ගෙදර කුණු කොම්පෝස්ට් කරන බස්නාහිර පළාත් වැඩසටහන | සිළුමිණ

ගෙදර කුණු කොම්පෝස්ට් කරන බස්නාහිර පළාත් වැඩසටහන

 අපේ රටේ කොළඹ නගරයට දිනකට පැමිණෙන සෑම පුද්ගලයකුම කුණු කසළ ග්රෑම් 850 ක් පමණ කොළඹ නගරයට එක් කරන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. බස්නාහිර පළාතේ අනෙක් නගරවල මේ ප්‍රමාණය ග්රෑම් 750 ක් වන බව ද එමඟින් හෙළිවී තිබේ.

ඒ සමීක්ෂණය අනුව මුළු රටේම දිනක කුණු කසළ ජනනය වන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6400 කි. ඒ අනුව රටේ සෑම පුද්ගලයකුම දිනකට ජනනය කරන කුණු කසළ ප්‍රමාණය ග්රෑම් 290 ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ.

මේ අනුව බලන විට ර‍ෙට් සියලු දෙනාම මේ කුණු ප්‍රශ්නයට වගකිව යුතු වෙමු. ඒ අනුව කොළඹ කුණු අපට එපා යැයි කීමට වඩා සියලු දෙනාම එකතු වී කුණු ගැටලුව අවම කිරීමට පිළියම් යෙදුම ඉතා උචිත බව මෙරට ප්‍රවීණ විද්‍යාඥයෝ පෙන්වා දී ඇත.

මේ තරම් කුණු කසළ ගැටලු යටතේ 2000 – 2005 වකවානුවේ මෙරට කුණු කසළ කළමනාකරණය පිළිබඳව ප්‍රබල උනන්දුවක් දැක්වූ කොළඹ සරසවියේ උද්භිද විද්‍යා අංශයේ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය නිතරම පැවසුවේ කුණු සල්ලි මවන සම්පතක් බවට එදා ඇය මාධ්‍යවේදීන් වන අපට ද ඒ පිළිබඳව දැනුම්වත් කරමින් ගෙදරදීම කසළ ජනනය අවම කරන හැටි පෙන්වා දුන්නාය.

නමුත් අවසානයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරයෙන් ද ඇයට සමුගන්නට සිදුවූයේ වැඩිපුර සමාජ සේවයට යොමු වූ නිසාම ය.

කෙසේ වුවත් කුණු කසළ ගැටලුව විසඳීම ආරම්භ කළ යුත්තේ නි‍ෙවසේ කුස්සියෙන්ම ය. නැත්නම් ගෙදරින්මය එසේත් නැත්නම් තම ආයතනයෙන්ම ය.

අද අපේ නිවෙසේ දිනපතා එකතුවන එළවළු අපද්‍රව්‍ය හා මස් මාළු අපද්‍රව්‍ය ඉවතට දැමීම කළමනාකරණය කර ගත යුතුව තිබේ. ඒවා සියල්ලම අවශ්‍ය නම් කෙසෙල් ගස් වටේ හෝ පොල් ගස් වටේ වළක් කපා වැළලීමට පුළුවන. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසුවේ ද ඉදිරියේදී ඒ නිෙවසේ කුණු කසළ ජනනය අඩු කිරීම ගැන රට පුරා දැනුම්වත් කිරීම කරන බව ය.

අද සියලු සුපිරි වෙළෙඳසල් මඟින් බඩු ගන්න විට ඉවක් බවක් නැතිව සිලි සිලි බෑග් අපට ලබාදෙයි. සමහරවිට එකට දැමිය හැකි දේද වෙන වෙනම බෑග්වල දමනු ලැබේ. ඉන් සිදුවන්නේ ගෙදර ඇතුළත කුණු කසළ වැඩිවීමයි. නමුත් 2007 දී රජය පිළිගත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය හා පිළිසරණ ව්‍යාපෘතිය අනුව ‘3R’ සංකල්පය යටතේ කුණු කසළ අවම කිරීමට හැකි ය. ඒ අනුව පොලිතින් ප්ලාස්ටික් පාවිච්චිය අවම කිරීම ද නැවත නැවත භාවිත කිරීම ද ප්‍රතිචක්‍රීකරණය ද කළ යුතුව ඇත.

මේ කුණු කසළ සල්ලි බවට පත් කිරීමේ වැඩපිළිවෙළට දායක වීමට ඕනෑම අයකුට අවස්ථාව තිබේ. ඒ අනුව කළ යුතු සුවිශේෂී කටයුත්ත නිෙවසේ කුණු කසළ පළාත් පාලන ආයතනයේ එකතු කරන වාහනයට බාරදීමට පෙර එය වෙන් කිරීමට ලක් කිරීමයි. ඒ අනුව තැනින් තැන දැමුවොත් අප එය කුණු ගොඩක් වන අතර එය වෙන් කරනු ලැබුවහොත් එය අපට සම්පතක් වේ. ඒ අනුව ප්‍රධාන ලෙස පරණ කඩදාසි, යකඩ, වීදුරු, පොලිතීන්, ප්ලාස්ටික් ආදිය වෙන් කිරීමට අවස්ථාව තිබේ. පරණ කඩදාසි හා කාඩ්බෝඩ්වලට ඉහළම මිලක් ලබාගත හැකි අතර පොලිතීන් සඳහා ද විවිධ මිල ගණන් ලබාගත හැකි ය. ඒවා මිලදී ගැනීමට සූදානම් ප්‍රතිචක්‍රීකරණ ආයතන ලංකාවේ තිබේ.

බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව කුණු කසළ කළමනාකරණය පිළිබඳව සිත්ගන්නාසුලු වැඩ සටහනක් බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තු නිලධාරීන් මඟින් මෙහෙයවනු ලැබේ. ඒ අනුව ප්‍රධාන අවධානය යොමු කර ඇත්තේ නි‍ෙවසේ හා ගෙවත්තේ ඇති දිරන ද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් සෑදීමට ය.

ඒ අනුව නිවෙසේ ඉවත ලන එළවළු, පලතුරු කොටස්, පාන්, බත්, ධාන්‍ය වර්ග, ඉවත ලන මස්, මාළු, තේ කොළ, පිළුණු ආහාර, පොල් කටු කැබලි කළ බිත්තර කටු - පුලුස්සා ඉවත ලන දර අළු ඉඳුල් තැවරුණු කඩදාසි, වියළි තණකොළ, ශාක පත්‍ර, පිදුරු, ලී කුඩු සහ පහසුවෙන් දිරන වෙනත් ද්‍රව්‍ය මඟින් නිෙවසේදීම කොම්පෝස්ට් නිෂ්පාදනය කළ හැකි ය.

මේ අනුව ගෘහස්ථ අපද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීම වැදගත් වන්නේ ගෙදොර දොර කුණු කසළ අවම කිරීම පිණිස ය.

කෙසේ වුවත් ප්ලාස්ටික් පොලිතීන් ලෝහ ඇලුමිනියම්, බත් ඔතන ලද පොලිතීන් කොළ, තැඹිලි කෝම්බ, කඩදාසි හා කාඩ්බෝඩ්, කිරිහට්ටි, අලිගැට පේර ඇට, අන්නාසි මොටෙයියන්, මස් මාළු කටු කැබලි, ශාක කඳන්, ආසාදිත වල් පැළෑටි, දිවුල් හෝ බෙලිකටු මෙම කොම්පෝස්ට් නිපදවන ‍බඳුනට දැමීම සුදුසු නැත. මේ පිළිබඳව වැඩි විස්තර කොළඹ 7 කේම්බ්‍රිජ් පෙදෙසේ පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි ය.

මේ අනුව ගෘහස්ථව ඉතිරිවන දිරන අපද්‍රව්‍ය කොම්පෝස්ට් සඳහා භාවිත කිරීම කුණු කසළ ගැටලුවට හොඳම විසඳුමකි. ඊට අමතරව ඒ මඟින් පරිසර දූෂණය අවම කර ගත හැකි ය. ඔ‍ෙබ් ගෙවත්තට අවශ්‍ය කාබනික පොහොර ඔබේ ගෙවත්තෙන් ම ලබාගත හැකි ය‍. ඊට අමතරව වැඩිමනත් කොම්පෝස්ට් පොහොර අලෙවි කර ආදායමක් ද උපයා ගැනීමට පුළුවන...”

ඊට අමතරව රටේ පළාත් පාලන ආයතනවලට කණුකසළ බාර දෙන්නේ නම් ඒවා වෙන් කර බාරදීම ද ඒ ආයතනවල ප්‍රතිචක්‍රීකරණ කටයුතුවලට ඉතා පහසු කටයුත්තකි. එවිට ඒ ආයතනවලට ඒවා මඟින් කොම්පෝස්ට් සෑදීමට පුළුවන. ඒවා අලෙවි කිරීමෙන් මුදල් ඉපයීමට ද පුළුවන. අපේ රටේ පරිසර විද්‍යාඥයන් පවසන පරිදි අපේ රටේ පළාත් පාලන ආයතනවල එකතු වන කුණු කසළ තොගවලින් 65% ක් ම කොම්පෝස්ට් නිපදවීමට යොදාගත හැකි ය. ඊට සුදුසු තාක්ෂණය අපේ රටේ නර්ඩ් ආයතනය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ආයතනවල තිබේ. නර්ඩ් ආයතනයේ සභාපති ඉංජිනේරු ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා පවසන්නේ ඒ තාක්ෂණය ඕනෑම අයකුට ලබාදීමට තමන් සූදානම් බවයි.

මේ සඳහා රටේ ජනතාවට කරදරයක් නැති ජනතා චර්යාවට ගැළපෙන අලුත් තාක්ෂණික ක්‍රමයක් රටට ලබන සති දෙක ඇතුළතදී රටට හඳුන්වා දෙන බව ද සභාපතිවරයා පවසයි.

මෙරට කසළ කළමනාකරණය පිළිබඳව දිගු කලක් පර්යේෂණ කර ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා පැවසුවේ අද අපේ මේ රටේ ඇති කසළ කළමනාකරණ හා කසළ තැන්පත් කරන තාක්ෂණය වෙනුවට කෙළින් ම කසළ පුච්චා විදුලි බලය නිපදවන තාක්ෂණය අප රටට හඳුන්වා දිය යුතු බවයි. මේවා දියුණු රටවල බහුලව පාච්චිචි කෙරේ.

ඒ පිළිබඳව මෙරට විද්‍යා තාක්ෂණ හා පරිසර අමාත්‍යාංශ එක්ව නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය බව ද ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න පෙන්වා දෙයි.

මීට අමතරව රජයේ ආයතන හා කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ ඉවත ලන ආහාර ද්‍රව්‍ය පොලිතීන් නැතිව ඉවත් කරන්නේ නම් ඒවා කෙළින් ම ඌරු කොටුවලට දැමීමට පුළුවන. ඒ අනුව ඒ ආයතනවල පදනම තම ඉඳුල් අපද්‍රව්‍ය ඉවත දැමීමට හොඳ දැනුම්වත් කිරීමක් කළ යුතු ය. ප්ලාස්ටික් පොලිතින් හා කඩදාසි හා ඉඳුල් දැමීමට වෙන වෙනම භාජන තැබීම අදාළ ආයතනය සතු යුතුකමකි‍.

කොළඹ නගර සභාවේ කොමසාරිස් අනුර මහතා පවසන පරිදි නිවාඩු දිනවල දී කොළඹ එකතු වෙන කුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 700 කට අඩුය. නමුත් සතියේ දිනවල එය මෙට්‍රික් ‍ටොන් 1200 දක්වා ඉහළ යන අවස්ථා ඇති බව ද අනුර මහතා පෙන්වා දෙයි.

මේ අනුව කොළඹට දිනකට පිටතින් එන පුද්ගලයන් මඟින් විශාල කුණු කසළ ප්‍රමාණයක් කොළඹ නගරයට වැටෙන බව පැහැදිලි ය. මේ අනුව කොළඹ කුණු අපට එපා යැයි පිටස්තර දේශපාලනඥයන් හා පරිසරවේදීන් යැයි කියන අය කෑ ගැසීම සාධාරණ නොවන බව විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

කෙසේ වුවත් ඉහත දැක්වූ කරුණු අනුව නිවාස හා තම සේවා ආයතනය මඟින් ජනනය වන කුණු කසළ අවම කර ගත්තොත් මින් පසු මීතොටමුල්ල වැනි කුණු කඳු බිහිවීම වැළැක්වීමට හැකි වනු ඇති බව විද්වත් අදහස වී තිබේ. ඒ සඳහා රාජ්‍ය නිලධාරී හා බලධාරි සැමගේ සහායත් විශේෂයෙන් ශ්‍රී ලාංකික පරිසර හිතකාමී සැමගේ සහායත් මේ කටයුත්ත මෙහෙයවන අයට ලැබිය යුතු ය.

නිහාල් පී. අබේසිංහ

 

Comments