තෙලේ බලේ | සිළුමිණ

තෙලේ බලේ

 තෙල් බෙදන්නෝ වැඩ වැරූ හ. නිකම් ඉන්නට බැරි වැ නො වේ; පඩිය ටිකක් වැඩි කැරගැන්මට ද නො වේ. අප රටෙහි සේවකයෝ එ බඳු ආත්මාර්ථකාමී උදරම්භරීහු නො වෙත්. ඔවුන් වැඩ වරතොත් වරන්නේ සිය බඩ රැක්ම පිණිස පඩි වැඩි කැරගැන්මට නො ව, ජාතික ප්‍රශ්නයක් ඇති වූ කල්හි, එ ද බැරි ම තැනෙක්හි දී ය. මෙවර වැඩ වැරුම ද එ බන්දෙකි. තිරිකුණාමලයේ අපගේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමට එරෙහි වැ ඔවුහු වැඩ වැරූ හ. දේශීය සම්පත් මෙ සේ අන් රටවලට බදු දීම කවර අපරාධයක් ද? දෙතොත් දිය යුත්තේත් ඇමෙරිකාවට වැනි හොඳ බලවතකුට නො වේ ද? එ කල්හි අඩු ගණනේ ඇමෙරිකා පිටි ටිකක් වත් නොමිලයේ නැත හොත් අඩු මිලයට වත් දෙනු ඇත. (ඉන්දියාව ද වරක් නොමිලයේ ම අපට පරිප්පු දුන් බව කෘතඥතා පූර්වක වැ සඳහන් කළ යුතු ය.)

භාග්‍යයකට මෙන් ගරු අගමැතිතුමාණෝ මෙ ගැටලුවට මැදිහත් වූ හ; ඉන්දියාවට තෙල් ටැංකි බදු නොදෙන බවට ලිඛිත ප්‍රතිඥාවක් දී තෙල් සේවකයන් සැනැසූ හ. වැඩ වැරුම නැවැතී මහජනයා පත් වන්නට ගිය මහත් කරදරයෙකින් බේරුණ හ.

ගැටලුව විසැඳුණ ද බිය තව මැ පහ නොවූයේ ය. ඇත්තට ම තෙල් නැති වුව හොත්? සතියක්, නැත, දවසක්, නැත. වරුවක් නැත පැයක් සිටිය හැකි ද? නොහැකි ම ය. එ සේ වුව හොත් අප ගේ සියලු ගමන් බිමන් නවතී. රට පුරා බඩු බෙදීම ද නවතී. එ හෙයින් කන්නට බොන්නට ද නැති වනු ඇත. ජල විදුලිය ගැන කො තරම් කයිවාරු ගැසුව ද මෙ රට විදුලියෙනුදු සෑහෙන කොටසක් තෙලින් නිපැයෙන බැවින් විදුලිය සැපැයුම ද අඩු වනු ඇත. කොටින් කිව හොත් අරාබි තෙල නැති වුණු දා අපට යන එන මං නැති වනු ඇත! බලව තෙලෙහි මහිම!

ඇයි අරාබි තෙලට ම නියවන්නේ, අපට තෙල් නැත් ද? ඇත, ඇත. අපි දු තෙල් ඇත්තමෝ වම්හ. අප ගේ තෛල නිධානයෝ තව ම මහා සමුද්‍රයෙහි සැඟැවී ඇත්තෝ ය. ගිය රජයට ද ඒ ගොඩ ගත නොහැකි වී ය. මේ රජය විසින් වහා ම කළ යුත්තේ හොඳ ම කොමිසයක් දෙන සමාගමයක් තෝරා තෙල් ගොඩ ගැන්මේ කාර්යය එයට පවරාදීම යි. එ සමඟ ම තවත් බොහෝ දෙනකුට ද ගොඩ යා හැකි බවට කවර සැකයක් ද? විදේශීය සමාගමයකට කටයුත්ත පවරා දුන හොත් වඩා මැනැවි. එ කල්හි රජය සමඟ ම ඒකාබද්ධ විපක්ෂයට ද ගොඩ යා හැකි නො? කුණු කන්දේ උණුසුමත් කෙමෙන් මැකෙන කල, මැයි දිනයත් ළඟ ළඟ ම එන කල කරතොත් කළ යුතු හවුලේ ගොඩ යා හැකි මෙ බඳු වැඩ ය.

ඒ නිකම් අනන් මනන් පසකට යේ වා! අරාබි තෙලෙහි බලය යම්තම් හෝ බිඳිය හැකි මඟක් සොයා බැලුව හොත් නොමැනැවි ද? මනා මැ යි. බලව, බලව අරාබි තෙල වුව මනා මෝටර රිය පදවන්නාට යි.

මෝටර් රිය එන්නට පෙර අපි ගමන් නොගියමෝ ද? අර සුරනිමලයාට මෙන් එක් වරුවෙකින් මාගම සිට අනුරාධපුරයට යෑමේ විකුම් පෑ නොහැක්කේ වුව ද අපි දු පෙර කල්හි දහස් වටින ඇවිද්ද පා ඇත්තමෝ වූමු. දැනුදු අපි ඇවිදීමේ රුසියෝ වමු. බැලුව මැනැවි, සැඳෑ කල්හි ඇවිදින මං තීරුව ඇවිදින පිරිස; එ අසල නවත්වා ඇති සුපිරි රිය තුළ. දුර සිට වාහනවලට තෙල් ගසාගෙන පැමිණ ඇ‍ඟේ තෙල් මකාගනු වස් සෙමෙන් ඇවිදින, හයියෙන් ඇවිදින, හැල්මේ දුවන, එක තැන දුවන මෙ පිරිස කො තරම් සොඳුරු දසුනක් මවත් ද? සැබැවින් ම මිනිස් තෙලිනුත් වාහන දිවැවිය හැකි නම් මේ ශරීර කුණපවල ගොඩ ගැසී ඇති තෙලුත් සෑහෙන කලකට මෙ රට ඉන්ධන අවශ්‍යතාව පිරිමසනු නැතැ යි කිව හැකි ද?

එ ද වේ වා. එ කල්හි අප විසින් පමණක් ගමන් ගියමෝ නො වමු. රාජ රාජ මහාමාත්‍යාදීහු ඇත් රිය, අස් රිය නැඟී ගිය හ. සෙස්සෝ ගොන් රිය නැඟී ගිය හ. අරාබි තෙලට ගැති නො වී මෑතක් වන තෙක් ම බඩු ගෙන යන්නට මතු නො ව තෙල් බෙදන්නට පවා ගොන් රිය යොදා ගැනුණු සැටි දන්නෝ දනිත් ම ය. ගමන් කරත්ත, බක්කි කරත්ත, ටැංටු කරත්ත, බර කරත්ත, බරබාග, තිරික්කල ඈ විසින් ගොන් රිය කො තරම් එ කල වී ද? මේ රියවලට තෙල් නම් තණ පුන්නක්කු යි. විදේශ විනිමය ද ඉතිරි විය. පරිසරය දූෂණය නො වී ය.

ඉතින් තවත් අරාබි තෙලට කුමට නියවමු ද? අපේ ගොනා අපට හොඳ නො වේ ද?

හිත මිතුරා

Comments