර ගනිමින් තිස්පස් (35) දෙනකුට අධික කණ්ඩායමක් මෙම කටයුත්තෙහි නිරතව සිටියි. සෑ ගර්භයේ අඩි 15 ක උසක් පමණක් අතින් හුනු පිරියම් කිරීම සිදුකළ හැකි අතර අනෙක් සියලු කටයුතු සදහා ඉණිමන් යොදා ගැනීමට සිදුව තිබේ.

මහා සෑයේ සුදු පිරියම් කිරීම සදහා හුණු ටොන් 9ක්, නිල් හොන්ඩර 4ක්, ලුණු කිලෝ 50 මිටි 30ක්, සව් කිලෝ 50 මිටි 4ක්, සීනි කිලෝ 50 මිටි 4ක්, උණගස් 650ක්, ලණු හොන්ඩර 15ක් පමණ අවශ්‍ය වන බව මෙම කටයුත්ත බාරව කටයුතු කරන කේ.සුමිත් මහතා පැවසීය. හුනු පිරියම් කරන කාලසීමාව තුළ මහ වැසි ඇදහැලුණ හොත් මෙම කටයුත්තට දැරීමට වන පිරිවැය ඉහළ යන බවද ඒ මහතා පැවසිය.

මෙම කටයුත්ත පිළිබදව අදහස් දැක්වූ හුනු පිරියම් කරන කණ්ඩායමේ ප්‍රධානියා වන මාතර, වලල්ලාවිට, කටුදොර පදිංචි කේ.සුමිත් මහතා(46) මෙසේ සඳහන් කළේය.

“ මම තාත්තගෙ කාලෙ ඉඳන් මේ කටයුත්තට දායක වෙනවා. මට මතක හැටියට මම මේ සම්බන්ධ වෙන්නෙ 28 වැනි වතාවට. මේ කටයුත්ත සඳහා බොහෝ කාලයක් ගත වෙනවා. වැඩි වියදමකුත් දරන්නට සිද්ධ වෙනවා. අපි පාවිච්චි කරන ඉණිමන් බඳින්න ගන්න කඹය විතරක් රුපියල් ලක්ෂ හතර ඉක්ම වනවා. ඒක පාවිච්චි කරන්නත් පුළුවන් එක අවුරුද්දක් විතරයි. ඉණිමන් එල්ලන නිසා තවත් අවරුද්දක් පාවිච්චියට ගන්න එක අවදානම්. සාමාන්‍යයෙන් අපි මහා සෑයෙ ඉහළ ඉන්න කොට පහළ ඉඳන් බලන් ඉන්න සමහරු අහනව බය නැතිද කියල. අවදානම් නැතිද කියල. ඇත්තටම කියන්න අපිට නම් එවැනි දෙයක් දැනෙන්නේ නෑ. දවසට තුන් වරක් අපි මහා සෑය නමදිනවා. ඒ කරලයි දාගබට නගින්නේ. මේ කාලය පුරාවට කිසිදු හිරිහැරයක් කරදරයක් වෙලා නෑ. කිසි දිනක එහෙම වෙන්නෙත් නෑ. කොච්චර අව්ව සැර වුණත් අපට මහා වෙහෙසක් දැනෙන්නේ නෑ. මිරිසවැටිය හා ලංකාරාමය දාගබ්වලත් සුදු පිරියම් කරන්නේ අපි. අපි හරිම සතුටින් මේ කටයුත්තේ නිරත වන්න” යනුවෙන් ඔහු සඳහන් කළේය.

අමිල ප්‍රභාත් වනසිංහ
අනුරාධපුර මධ්‍යම සමුහ

Comments

පිටු