බලකාමී දේශපාලනය තරුණයන්ගේ සැලකිල්ල නොවේ. ලංකාවේ මෙන් ම තමන්ගේ ද ප්‍රශ්නවලට විසඳුමක් සෙවීම තරුණ අරමුණයි. නිදහස ලත් තැන පටන් බලයට පැමිණි ආණ්ඩුවලින් තරුණ ප්‍රශ්න විසඳී නැත. දේශපාලන පක්ෂ හා ජනනායකයන් ගන්නා මාර්ගවලට පිටතින් තම ප්‍රශ්න විසඳා ගැනීමේ මඟක් තරුණයන් සෙවීම පුදුමයක් නොවේ.
JRJ සූත්‍ර 10 සමුනිට මෙසේ ලැබෙන්නේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට JRJ 1971 මාර්තු 10 දා තරුණ සම්මේලනය අමතා කළ කතාවෙනි. වෙනත් විදිහකට කිව්වොත් ජවිපෙ පළමු කැරැල්ලට දින 25 කට පෙර, 1971 අප්‍රේල් 05 දා කැරැල්ල පටන් ගන්න පැය 24 කට විතර කලින්, පාර්ලිමේන්තු විවාදයකට මැදිහත් වෙමින් JRJ මෙහෙම කියනව.
ඇතැම් අය මේ ව්‍යාපාරයට චේගුවේරා කල්ලිය කියා කියනව. ඇයි මේ ව්‍යාපාරය ආරම්භ වූයේ? කොයි කාලයේද ආරම්භ වූයේ? මීට අවුරුදු තුන හතරකට ප්‍රථම තරුණයන් කීප දෙනෙක් එවකට සිටි (ඩඩ්ලි) රජයේ ඇමතිවරුන් හමුවී - මාත් හමුවන්න ආවා. වාර්තා පොත් වගයක් පෙන්නුව. ඒවා අතින් ලියූ පොත්. මොනරාගල වැල්ලවාය පළාත්වල වනාන්තරවලට ඒ ඒ තරුණ තරුණියන්ට එන්න කියා. විප්ලවය ගැන දේශනා පැවැත්වීම කෙරෙන බවට ඒ තොරතුරුවලින් හෙළි වුණා. මා දුටු ඒ පොත්වල විශේෂයෙන් ඩඩ්ලි සේනානායක මහතාට සහ මට බොහොම තදින් බැණ වැදී තිබුණා. මට ලැබුණු තොරතුරු රහස් පොලිසියට දුන්නා. රහස් පොලිසිය ඒවා විභාග කරන්න පටන් ගත්තා.
1970 මහ මැතිවරණයට පෙර සූදානම් ඇතිවෙද්දී චේගුවේරා කල්ලියෙ ප්‍රමුඛ නායකයකු විදිහට පටබැඳිගේ නන්දසිරි විජේවීර නම් කුඩා කැහැටු පෙනුමක් ඇති තරුණයා ඩඩ්ලි - JRJ ආණ්ඩුව රහස් පොලිසිය ලවා අත්අඩංගුවට ගන්නවා. මේ අත්අඩංගුවට ගැනීම විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක විතරක් නෙවෙයි. සමසමාජ කොමියුනිස්ට් යන තුන් හවුල විසින් අර්ථ ගන්වන්නේ ආත්මාර්ථකාමී බව පෙරටු කොට ගෙන. මේ පිරිස ආණ්ඩුකාරතුමා මුණ ගැහෙන්න ලහි ලහියේ යනවා. විජේවීර නම් තරුණයා අත්අඩංගුවට ගැනීම අන්තිම අසාධාරණ දෙයක් බවත් මෙය මැතිවරණය කල් දමා ගැනීමට ඩඩ්ලි - JRJ කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවත් තවදුරටත් කියා සිටිනවා.
1971 වනවිට ලංකාවේ මුළු ජනගහනය එක්කෝටි තිස් ලක්ෂයක් විතර වෙනකොට එහි තරුණ ගහණය ලක්ෂ 15 ක් විතර වෙනවා. කැරැල්ල මර්දනය කළාට පස්සෙ සිරගත කළ තරුණ සමූහ 14000 ක් විතර වෙනවා. කිසිදු මරණ ලේඛනයක් සඳහන් නැතිව මරා දැමුණු පිරිස 16 දාහක් කියල නිකමට වගේ උපකල්පනය කළොත් කැරැල්ල නිසා තිස් දාහක් පමණ දායක වුණා කියා ගණන් ගත්තද, ඉන් 15% ක් කැරලිකරුවන් නොවී අනියම් ලෙස අත්අඩංගුවට හෝ මරණයට පත්වූවන් ලෙස සැලකුවහොත් විජේවීරගේ චේගුවේරා ව්‍යාපාරයට ඍජුව 25,000 ක පමණ තරුණ තීරුවක් දායක වී ඇති බව පැහැදිලියි. රටේ මුළු තරුණ සංඛ්‍යාව වූ ලක්ෂ 15 න් මෙය ඉතාමත් ඇබිති සංඛ්‍යාවක් වුණත් කොමියුනිස්ට් දහම නැමති ඉලක්කයට එල්ල වූ ගරිල්ලා කණ්ඩායමක් ලෙස කල්පනා කරන්නේ නම් සුළු කොට නොතකා හැර දමන්නට පුළුවන් කමක් නෑ.
දැන් අපි තවත් පැත්තකට හැරෙමු. 1970 මැතිවරණයෙන් පක්ෂයක් විදිහට එජාපය ඡන්ද 1876959 ක් ගන්නකොට ශ්‍රීලනිපයට ලබා ගැනීමට හැකි වූයේ ඊට වඩා ඡන්ද 64110 ක් අඩුවෙන්. ඒත් එජාප මන්ත්‍රී සංඛ්‍යාව 17 කට බස්සමින් තුන් හවුල් හෙවත් සමඟි පෙරමුණ ආණ්ඩුව බිහිකිරීමට හැකියා ලැබෙන්නේ රට පුරා මුළුගැන්වී පැවති වාමාංශික ඡන්දවලින් විජේවීර හා ඔහුගේ අනුගාමික පිරිස් හා හිතවතුන්ගේ ඡන්ද සංඛ්‍යාව ද තුන් හවුලට ලැබුණා විතරක් නෙවෙයි. පූර්ව මැතිවරණ සමයේ සමඟි පෙරමුණු වේදිකාවේ විජේවීර ආකර්ෂණීය කථිකයෙක් ද වුණා. එක් අතකින් ඇමෙරිකන් විරෝධීත්වය, ඩඩ්ලි - JRJ යුගලයට මරණ වරෙන්තු නිකුත්කර තිබීම හා සමාජවාදී සමාජයකට පොරොන්දු දී තිබීම යන කාරණා නිසා විජේවීරගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිරිමාට හැකි වුණා.
නමුත් විජේවීරගේ යථාර්ථය JRJ හැර අනෙක් කිසිදු පක්ෂයක නායකයන් දැනගෙන හිටියෙ නැහැ. එය හෙළිදරව් වන්නේ සමඟි පෙරමුණු ආණ්ඩුවට පළමු උපන් දිනයවත් සැමරීමට ඉඩ නොදී අප්‍රේල් 5 දා ගිනි කෙළි පටන් ගැනීමත් එක්ක.
70 මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කළේ නම් පසුවදා එළිවෙන්න පෙර ඩඩ්ලි තමා හා එජාපයේ බලකණු සියල්ල පරලොව ඇරීමට චේගුවේරා කල්ලිය සූදානම්ව සිටි අයුරු නිරීක්ෂණය කළ JRJ තම අදහසේ නිවැරදි බව තහවුරු කරමින් සමඟි පෙරමුණට එරෙහිව තුවක්කු පත්තු වෙනවා දුටුවා. ඒත් ඔහු අත්දෙක බැඳගෙන සමඟි පෙරමුණු නායකයන් හා රට විනාශ වෙනවා දැකීමට තරම් කාලකණ්ණි සතුටක් විඳීමට තරම් මෘගයෙක් නොවෙයි.
මේ වනවිට JRJ එජාපයේ බලකණු එක්ක බරපතළ ගැටලු ඇති කරගෙන සිටි සමයක්. ඔහු පක්ෂයෙන් නෙරපීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක වෙමින් තිබුණා. මේ ඇවිළෙන ගින්නට පැට්‍රල් වැටුණේ කැරැල්ල ඉදිරියේ අන්දමන්දව සිටි සමඟි පෙරමුණු නායකයන්ට තම සහාය පළ කිරීමත් එක්ක. මෙබඳු අනතුරකින් රට බේරාගැනීම සියල්ලන්ගේ යුතුකම බව අවධාරණය කළ JRJ පක්ෂ, භේද සියල්ල අමතක කොට රට බේරාගැනීම සඳහා රජයට සහායවන මෙන් සියලු දේශපාලනඥයින්ගෙන් හා රටවැසියන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියා.
අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව යටතේ නඩු පවරා විජේවීර ඇතුළු කැරැල්ලේ නායකයන් රැසක් හිරබත් කමින් සිටියදී JRJ 77 ජූලි මස රජයේ නායකයා බවට පත්වෙනවා. ඔහු එකී කොමිසන් සභාව අහෝසි කිරීමත් එක්ක විජේවීර ඇතුළු පිරිසට එළියට ඇවිල්ල දේශපාලනය කරන්න නිදහස ලැබෙනවා. JRJ ට එරෙහිව අනෙක් සියලු පක්ෂ ඔහුගේ සංවර්ධන සභා මැතිවරණය වර්ජනය කරද්දී ජවිපෙ එය පිළිගන්නවා. තමන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ ඇති බව විජේවීර JRJ ට ඉඟි කරන්නෙ ඒ විදිහට. නමුත් විපක්ෂය අතුගා දැමු රටක විපක්ෂය වෙමින් 1982 ජනාධිපතිවරණයටත් විජේවීර තරග කරනවා. තමන් රටේ තුන්වන දේශපාලන බලවේගයේ නායකයා බව මෙයින් ඔප්පු කරනව. ඒත් විජේවීර කොයි වෙලේ කවර ආකාරයකින් හරි තුවක්කු උස්සන බව JRJ දැනගන්නවා. 83 කළු ජූලිය දඩමීමා කරගනිමින් ජවිපෙ පාතාලයට අරිනව. උතුරු නැඟෙනහිර යුද්ධ හා ඉන්දීය මැදිහත්වීම එක්ක දුරස්ථ පාලකයකින් රට මෙහෙයවන්න විජේවීරට හැකි වෙනවා.
නමුත් තම සන්නද්ධ අංශයේ නිවාස අඩස්සිය තුළ විජේවීර ජීවත්වන අයුර JRJ ගෙ කනට වැටෙනව. රොනී ද මැල් JRJ ට එවන ලිපියක් මඟින් ජවිපෙට සමාව දිය යුතු බව යෝජනා කරනවා. අවි බිම තැබීමට කැමැති නම් JRJ ඊට එකඟ වෙනවා. රහස් සාකච්ඡා යන අතරේ ආණ්ඩුව පැත්තෙන් ඇතුළත්මුදලිට හදිස්සිය වැඩි වෙනවා. JRJ කියන්නෙ තමන්ගෙ ප්‍රබල සාමාජිකයන් එක්ක සාකච්ඡා කරල තීන්දුව ගැනීමට විජේවීරට කාලය දෙන්න කියල. ඒත් ඇතුළත්මුදලි කේ.සී. සේනානායක සිද්ධි ඔස්සෙ මාධ්‍ය තුළින් සම්මුතිය ගැන පූර්ව ප්‍රචාරයක් දෙනවා.
මේ සිද්ධියෙන් විජේවීරට වගේ ම JRJ ටත් කර කියාගන්න දෙයක් නැති වෙනවා. ජවිපෙ සන්නද්ධ අංශය සාහසිකත්වය වැඩි කරනවා. හමුදාවත් එකට එක කරනවා. JRJ විශ්‍රාම සුවයෙන් ඉන්න අතරෙ විජේවීර ඇතුළු මූලිකයින් බොහෝ දෙනෙක් දින දෙක තුනක් තුළ ඝාතනය වෙනවා. ඉන් බොහෝ කලකට පස්සෙ JRJ නිවන් සුව ලබනව. ඔහුගෙ බිරියට සැමියා මළ පුවත කන වැකෙනවාත් එක්කම ඇය අසා ඇත්තේ ජේවීපී එක වෙඩි තියලද කියල!
සමුනි සමරකෝන්
[email protected]