![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/04/07/tl-2.jpg?itok=QmmFc2AG)
“පෝය දවසක සර්පයෙක් කෑවොත් කෑව ම තමයි”
අපේ නිමලෙ අහස දිහා බලමින් කීවා. කට්ට කළුවරේ හඳ පළුවක් එබිලා. පෝය හෙට ලු.
“පෝය දවස කියන්නේ සර්පයෝ මතක් වෙන දවස් ද ද?” මං ඇහුවා.
“අපොයි නෑ බණ්ඩයියෙ. තව කොච්චර දේවල් නං මතක් වෙනවද?” නිමලෙ කියපි.
ඔයිම්මෙයිං අපි දෙන්නගෙ කතාබතාව හඳපලුව යටින් ඇදිල ගියා.
“පෝය දවසෙ මූදෙ රැල්ල වෙනදට වඩා සැරයි”
“වෙන?”
“පෝය දවසෙ ගෙවල්ඔල පිරිමි නෑ. තැන් තැන්වල. ගෑනු නෑ. පන්සල්වල. ළමයි නෑ. ටියුසන්ඔල.”
“එතකොට ගෙදර ඉන්නෙ කවුද?”
“ගෙදර බල්ලෙක් හිටියොත්. ඌ උඩුබුර බුරා ඉන්නවා.”
“නොහිටියොත්?”
“නොහිටියොත් පිට බල්ලො ඇවිත් කරෝල මුට්ටි පෙරළලා - පොල් බෑ උස්සං ගිහිං කුස්සිය පිස්සං කොටුවක් කරනවා.”
“වෙන?”
“පෝය දා උදේ ඉඳලා හැන්දෑ වෙනකම් ම රේඩියෝ චැනල්ඔල නැකැත්, බණ පිරිත් , බෝදි පූජා, යන්තර මන්තර කතන්දර දානවා.”
“ඊට පස්සේ”
“රෑ වුණාම එච්චර වෙලා හිරකරගෙන හිටපු නහුතයක් දේවල් දාන්ඩ පටන් ගන්නවා. ඉස්මුරුත්තාවෙ යන තුරු.”
“වෙන?”
“පෝය කිට්ටු වෙනකොට සමහර ඇත්තන්ගේ කියුම් කෙරුං, ගමන් බිමං කතා ලතා අමුතු වෙන්ඩ පටං ගන්නවා.”
“නිමෙල කියන්නෙ ඔය මොළේ කොලොප්පං වෙන උදවිය ගැන ද?”
“ඔව් වොව්”
“ඉතිං කියහංකො”
“එක්කෙනෙකුට හිතෙනවා තව හඳවල් දෙකක් දැක්කම බලය තමන්ගේ අතේ කියලා.”
“එයා මාළු අල්ලන මිනිහෙක් ද?”
“ඇයි එහෙම හිතුවෙ?”
“බලය - ඒ කියන්නෙ බල මාළු”
“නෑ නෑ - බලය කියන්නෙ රටේ පාලන බලය.”
“ආහ්! එහෙම ද? දැං මට තේරුණා. මේ දවස්සොල පන්සල් දේසනේ ඒකනේ”
“දැං තේරුණා නේද පෝදා හඳ හින්දා වෙන දේවල්”
“තේරුණා තේරුණා - දැං ඔය කියන්නේ පෝදා හඳ නරකයි කියලද?”
“අපොයි නෑ. හොඳ අයට හොඳටම හොඳයි. නරක අයට නරකයි.”
කතා බතා අහවර උනා. හඳ පළුව තිරිහන් වෙන්ඩ පටං අරං. නිමලෙටයි මටයි පෝදා හඳෙං හානියක් නෑ. ලස්සනම ලස්සනයි. ඔහොම කීවට මේ වෙන දේවල් හැටියට අපටත් මොනව හිතෙයි ද මන්දා.