පුපුරන්ඩ ළඟ එක | සිළුමිණ

පුපුරන්ඩ ළඟ එක

“මේක කවදා පුපුරයි ද දන් නෑ”

නිමලෙ අමුතු හිනාවක් දමාගෙන කඩුල්ල පැන්නා.

“මොකද්ද මලේ? කරඹ කටුවක් ඇනිලා දිය පොක්කලමක්වත් හැදිල ද?

මං ඇහුවා.

“කරඹ පඳුරක් හොයාගන්ඩ පුලුවන් ද අද කාලෙ?”

නිමලෙ පෙරලා පුරස්න කොරමින් පිල ළඟට ගෑටුවා.

“හෙනං ආඩම්බරකං පෙන්නන්නැතුව කියහල්ලකො ඔය පිපිරිල්ල” මං ඉවසන්ඩ බැරි ම තැන කීවා.

“අපේ වාසුදේව උන්නැහේ තමයි පිපිරිල්ල ගැන කියල තියෙන්නේ” නිමලෙ එහෙම කිව්වැයිං පස්සේ අපි දෙන්නා පිපිරිල්ල ගැන කතාවට වැටුණා.

“හැබැහැට නිමලෙ - උන්නැහේ ඔය කියන්ඩ ඇත්තෙ බැලුම් පිපිරිල්ලක් ගැන වෙන්ඩැති නේද?”

“බණ්ඩයියා එහෙම හිතන්නෙ ඇයි?”

“අවුරුද්දත් ළඟයි නෙවැ. උන්නැහේ මෙදා පාර අවුරුදු උස්සවවල බැලුං පිපිරිල්ලට යන්ඩ හිතාන වෙන්ඩැති”

“නෑ නෑ”

“එහෙම නං ඩයස්පෝරාවෙ බෝම්බ පිපිරිල්ලක් ගැන වෙන්ඩැති”

“ ඔහෙ නෑ”

“මැද මූලන වලව්වෙ මුර කාරයා කුරක්කන් කන්ඩ එන රිළවුන්ට පත්තු කරපු රතිඤ්ඤා ගැන වෙන්ඩැති”

“ඔහෙ නෑ”

“එහෙනං වියත්මග රැස්වීම්වලට පවුලෙ කට්ටිය එනකොට පාක්සිකයො රතිඤ්ඤා පුපුරවන එක වෙන්ඩැති”

“අනේ මන්දන් නෑ. බණ්ඩයියා කවදා ඇත්ත තේරුම් ගනී ද මන්දා”

“හෙනං කියහංකො මං නටවන්නැතුව”

“ආණ්ඩුව ළඟදි පුපුරනවා කියලා වාසුදේව උන්නැහේ කියනවා”

“ඉතින්?”

“පිපිරුණාම ජනාදිපති තුමත් එක්ක එකතුවෙනවලු”

“තව රිදෙන කොට තව දැනෙයි කීවලු. එතකොට මැදමූලනෙ උත්තමයන්ට මොකද වෙන්නෙ?”

“ඒ අයට මුකුත් වෙන්නෑ. වාසුදේව උන්නැහේ අනික් පැත්තට යෑම ගැන පහන් සංවේගයක් ඇති වෙයි”

“පුපුරනවා කියලා උන්නැහේ කොහොමද දන්නෙ?”

“මේ දවස්ඔල උන්නැහේ මහ රාත්තිරියෙ බුදු අම්මෝ පුපුරනවෝ කියලා බෙරිහන්දීගන නැගිටිනවලු”

“ඉතින්?”

“මේ මළ ඉලව්වක් හින්දා බුදියගන්ඩත් නෑ. මළ වදේ - මොකද්ද පුපුරන්නේ කියලා ගෙදර උන්දලට මළ පැනලා වාසුදේව උන්නැහේ ඇඳෙං බිමට දානවලු”‍

“ඉතින් - දොස්තරලට පෙන්නලා නැද්ද?”

“පෙන්නලා - දොස්තර මහත්තුරු කීවලු උදේ ඉඳලා රෑ වනතුරු පුපුරන බලාපොරොත්තුව හිතේ තියාගන බුදියගත්තම ඔහොම වෙන එක අහන්ඩ යැ කියලා.”

ඔය අව් අස‍්සෙ මායියා තරහෙන් පුපුර පුපුරා අපි ළඟින් ගියා. අනේ හැබෑටම මෙහෙමත් පිපිරිල්ලක්! 

Comments