බල තණ්හාව නිසා පෙනෙන මනෝ විකාර | සිළුමිණ

බල තණ්හාව නිසා පෙනෙන මනෝ විකාර

 මීතොටමුල්ල කුණු කන්ද මිනිස් ජීවිත ගණනාවක් බිලි ගනිමින් නාය යෑමේ සිදු වීම පණ අදිමින් සිටි දේශපාලන බලවේග ආශිර්වාදයක් කර ගනිමින් සිටිනු පෙනේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ප්‍රාදේශීය ජන හමු ඔස්සේ මහජනයා කුපිත කරවීමේ යෙදී සිටී.

දොම්පේ රැස්වීමක

දොම්පෙ ප්‍රදේශයේ රැස්වීමකට සහභාගි වූ ඔහු කුණු ප්‍රශ්නය වත්මන් ආණ්ඩුවේ ප්‍රශ්නයක් බවට පත් කළේ ය. ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සමරු තිළිණ පිරිනැමුවේ ය.

පක්ෂයේ නායකයා සිටියදී පරාජිතයා අතින් සමරු තිළිණ පිරිනමනු ලැබීම හාස්‍යජනක ය. තම පක්ෂයේ නායකයා යැයි තවමත් ඔහු සිතයි. රාජපක්ෂ ගැති මාධ්‍ය ලවා කුණු ප්‍රශ්නය අඩයාළමක් කර ගනු පෙනේ. එම මාධ්‍යයට අනුව ගෝඨාභය රාජපක්ෂ සිටියා නම් කුණු ප්‍රශ්නය විසඳා අවසන් ය. කුණු ප්‍රශ්නයේ කොටස්කරුවන් ගැලවුම්කරුවන් ලෙස දැකීම මාධ්‍යයේ ප්‍රාතිහාර්යයකි.

බ්‍රිතාන්‍ය අගමැති

බලය අත්හැරීම දුකක් වන්නේ බල තණ්හාවෙන් අන්ධ වූ අයට ය. යුරෝපා සංගමයෙන් මිදී කටයුතු කිරීම හානිකර වේ යැයි මතයක පසු වූ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඊට එරෙහි මතය පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය කළ පසු සම්ප්‍රදායන්ට ගරු කරමින් අගමැති කමෙන් සමුගත්තේ ය. ඔහු නිල නිවස හැර දමා යද්දී දරු පවුල සමඟ යන්නට ආණ්ඩුවෙන් හෙලිකොප්ටර ඉල්ලුවේ නැත. එමෙන් ම නව නායකයා අමාරුවේ දැමීම සඳහා ගම් රටවල් හා ආගමික ස්ථාන දෙවනත් කරමින් ඇවිදින්නට පටන් ගත්තේ ද නැත. ඔහු තම දරු පවුල සමඟ සැහැල්ලුවෙන් ජීවත් වෙයි.

ඇමරිකානු හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් සමඟ එක්වෙමින් රසායනික අවි පිළිබඳ බොරු චෝදනා නගා කුවේට් රට ආක්‍රමණය කිරීමට මුල් වූ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මෑත දී ලංකාවට පැමිණියේ ය. කුවේටය ආක්‍රමණය කිරීමේ වැරදි තීන්දුව ගැන තමා කනගාටු වන බව ඔහු කීවේ ය.

බලයෙන් මත් වී කළ අපරාධ පිළිබඳ පසු ව හෝ පසුතැවිලි වීමේ යහ ගුණය හෙවත් හෘද සාක්ෂිය ඔහුට විය.

එහෙත් අපේ හිටපු ජනාධිපතිට එබඳු පසුතැවීමක් නොමැති. අඳුරු, ගුප්ත, බිහිසුණු අතීතය සඟවාගෙන ජනතාව කුපිත කරවන්නේ එනිසා ය.

“බලය මිනිසා දූෂණය කරයි. පරම බලය අසීමිත ලෙස දූෂණය කරයි” මෙවැනි අගනා වැකි සිහිපත් වන්නේ එවිට ය.

ජනතා ඡන්දයෙන් ගෙදර යැවූ මහින්ද රාජපක්ෂ තවමත් ප්‍රසිද්ධියේ කියන්නේ කුමන්ත්‍රණයකින් තමා පැරද වූ බවත් ළඟදීම බලය අතට ගන්නා බවත් ය. එහි අන්‍යාලපයෙන් කියැවෙන්නේ තමා පරාජයට පත් කිරීමට මුල් වූ ඡන්ද දායකයන් කුමන්ත්‍රණකාරීන් බව ය. ජනාධිපති විශ්‍රාම වැටුප සහ මන්ත්‍රිධුර වැටුප යන දෙක ම ලබා ගන්නා ඔහුට යළි බලය ලබා ගැනීමේ ක්‍රමයක් ව්‍යවස්ථාවෙහි නොමැත. ඊළඟ ඡන්දයකින් ද මන්ත්‍රීවරයකු ලෙස පත්වීමේ හැකියාව පමණක් ඇත. එසේ නම් ඔහු මේ කියන්නේ වෙනත් ක්‍රමන්ත්‍රණයක් පිළිබඳ ව ය. එබඳු යටිකූට්ටු වැඩවලට තමා රුසියෙකු බව ඔහු සිතනවා ඇත.

ජනමතය

‍එහෙත් ඒ සියලු යටිකූට්ටු වැඩවලට වඩා ජනමතය ප්‍රබල බව ඔහුට වැටහී නැත. රැස්වීම්වලට සෙනඟ ටිකක් ආ පමණින් ස්වයංමෝහනයට පත් වූ විට මෙ බඳු මනෝවිකාර සිතට නැගේ. අනේ කාලේ! වනේ වාසේ!!

 

Comments