දෙවියන් අත්හල දේශය | සිළුමිණ

දෙවියන් අත්හල දේශය

 ශ්‍රී ලංකාවේ යුද්ධය පිළිබදව 1987 සිට 1990 දක්වා මෙහි රඳවා සිටි ඉන්දියානු යුද හමුදාවේ Black Cat Commando බළකායේ සේවය කල මේජර් සිද්ධාර්ථ චැටර්ජි විසින් තමන් සේවයෙන් ඉවත්වීමෙන් පසුව India Today සඟරාවට ලිවූ ලිපියකින් මෙම සටහන ආරම්භ කිරීම සුදුසු යයි හඟිමි. "පිරිස් බලය සහ සංග්‍රාමික උපකරණ අතින් අපේ හමුදාවට (ඉන්දියානු ) වඩා බොහෝ පසුපසින් සිටියද, ශ්‍රී ලංකා හමුදාව සංග්‍රාමික නිපුණතා සහ චිත්ත ධෛර්යයෙන් අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි. ශ්‍රී ලංකා හමුදාවට අපේ ගෞරවය, කෘතඥ තාවය සහ අපේ ප්‍රශංසාවද හිමිවිය යුතුය. තමන් ඇප කැපව සිටින රටේ අවශ්‍යතාවය මැනවින් හදුනාගෙන සිටින මේ පිරිසට තමන් මුහුණ පා සිටින මේ දරුනු අභාගයෙන් තම රට ගලවා ගැනීමට වාසනාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. මේ හමුදාව වානේ වන් ශක්තිමත් ස්නායු සහිත මිනිසුන්ගෙන් සපිරි එකකි. ඒකායන අධිෂ්ඨානය, අකලංක අරමුණු, අවශ්‍යම වන කාලයක්ය මේ. එසේනම් පසුබෑම් කොතෙක් තිබුනද අවසානයේදී තීරණාත්මක ප්‍රහාරය එල්ල කොට මේ තිරිසනුන් ඉතිහාසයේ කුණුබක්කියට ඇද දැමීමට ඒ ශ්‍රේෂ්ඨ හමුදාවට හැකිවේවායි මම පතමි"

සිද්ධාර්ථ චැටර්ජි ප්‍රාර්ථනා කළ, ඒ තීරණාත්මක ප්‍රහාරය 2009 මැයි 19 දින අවසන් කළ අපේ හමුදාවට, මේ මොහොතේදී, මම ශීර්ෂ ප්‍රණාමය පුද කරමි.

යුද ජයග්‍රහණයෙන් පසුව සිදුවූයේ සිදු නොවිය යුතු යයි මා කල්පනා කරන දේවල්ය. ඉන්පසුව සිදුවූයේ "යුද්ධය උත්කර්ෂයට නංවා ආයුධ වීරත්වයට පත් කිරීමය". පාර්ශ්ව දෙකෙහිම පෑරුණු හදවත් එක් කිරීමේ පුළුල් සංහිඳියා ක්‍රියාවලියකට යාම වෙනුවට එකල බලයේ සිටි රජය තෝරාගනු ලැබුයේ ඉතාමත්ම සුළුතරයකවන සිංහල අන්තවාදයට මානසික අල්ලස් සපයමින් සිල්ලර දේශපාලනයේ යෙදීමය.

එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් නිර්මාණයවූ සංදර්භය තුළ ජාතික ඒකාග්‍රතාවය ප්‍රමුකත්වය වූ දේශපාලන දැක්මකින් කටයුතු කළේ නම් මහින්ද රාජපක්ෂ මහතා නිදහස් ලංකාවේ සාර්ථකම නායකයකු ලෙස ඉතිහාසගතවීමේ ඉඩක් තිබිණි. ඒ වෙනුවට එතුමා තෝරාගත්තේ 2010 ජනාධිපතිවරණය පවත්වා එම ජයග්‍රහණය යොදාගනිමින් රාජ්‍යයේ යාවජීව ජනාධිපති ලෙස කටයුතු කිරීමට අවශ්‍යවන ව්‍යවස්ථා ප්‍රථිපාදන 18 වනංශෝධනය මගින් ලබා ගැනීමය. අවසානයේදී එතුමාගේ දේශපාලනය විනාශයට හේතුවූයේද එම තෝරාගැනීමය.

දැන් කළ යුතුව ඇත්තේ පුළුල් සංහිඳියා වැඩ පිළිවෙලක් තුළින් ජාතික එකාග්‍රාතාවය National Integration ගොඩ නැගීමය. දෙමළ ජනතාවගෙන් දැවැන්ත බහුතරය ඊලම අතහැරදමා ඇත. ඔවුන් අවම වශයෙන් ෆෙඩරල් විසදුමක්වත් ඉල්ලන්නේ නැත. එහෙත් ඔවුන්ටත් ජාතිකත්වය මත පදනම්වූ අභිලාශයන් තිබේ. ඒකීය රටක් තුළ මෙය විසදා ගැනීමට තිබූ අගනා අවස්ථාව රටට ලැබී ඇත.

ජනවාර්ගික විවිධත්වයකින් යුත් කිසියම් රටක ප්‍රධාන ජනවර්ගය, තමන්ගේ අයිතීන් අනිත් ජාතීන්ට වඩා වැඩිවිය යුතු බව සිතන්නේ නම්, තම ආධිපත්‍යයට යටත්ව සුළු ජාතීන් ජීවත්විය යුතුයයි සිතන්නේ නම් එකී රටේ සාමය සහ ජනවාර්ගික සංහිඳියාව එතැනින්ම බිඳවැටී ජනවර්ග අතර ගැටුම් නිර්මාණය වීමත් එමගින් රට ආගධයට පත්වීමත් නොවැලැක්විය හැකි දාමයක පුරුක්ය. අප නිදහසින් පසු අත් දුටුවේ මෙකී තත්වයමය.

යුද්දයෙන් පරිපීඩිතව අන්තර්ජාතික බලපෑම් අතර කොටුවී සිටින ජාතියකට ඉසිලිය නොහැකි තරම් ජීවිත විනාශයකට අප ගොදුරුවී සිටියෙමු. අපි දැන්වත් 'සාපරාධී ප්‍රතිපත්ති වල උරුමයන් වෙනුවෙන් පොර බැදීමට ඊලග පරම්පරාවන්ට ඉඩ නොහැරීමට තරම් විචකන ජාතික දැකමක් ඇතිකර ගැනීම අතිශයින්ම ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන කටයුතු කළ යුතු නොවේද?

එක් ජනවාර්ගික කණ්ඩායමක්, වෙනත් ජනවාර්ගික කණ්ඩායමක් කටයුතු කළ යුත්තේ කෙසේදැයි තේරීම් කරමින්, ඔවුන්ගේ හැඟීම් සහ දැනීම් වෙත බළපෑම් එල්ල කරන තාක්කල් දෙවන කණ්ඩායම මුල් කණ්ඩායමට ප්‍රථිරෝධය දැක්වීම නොනවතිනු ඇත. බහුවාර්ගික විවිධත්වය ඇති ශිෂ්ට සම්පන්න රටවල් මේ ප්‍රශ්නය විසඳාගෙන ඇත්තේ ඉහත සඳහන් කාරණය තේරුම් ගැනීමෙන් සහ මීට අදාල සියලු උපාය මාර්ග ඒ අනුව සකසා ගැනීමෙනි. මීට දියහැකි හොඳම උදාහරණය අසල්වැසි ඉන්දියාවයි.

මම මේ විශ්මිත දේශයෙහි අවුරුද්දක පමණ කාලයක් ගත කර ඇත්තෙමි. 1948 ට පෙර ඉන්දියාව කියා තනි රටක් මේ මිහිපිට නොතිබිනි. එය මහාරාජා වරුන්ගේ පාලනයට අයත් ප්‍රාන්ත දේශ පන්සියකටත් අධික විශාල බිම් කඩක් පමණක් විය. සැබැවින්ම අද පවතින ඉන්දියාව නම්, බලවත් දේශය බිහිකලේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්මය. මේ සුවිසල් භූමිය එක් රටක් බවට පත් කිරීම සදහා ඔවුන් අනුගමනයළ උපාය මාර්ගය වූයේ දුම්රිය මාර්ග ජාලයකින් මුළු රටම සම්බන්ධ කිරීමය. ඉන්පසු කිසියම් ප්‍රදේශයක සිවිල් නොසන්සුන්කමක් ඇතිවන්නේනම් දුම්රියෙන් එම ප්‍රදේශය වෙත හමුදාව පිටත් කිරීමය. වාසනාවකට 1948 දී නිදහස ලබනවිට එම රට භාරගත්තේ දුර දක්නා නුවනින් යුත් රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින්ය. අගමැති ශ්‍රී නේරු, සහ ඔහුගේ ස්වදේශ ඇමති වශයෙන් පත්වූ බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්දියානු සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වශයෙන් කටයුතු කළ සර්දාර් වලභායි පටෙල් මේ දේශය කවර කලෙකවත් කුඩා කෑලිවලට නැවත කැඩී බිදී යා නොහැකිවන පරිදිම එක් කළෝය.

ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික විචක්ෂණභාවය පිලිබඳ එක් උදාහරණයක් මෙහි සඳහන් කරමි. පනස් ගනන් වනවිට, දැන් තමිල්ණාඩුව වශයෙන් සහ එවකට මදුරාසි ප්‍රාන්තය ලෙස හඳුන්වනු ලැබූ භූමිය 'ද්‍රවිඩස්ථාන්' නමින් වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස වෙන්ව යාමට දේශපාලන ව්‍යාපාරයක් ශක්තිමත්ව අරගලයක් ආරම්භ කර තිබුණි. සී.වී. අන්නදුරයි සහ ඊ.වී. රාමස්වාමි යන දේශපාලකයින්ගේ නායකත්වයෙන් එය කිසියම් ගාමකත්වයකින් ඉදිරිය බලා ඇදෙමින් තිබිනි. ඔවුන්ට අවශ්‍යව තිබුනේත් 'ද්‍රවිඩ නිජ බිමකි'. අගමැති නේරු ඉතාමත්ම විචක්ෂණ නුවනින් එය විසඳුවේය. ඔහු දෙමළුන්ට 'නිජබිම' ලබාදුනි. කෙසේද යත්, මදුරාසි ප්‍රාථයේ නම 'තමිල්නාඩු' හෙවත් දෙමලුන්ගේ භූමිය ලෙස වෙනස් කිරීමෙනි. ඉන්පසු කවදාවත් දෙමළ නිජබිම් ඉල්ලීමක් ඉන්දියාවේ පැන නොනැගිනි. අපේ රට සමෘධිමත් දියුණු රාජ්‍යයක් කරා ඔසවා තැබීමට නම් අපරට තුළ අළුයට ගිණි පුපුරු මෙන් සැඟවී තිබෙන මෙම ජනවාර්ගික අවිශ්වාසය අවසන් කරදැමිය යුතුය. එහි පුරෝගාමිත්වය ගතයුතුවන්නේ බහුතර සිංහල ජනයා විසින්ය. ඒ සඳහා ඔවුන්ව දැණුවත් කිරීම මතවාදී නායකයින්ගේ සහ රටට ආදරය කරන සියලු වගකිවයුතු පුරවැසියන්ගේම වගකීම වේ. මෙකී ජනවාර්ගික අවිශ්වාසය ඇතිවීමට මූලික වශයෙන් බලපා තිබෙන වැරදි අවබෝධයන් දුරු කරලීම සඳහා විශාල වැඩකොටසක් කිරීමට එකී මතවාදී නායකයන් හට පිළිවන.

ලෝකයේ මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වන කාලයෙදී කිසිම ජනවාර්ගික බෙදීමක් නොතිබුණු බවත් හුදෙක් වනයේ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් ජීවිතය රැකගැනීමේ අනවරත සටනෙහි පමණක්ම ඔවුන් යෙදී සිටිය බවත් අප අවබෝධකොට ගත යුතුය. ඊළඟට මානව ශිෂ්ඨාචාරය තුළ සිදුවූ ක්‍රමික සාමාජීය පරිණාමීය ක්‍රියාවලිය හරහා ගෝත්‍ර සහ ජනවාර්ගික වෙනකම් ඇතිවීමත්, අද මුළු ලෝකය පුරාම ජීවත් වන කිසිදු ජනවර්ගයක් අමිශ්‍ර සුපිරිසිදු ජාතියක් නොවන බවත් බුද්ධිමව තේරුම්ගත යුතුය. මෙම පරිවර්ථීය ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියටත් සිදුවීමට නියමිත බවත් අප තේරුම් ගතයුතුය. එබැවින් ජනවාර්ගික ප්‍රතිශතයන් හෝ සංයුතීන් ඉර හඳ පවත්නාතාක් කල් එකම ලෙසින් නොවෙනස්ව පවත්වා ගැනීමට උත්සාහ කිරීම අතාර්කික මුග්ධ ප්‍රයත්නයක් පමණක්ම බව අප තේරුම්ගත යුතුය.

එහෙත් අවාසනාවන්තම තත්ත්වය වන්නේ මේ සියල්ල මැනවින් අවබෝධ කොටගත් සුළු පිරිසක්ද තම දේශපාලන බල ව්‍යාපෘතියේ ප්‍රධානම අංගයක් ලෙස ජනවාර්ගික අවිශ්වාසය ව්‍යාප්ත කිරීමට දරන නින්දා සහගත උත්සාහයයි.

ලුතිනන් කර්නල්
චන්න කරුණාරත්න

Comments

We should consider all as human irrespective of nationality, religion, wealthy, poor ,educated or not educated. In considering people for their entitlements, basic needs, Democratic Rights. Most of the Sri lankans identify a person as Tamil, Sinhala, Muslim, Buddhist or may be Christian before addressing his/ her problem or issue. All are Sri Lankans. Today some people perceive as a doctor and a garbage worker is equal. Equal in the sense of human. May be in front of Law and Justice.But in Profession they are quite different. Their contribution to this society is different

පිටු