
යහපාලන ආණ්ඩුව බිහි කිරීමට මූලිකව කටයුතු කළ කෙනකු විදිහට ආණ්ඩුවේ අවුරුදු දෙකකට වැඩි කාලය ගැන ඔබේ අදහස මොන වගේද?
ආණ්ඩුව බිහි කළේ යහපාලනය ඇති කිරිමේ අරමුණින්. එදා තිබුණේ ඉතාමත් අත්තනෝමතික පාලන ක්‍රමයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළේ තමන්ගේ පක්ෂයේ අය පව නොතකමින් ඉතාමත් වැරැදි ක්‍රමයකට. අධිකරණය පවා පාලනය කිරීමට ඔහු වැඩකළා නිදහසේ අදහස් පළ කරන්න බැරි තත්ත්වයකුයි තිබුණේ. මාධ්‍යවේදීන් සමාජ ක්‍රියාකාරීන් ලොකු බයකිනුයි සිටියේ. මේ සියල්ලට එරෙහිව තමයි අපි දේශපාලනය කළේ. එදා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා මූලික වෙලා රාජපක්ෂ රෙජිමය ගෙදර නොයවන්න අද වන විට අපේ රට නීතියක් නැති 'සිම්බාබ්වේ දේශයක්' වෙනවා. අපි තමයි මේ අගාධයට යන ගමන නැවැත්වූයේ. ඒ නිසා අපට සතුටු වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය මෙරට ඇති කළා කියලා. එදා මහින්දට එරෙහිව ගොඩක් අය බය වුණා කතා කරන්න. එදා අපි නොබියව මහින්දට අභියෝග කළා. අපි කැමැතියි තව දුරටත් රටට වැඩ කරන්න ඒ සඳහා මීට වඩා අවස්ථාවක් ලැබෙනවා නම් තවත් නිර්මණශීලිව වැඩ කරන්න අපි කැමැතියි.
ඔබ කථා කරන්නේ කලකිරීමකින්ද?
අනේ නැහැ. කලකිරෙන්නේ මොකටද? අදත් අපට ලොකු කාර්යභාරයක් පැවරිලා තියෙනවා මම කියන්නේ මෙයටත් වඩා වැඩි ප්‍රමාණයක් රට වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් මම කරන්න කැමැතියි කියන දේයි.
විශාල අරගලයකින් බිහි කළ යහපාලන ආණ්ඩුව තව වෙසක් පෝය දෙකකින් පෙරළනවා කියලා මහින්ද රාජපක්ෂ මහතා කියනවා. මේක අභියෝගයක් නේද?
මහින්ද මහත්තයට දැන් විවේකයෙන් ඉන්න කොට ලස්සන හීන පේනවා අපි එතුමා දකින හීනවලට බාධා කරන්න හොඳ නැහැ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තියෙද්දි විධායක ජනාධිපති කම තියෙද්දී මහින්ද මහත්තයට බලය ආරක්ෂා කර ගන්න බැරි වුණා. එදා සිටිය සුපිරි මහින්ද එක රැයෙන් පැරදිලා මැදමූලන වලව්වේ ජනේලෙකට නැග්ගා අද ඉන්නේ නිකම්ම නිකම් මන්ත්‍රී මහින්ද ඔහුට අායේ නැඟී සිටින්න බැහැ. දිනෙන් දින පිරිහෙනවා මිසක් මහින්ද මහත්තයට නැඟිටින්න බැහැ.ඒත් අද සමහරු මහින්දගේ අතේ එල්ලිලා තමන් ආරක්ෂා වෙන්න හදනවා. වෙනත් විදිහකට කියනවා නම් මහින්ද මහත්තයව ලස්සනට පාවිච්චි කරනවා. ඇත්තෙන්ම මහින්ද මහත්තයා ගැන අපිට දුකක් සහ කනගාටුවක් ඇති වෙන්නේ. අපි මහින්ද මහත්තයාට අනුකම්පා කළ යුතුයි. දිනෙන් දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා වටා ශ්‍රීලනිප පාක්ෂිකයෝ ගොණු වෙනවා ඇත්තෙන්ම අද ශ්‍රීලනිපයේ ඉදිරි පෙළ මැද පෙළ බහුතරය ජනාධිපතිතුමා එක්කයි ඉන්නේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කර නව තනතුරු ඇති කිරීමේ වැඩපිළිවෙළක් ගැන කතා වෙනවා මෙය පක්ෂයේ ඉදිරි ගමනට ශක්තියක් වේවිද?
එජාපය කියන්නේ ඉතාමත් ශක්තිමත් පක්ෂයක් සිංහල දෙමළ මුස්ලිම් ජන සහාය එක ලෙස හිමිවෙලා තියෙන්නේ අපේ පක්ෂයට. නව තනතුරු තාම පත් කර නැහැ ඒ නිසා අපට ඒ ගැන නිශ්චිත දෙයක් කියන්න බැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ එජාපය තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියටම ගෙන යෑම. නායකතුමාගේ ශක්තිය කැප වීම සහ අපේ ක්‍රියාකාරී සහාය ඒ සඳහා ලැබී තිබෙනවා.
යහපාලන ආණ්ඩුව බිහි වෙන්නේ වංචා දූෂණ මැඩලන බවට වූ මූලික තේමාවකින් ඒත් අද වෙනකම් ඇල්ලූ හොරකු නැති බවටයි චෝදනා කෙරෙන්නේ?
අපි වගකිව යුතු ආණ්ඩුවක් මිසක් පාතාල කල්ලියක් නොවෙයි. ඒ නිසා නිසි පරීක්ෂණයක් කර තහවුරු කළ හැකි චෝදනා පමණයි එල්ල කරන්නේ දැනටත් පරීක්ෂණ රැසක් ක්‍රියාත්මක වෙනවා. දැනටමත් හතළිහකට වැඩි පරීක්ෂණ කෙරෙනවා. සමහරකට නඩු දමා තිබෙනවා ඒවායේ තීන්දු ලැබේවී ඉතිරි ඒවාවල පරීක්ෂණ අවසන් වූ වහාම නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. ඒ හින්දා ආණ්ඩුව හොරු අල්ලන්නේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක වැරැදියි.
ඒත් ආණ්ඩුවට නැඟෙන චෝදනාවක් වන්නේ පසුගිය ආණ්ඩුවේ සිටි සුපිරි පිරිස ආරක්ෂා කරන බවයි.මේ කතාව ඇත්තක්ද?
ආණ්ඩුවේ පොදු ස්ථාවරය තමයි හොරුන් දූෂිතයන් පිටු දැකීම අපි ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැප වෙලා ඉන්නවා. සමහර විට එක්කෙනෙක් දෙන්නෙක් හුදෙකලා උත්සාහයක නියැලෙන්න පුළුවන්. ඒ වගේ දේවල් පරාජය කිරීමට අපි කටයුතු කරනවා.
අලුත් ව්‍යවස්ථාවක් ඇති කිරීම හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන දැන් කතාබහ කෙරෙනවා ඔබ හිතන්නේ කොහොමද මේ සංශෝධන ගැන?
අනිවාර්යයෙන්ම ව්‍යවස්ථා සංශෝධනය වෙන්න ඕනෑ. පසුගිය ජනාධිපතිවරණයෙදි ජනතාව ව්‍යවස්ථා සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ජනවරමක් අපිට දුන්නා. මහ මැතිවරණයේදී නැවත එය තහවුරු වුණා. එනිසා ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. දැන් තියෙන්නේ දහනව වතාවක් සංශෝධනය වූ පැලැස්තර ඇලවූ ව්‍යවස්ථාවක්. මැතිවරණ ක්‍රමය ගැනත් කතිකාවක් ඇති වෙලා තිබෙනවා. නුදුරේදීම මෙම සංශෝධන තව දුරටත් දැන ගන්න පුළුවන් වේවි.
ඒත් ඒකාබද්ධ විපක්ෂය කියන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව උත්සාහ කරන බවයි?
අද මේ අයට තේමා පාඨ නැහැ; දේශපාලනය කරන්න විදිහක් නැහැ. ඒ නිසා මොකක් හරි දෙයක් අල්ලාගෙන සමාජය බය කරන්න උත්සාහ කරනවා. මේක සම්පූර්ණයෙන්ම බංකොලොත් වූ දේශපාලන ව්‍යාපාරයක උත්සාහයක් පමණයි. අද ජනතාව රවටන්න බැහැ. ඇත්ත-නැත්ත ගැන හොඳ අවබෝධයක් දැක්මක් ජනතාවට තියෙනවා.
පෞද්ගලික අධ්‍යාපනය සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන ගැන ආණ්ඩුවේ මතය පැහැදිලි කළ හැකිද...?
සයිටම් වගේ ආයතන තවත් ඇති විය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ. අපිට ලෝකය එක්ක ඉස්සරහට යන්න ඕනෑ. අද ලෝකයේ හැම තැනම පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් වෙලා තියෙන්නේ ඒනිසා පුද්ගලික විශ්වවිද්‍යාල පෞද්ගලික අධ්‍යාපන ආයතන ගැන බොරු බියක් ඇති කරගත යුතු නැහැ. ඒත් මම කියන්නේ නැහැ සයිටම් ආයතනය ඇති කළ ආකාරය හරි කියලා; එහි ක්‍රියාත්මක වෙන ක්‍රමය හරි කියලා. මෙහි ඇති අඩුපාඩු නිවැරැදි විය යුතුයි. මේ අඩුපාඩු හදාගන්න ඕනෑ.වැරැද්ද තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයේ නොවෙයි එහි ඇති ප්‍රමිතියේයි. ඒ නිසා ප්‍රමිතිය ඇති කර පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ ලබා දීම කාලීන දෙයක් විදිහටයි මම හිතන්නේ. ඒත් අද සමහර කණ්ඩායම් පෞද්ගලික අධ්‍යාපනය නුසුදුසුම දෙයක් විදිහට මතයක් ඇති කරන්න උත්සාහ කරනවා. ඒ මතය වැරැදියි. මේ අයට වැදගත් වෙලා තියෙන්නේ තමන්ගේ දේශපාලනය ආරක්ෂා කරගැනීමයි. දැන් බලන්න: මහින්ද මහත්තයා. ඔහු ජනාධිපති වෙලා ඉද්දි තමයි සයිටම් ඇති කළේ. ඒ සඳහා ඔහු පෙනී සිටියා. අනුග්‍රහය දැක්වූවා. එයාම අද කියනවා සයිටම් එපා කියලා. මේක ලොකු විහිළුවක් විදිහටයි ජනාතව දකින්නේ!
ආණ්ඩුව ජාතික සම්පත් විකුණන බවට චෝදනා එල්ල වෙනවා මේ ගැන ඔබේ අදහස මොකක්ද?
ආණ්ඩුව විකුණපු එක ජාතික සම්පතක් පෙන්වන්න. කිසිවක් ආණ්ඩුව විකුණලා නැහැ. අතිවිශාල ණය මුදලක් අරගෙන තමයි මාගම්පුර වරාය හැදුවේ. ඒ ණය බර අපට දරාගන්න බැහැ. කිසිම ආදායමක් එන්නේ නැති මේ නිසරු ව්‍යාපෘතිය සරු ව්‍යාපෘතියක් බවට පත් කළ යුතුයි. ඒ සඳහා තමයි චීන සමාගමක් සමඟ එක් වෙලා වැඩ කරන්න සැලසුම් කර තිබෙන්නේ. මේක විකිණීමක් නොවෙයි ණය උගුලෙන් රට ගලවා ගැනීමක්. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී කොළඹ වරායේ ජැටි කිහිපයක් වීනයට විකිණුවා ඒත් කවුරුත් මේ ගැන මීක් සද්දයක් දැම්මේ නැහැ. තවත් රාජ්‍ය සම්පත් රැසක් එදා චීනයට විකිණුවා. එදා තමයි මහින්ද මහත්තයා රට විකුණන්න වැඩ කළේ. එහෙම කළ අය අද කියනවා අපි රට විකුණනවා කියලා. ආණ්ඩුව කවදාවත් රටට විරුද්ධ තීරණයක් ගන්නේ නැහැ ඒක සහතිකයි.
වර්තමාන ආණ්ඩුව බලයට පැමිණි පසු බොහෝ අය විශ්වාස කළා ආයෝජකයන් පැමිණීම වැඩි වේවි කියලා ඒත් එහෙම වුණේ නැහැ?
කවුද එහෙම කියන්නේ? දැන් රටට අලුතින් ආයෝජන රැසක් පැමිණෙමින් තියෙනවා. නව කර්මාන්ත පුර වෙළෙඳ කලාප සඳහා යළිත් අවස්ථාව ලැබෙමින් තිබෙනවා. මහින්ද ආණ්ඩුව කාලයේදී ආයෝජකයෝ ආවේ නැහැ ඉන්න අයත් රට දාලා ගියා. ජීඑස්පී + සහනය අහිමි වුණා මේ වගේ යුගයක් පසු කර මින් තමා අපි ඉස්සරහට ආවේ. රාජ්‍ය තාන්ත්‍රිකව විශාල හානියක් වුණා අපේ රට ලෝකයා දැක්කේ නීතියක් නැති ඒකාධිපති රටක් විදිහටයි. ඒ තත්ත්වය වෙනස් කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නිසයි. දැන් තමයි රට ගැන අන්තර්ජාතිකව ප්‍රසාදය ඇති වෙමින් ආයෝජකයන්ගේ ආකර්ෂණය ඇති වෙමින් තිබෙන්නේ. මම විශ්වාස කරනවා ඉදිරි අවුරුදු දෙක තුළ අපට විදෙස් ආයෝජන මගින් විශාල ශක්තියක් ලබා ගැනීමට පුළුවන් වේවි කියලා.
එදා අපි රටට විදේශිකයන් ගෙන්න ගන්න ආයෝජකයන් ආකර්ෂණය කර ගන්න විශාල මුදලක් වියදම් කළා. ඒත් වැඩක් වුණේ නැහැ. මුදල් නාස්තියක් පමණයි වුණේ. අපේ ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා රාජ්‍යතාන්ත්‍රික මැදහත් වීම් මඟින් රටට අන්තර්ජාතික අවධානය හා ප්‍රසාදය දිනා ගන්න. එදා ලාංකිකයෙක් කීවාම තිබූ පිළිගැනීමට වඩා වැඩි පිළිගැනීමක් දැන් ලැබිලා තියෙනවා. මම ඒක පෞද්ගලිකවත් දන්නවා. මට මෙවර හාවඩ් විශ්වවිද්‍යාලයේ සති දෙකක ශිෂ්‍යත්වයකට අවස්ථාව ලැබිලා තියෙනවා පසුගිය අවුරුද්දෙත් මට මේ අවස්ථාව ලැබුණා. ඇත්තෙන්ම මේක මට ලැබුණ අවස්ථාවක් විදිහට නොවෙයි මම සිතන්නේ රටට ලැබුණ අවස්ථාවක් විදිහටයි. රටට ඇති පිළිගැනීම අනුව තමයි මහජන නියෝජිතයන්ට මේ වගේ අවස්ථා ලැබෙන්නේ. මහින්දගේ කාලයේදී සල්ලි ගෙවලවත් මේ වගේ අවස්ථා ලබාගන්න බැරි වුණා.
ජාතික ආණ්ඩුවක් විදිහට අවුරුදු දෙකක් රට ඉස්සරහට ගිහින් තියෙනවා මේ ගමන සාර්ථකයිද?
හොඳ අත්හදා බැලීමක් විදිහටයි මම මේක දකින්නේ රටට ලොකු වාසි ප්‍රමාණයක් ලැබුණා වගේම අන්තර්ජාතිකව තිබූ මහා පීඩනයෙන් ගැලවෙන්න රටට අවස්ථාව ලැබුණේ ජාතික ආණ්ඩුව නිසයි. අපට ලෝකය ඉස්සරහට ගිහින් කියන්න පුළුවන් කම ලැබුණා රටේ ප්‍රධාන පක්ෂ දෙකම ඉන්නේ එක මතයක කියලා. ඉස්සර එහෙම නොවෙයිනෙ ප්‍රධාන පක්ෂ දෙක දෙපැත්තට ඇද්දා රට එක තැන හිර වුණා. ඒත් මේ කාර්යභාරයට අකුල් හෙළන පිරිසකුත් ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂය නිතරම උත්සාහ කරන්නේ ජාතික ආණ්ඩුවේ ගමන වළක්වන්න. මේ අයට රටක් ඕනෑ නැහැ බලය පමණයි අවශ්‍ය කරන්නේ.