![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/04/01/paththara-rasakatha_0.jpg?itok=gugVEBqZ)
අප්‍රේල් 1 වැනිදා මෝඩයාගේ දවස කියන්නෝ එමට ය. එෙස් මෙසේ කෙසේ වෙතත් අප්‍රේල් 1 වැනිදා පළවූ ජාතික පුවත්පත්වලින් දිරච්ච ලණු දෙකක් තුනක් දුන්නත් කාගෙ කාගෙත් ඇස් රතුවී මැරයන් ගෙදරට එවා බඩු මුට්ටු පොඩි කරුවේ නැත. කෙට් පිස්තෝල එබුවෙත් නැත. පිහියෙන් ඇන්නේත් නැත. සුදු වෑන් ආවේත් නැත. රජ ගෙදරට කැඳවා බිත්තර ආප්ප කන්න දුන්නේත් නැත. 1 වැනිදාවකට හරියටම ‘සෙට්’ වූ ඉරිදාවක පළමු සති අන්ත පුවත් පතක ‘කිං කොං කොළඹට පනී’ යනුවෙන් යෝධ සිරස්තලයක් යටතේ වූ පුවතක් නිසා කොළඹ පමණක් නොව මුළු රටම භීතියෙන් ඇලළී ගියා පමණක් නොව හමුදාව ද සීරුවෙන් තැබිණි. කර්තෘ මණ්ඩලයේ කළු - නිල් - කොළ - රතු පැහැති දුරකථන සියල්ලම එක දිගට නාද විය.
“අනේ... ඒ... ගෝරිල්ලා වරායෙන් එළියට ආවොත් කොළඹ කොටුවේ බිල්ඩින් කුඩු පට්ටම් කරයි නේද? කාර් බස් එහෙම උස්සලා පොළොවේ ගහයි නේද? ඉතින් ඇයි පොලිසිය දාලා වතුර හරි කඳුළු ගෑස් හරි ගස්සවන්න බැරි ද?
පණ බයේ ගැහි ගැහී උණ විකාරයෙන් දෙඩවූ වනාතෙ පාඨකයකුට එදින 1 වැනිදා බව මතක් කරදී මෙය විහිළුවක් බව කී විට ජීවිතේට අහපු නැති කුණු කථා අහන්න වුණෙත් කොණ්ඩේ පොකුටු කෙසඟයාටමය. තවත් වසරක එළඹුණු අප්‍රේල් 1 වැනිදාවක ජනප්‍රිය නිළියකගේ අඩ නිරුවත් පින්තූරයක් දේදුනු පාටින් පළ කළ පුවත්පතක් පුළුවන් නම් හංගපු මැණික හොයාගෙන කර්තෘ මණ්ඩලයට දුරකථනයෙන් අමතන ලෙස පාඨකයන්ට ඇරියුම් කළ විට බමන මතින් මන්මත් වූ සමහරුන් මැණික සඟවා ගෙන ඇත්තේ අසවල් අසවල් තැන්වල යැයි විවිධ මත පළ කළේ එදින අප්‍රේල් 1 වැනිදාවක් බව මතකයෙන් ගිලිහී යමින් ඇත්තටම ඇය අඩ නිරුවතින් සිටියේ මැණිකක් සඟවා ගෙන ඇතැයි සිතාගෙන වෙන්නට ඇත. කෝටියක් වටිනා ඒ සුන්දර පින්තූරය ගෙවල්වල බිත්තියේ එල්ලා තැබීමට සුචරිතවාදී සෙනෙහෙබර අව්‍යාජ මහත්තුරු එක පසින් කැමැති වුණත් ‘මට වඩා ලස්සන වෙනින් කවුරුවත් පිටසක්වලත් නෑ’ කියූ සුන්දර බිරින්දෑවරුන් ‘උන්නත් දාහයි මළත් දාහයි’ කියමින් කෙහෙවලු පටලවා ගන්නට නුවර පාරට බැස්ස බවත් කෙසඟයාටත් කනින් කොනින් ආරංචි වුණේ කොලෝනියල් අවන්හලේදී ය. (දඩාස් එක!)
දැන් කාලේ නම් පත්තරවලින් එහෙම කෝචොක් කරන්නට කිසිසේත් ඕනෑ නොවන්නේ දිරච්ච ලණු දෙන දේශපාලනඥයන් ජනතාව ගොනාට අන්දන නිසා ය. රටේ දැවෙන ප්‍රශ්න පසෙකලා මැති සබයේදීත් පළාත් සභාවලත් කුණු කථා ඇදගෙන ගුටි කෙළ ගන්නා පුවත් වලින් පත්තර පිටු පුරවා මිත්‍යාවෙන් පාඨකයන් නොමඟ යවා මිනී මැරුම් නඩුවල සැකකරුවන් ගැන පොලිසිය විටින් විට ගොතන සුරංගනා බොළඳ කථා පළ කරන්නට තදියම් වීමෙන් අහිංසකයන් මිනීමරුවන් කරන්නේ පත්තරවල මුල් පිටුවලින් ම නිසා ය. ඒ කාලේ පත්තර සහ මේ කාලේ පත්තරවල වෙනස මහ පාරේ යන අපට ඇහෙන්නේ එලෙස ය.
නිල ලාංඡන ප්රදානය අද
කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථ සිරි පඤ්ඤාතිස්ස ධර්ම විද්‍යාලයේ 2017 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන ප්රදානය අද (02) ඉරුදින පෙ.ව. 10.00 ට සිදු කෙරේ.
ඒ සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මියුරු භාෂිත ලියනගේ මහතා සහ අනෝමා ශ්‍යාමලී අබේරත්න, පී.එස්.පී.එස්. ද සේරම්, ප්‍රියන්ත සමරවීර, අනිල් ගීතලාල් අබේගුණවර්ධන, ආර්.එච්. ආනන්ද යන විදුහල්පතිවරුන් සහභාගිවීමට නියමිතය.
ජයවිලාල් විලේගොඩ ආධුනික සිනමා විචාර තරගය
සිග්නිස් (SIGNIS) ශ්‍රී ලංකා ආයතනය සංවිධාන කරන යවිලාල් විලේගොඩ ආධුනික සිනමා විචාර තරගයේ මෙවර මාතෘකාව - “දේශජ සිනමා ආත්මය, ස්වකීය නිර්මාණ පෙළහරින් විශ්ව තලයට ඔසවාලු ලොව වෘද්ධතම අසහාය සිනමා ප්‍රාඥයා - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්” යන්නයි.
වචන 3000 කට සීමා වූ සිනමා විචාර අගෝස්තු 30 වැනි දිනට පෙර පහත සඳහන් ලිපිනයට තැපැල් මඟින් හෝ කාර්යාලයට පැමිණ බාරදිය හැකි ය.
වැඩි විස්තර දුරකථන අංක 0112693425/0718069085 ඇමතීමෙන් හෝ කාර්යාලයට (19, බැල්කම් පෙදෙස, බොරැල්ල, කොළඹ 08) පැමිණීමෙන් ලබාගත හැකි ය.
මහනුවර කටුගේ යළි විවෘතයි
මෙරට ඇති පැරණි කෞතුකාගාර අතරින් මහනුවර කෞතුකාගාරයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. 1942 දී ස්ථාපිත කරන ලද මේ කෞතුකාගාරය මහනුවර යුගයට අයත් පල්ලේවාහල නමින් හැඳින්වෙන ගොඩනැඟිල්ලක පිහිටුවා ඇත. රජුගේ අන්තඃපුර මාලිගය ලෙස සැලකෙන ගොඩනැඟිල්ල උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් අනතුරුව ඔවුන්ගේ විවිධ කටයුතු සඳහා යොදාගෙන ඇත. මේ ඓතිහාසික ගොඩනැඟිල්ල එදා මෙදාතුර විශාලතම ප්රතිසංස්කරණයක් සිදු කිරීම ආරම්භකර ඇත්තේ 2015 වසරේදී ය. රුපියල් මිලියන 19ක් වැයකර පූර්ණ ප්රතිසංස්කරණයකින් පසුව යළි ජනතාව වෙත විවෘත කිරීම අප්‍රේල් 03 වැනිදා (හෙට) පෙරවරුවේ සිදු කෙෙර්. වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට නියමිත ය.
මහනුවර යුගයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මැනවින් පිළිබිඹු කෙරෙන මේ ගොඩනැඟිල්ල එකී වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලට කිසිදු හානියක් නොවන ලෙස ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත. මේ සංරක්ෂණමය අලුත්වැඩියා කටයුතු ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය විසින් සිදු කර ඇත.
රත්නසිරි පතිරණ