![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/04/07/tl-3.jpg?itok=cv9FWVvh)
“කිරි” ගැන ලියන්නට “තකතීරුවා” හිතාගෙන හුඟාක් දවස් ය.
ප්‍රමාද වුණේ “කිරි” ගැන ලියන්නට ඇත්තේ “එළකිරි” කථාවක් නොවන හන්දාය.
“කිරි, කිරි” කථාවකුත් නොවේ.
හිත “කීරි” ගැහෙන “කථාය”!
අද “කිරි” කියන වචනය ඇසූ කල මතක් වන්නේ “මවුකිරි” හෝ එළකිරි, එළු කිරි, ඔටු කිරි හෝ “රබර් කිරි” නොවේ.
“පිටි කිරි” ය.
පිටි කිරි දැන් “ලෝක පාලන දේවතාවක්” වගේ බලගතුය.
ඉස්සර ලෝක පාලන දෙවිවරුන්ගේ “පැලස්” තිබුණේ චාතුර් මහා රාජිකයේ ය.
ඒ ඉස්සර ය,
“ධෘතරාෂ්ට්‍ර, විරූඨක, විරූපාක්ෂ, වෛශ්‍රවන ලෝක පාලන දෙවිවරුන්ට දැන් “ඇඩ්‍රස් නැත”
ඒ වෙනුවට දැන්, අලුත් “දෙවිවරු” පත්ව සිටිති.
“කිරිපිටි සමාගම්” එකකි.
“තොටිල්ල පදවන අත ලොව පාලනය කළේ” ඉස්සරය,
දැන් “තොටිල්ල පදවන අත පාලනය කරන්නේ”
කිරි පිටි සමාගම්ය.
මේවා නැත්නම් සමහරුන්ට දවස පටන් ගන්නේ නැත.
උද්‍යෝගයක් නැත.
ක්‍රියාශීලී නැත.
කොටින් ම කිරිපිටි නැත්නම්, කිසිවක් සිදුනොවේ.
“කිරිපිටි” නැත්නම් “පිටිකිරි” ඒ තරම් බලවත් ය.
ඉර හඳ, අහස පොළොව ගහකොළ, ඇළදොළ මිනිසා සතා නිර්මාණය කළ ස්වභාව ධර්මය ඒ වාෙග් පැවැත්මට උවමනා කරන “සිස්ටම්” එක ද ලබා දුන්නා.
ඒ අනුව මෙලොවට බිහිවන බිලිඳුන්ට පැටිවියේදී උවමනා හෝ විනය ලබා ගැන්ම උදෙසා “මවට කිරි එරේ”.
වසු පැටවුනට තණ කොළ ආහාරයට ගැන්මට හැකිවන තෙක් මවු එලදෙනට කිරි එරේ.
අතරින් පතර පුංචි එහෙ මෙහෙවීම් වුණ ද ස්වභාව ධර්මයේ සිස්ටම් එක මේක.
ඇතැම් විට බිලිඳු කාලයේ මව මිය ගිය අවස්ථාවලදී තවත් මවකගේ කිරි පෙවූ අවස්ථා ද, “මදුකිරි” පෙවූ අවස්ථා ද අප අසා ඇත.
“අපි මදු කිරි බීල හැදුන එවුන් කියලද හිතන්නෙ?”
සමහරු අහන්නේ එනිසාය.
කොයික වෙතත්, ළමා අවදියේදි වුවමනා කෙරෙන පෝෂණය ඒ ඒ අවස්ථාවනට අනුව වෙනස් වෙමින් මවු කිරෙන් ලැබේ.
එය සැමදා එකම රසායන සංයුතියකින් සමන්විත නොවන බවත්, දරුවාගේ වර්ධනය සමඟ එහි සංයුතිය ද දිනෙන් දින වෙනස් වෙන බවත් විශේෂඥයෝ පිළිගනිති.
මිනිස් ප්‍රාණියෙකුට මෙලෙස මවු කිරෙන් පෝෂණය වුවමනා වන්නේ කෙටි කලකට පමණි.
ඉන් අනතුරුව හේ වෙනත් ආහාර මඟින් ස්වකීය පෝෂණය ලබා ගනී.
වසු පැටවුන්, එළු පැටවුන් ඇතුළු සියලු ම ක්ෂීරපායී සත්වයන් එලෙස “මවුකිරි” බොන්නේ ළමා කාලයේ පමණය.
එහෙත්, දියුණු යැයි කියන මිනිසා වසුපැටවාගේ, එළු පැටවාගේ ඔටු පැටවාගේ, කිරි ටික උදුරාගෙන පිටි බවට පත්කොට ජීවිත කාලය පුරාම “කිරි” බොන්නෙමු!.
වැදගත් ම කරුණු එය නොවේ.
ලොවේ ඉහළ ම “ස්වාධීන” පෝෂණ, විශේෂඥයන්, වෛද්‍යවරුන් ඉතාමත් පැහැදිලිව පවසන්නේ “කිරි පිටි පානය අනවශ්‍ය බවත්, එහි, වෙළඳ ප්‍රචාරන ව්‍යපාර මඟින් වර්ණනා කරන කිසිදු “පෝෂණයක්” නොමැති බවත්, ඒ වෙනුවට “බෝ නොවන රෝග” ගණනාවකට “ආරාධනා පත්‍ර දීමක්” බවත්ය.
කිරි පිටි තනන සමාගම්වල, කර්මාන්තශාලාවල මේවා හැදෙන ආකාරය ද අද ලොවට රහසක් නොවේ.
ඔවුහු පළමු කොටම “කිරෙහි” ඇති පෝෂණීය කොටස් නොහොත් “යොදය” වෙන් කර ගනිති.
ඒ වෙනත් නිෂ්පාදන ගණනාවක් සඳහාය.
ශේෂ වන පෝෂණීය නොවන, නැතිනම් “රොඩු” ටිකට “farm oil” නැතහොත් “ඌරුතෙල්” වල ඇතැම් කොටස සහ, තවත් රසායනික ද්‍රව්‍යයන් හා කෘත්‍රිම රස කාරක එක්කාසු කරන බවත්,
මෙලෙස එකතු කරන්නාවූ ද මිනිස් සිරුරට හිතකර නොවන බවත්, ඒවා නිසා, “රෝග ගණනාවක්” සඳහා මිනිස් සිරුර “භාජනයක්” වන බවත් අද ලෝකයට රහසක් නොවේ.
එහෙත්, ඒ වග දැන දැනමත් ඇතැම්හු “කිරිපිටි” බොති.
කොටින් ම දැන් එය “ඇබ්බැහියකි”. නැතුව ම බැරි දෙයකි.
එහෙත් විද්‍යාත්මකව ද පිළිගැනෙන සත්‍ය නම්, “කිරිපිටි” පානය අනවශ්‍ය බවත්, එයින් ලැබෙන පෝෂණයක් නොමැති බවත් ඒ වෙනුවට පෙර කී ලෙස රෝග ගණනාවක් තෑගි ලෙස ලැබෙන බවත් ය.
මේ, කරුණු “සත්‍ය” බවට පත්ව ඇති අතර, එය දිනෙන් දින තහවුරු වෙමින් පවතී.