හෙදියන් දුන් පිනෙන් උන්වහන්සේ නිවන් දකිත්වා! | සිළුමිණ

හෙදියන් දුන් පිනෙන් උන්වහන්සේ නිවන් දකිත්වා!

 අපේ නිමලෙගෙ බාල කොලුවගෙ කම්මුල් දෙක ආප්ප දෙකක් වාගෙ පිම්බිලා. නිමලෙගෙ මායියා කාගේදෝ මෑණියන් වහන්සේ සිහිපත් කොරනවා. නිමලෙ මේ මොකක්වත් නොවෙච්චි ගාණට බීඩියක් උරමින් අඹකොටේ උ‍ඩට වෙලා කකුල් පද්දනවා. අබිලිංගෙ කඩේට යන උදවිය කීරමින්, හාල්, තුන පහ. ගම්මිරිස් අමතක වෙලා මේ සංගෙදිය දිගෑ බලාගෙන. ගෑනු කම්මුලට අත ගහගන. නිමලෙලගෙ කුස්සියට බල්ලො රිංගලා පොල් බෑයක් ඩැහැගද්දි ලුණු පොල්කට්ට තෙල් බෝතලේ උසට වැටිලා තෙල් බෝතලේ පෙරළිලා ලුණුයි තෙලුයි කලවං වෙලා කඳුළුයි බතුයි වාගේ ගලාගෙන යනවා.

“මොකද්ද නගේ වෙලා තියන වින්නැහිය? කොලුවට බඹරු ඇන්න ද?” අබිලිංගෙ මායියා නිමලෙගෙ මායියාගෙන් ඇහුවා.

“බඹරු ඇන්න නං ඉවසිහැකි. ඉස්කෝල ගුරෙක් ඇන්නහම ඉවසන්නෙ කොහොමද? මේ දෙවැනි වතාවට‍. අනේ හැබෑට පාරකදිවත් හම්බුණොතින් මට...”

නිමලෙගෙ මායියා දත්මිටි කනවා.

“ගුරා මොකටද කොලුවට පත බාලා තියෙන්නෙ?”

මයික් විජේගේ මායියා අහපි‍‍‍.

“සිරි ලංකාවේ හෙද සේවය ගැන රචනාවක් ලියන්ඩ කියලා”

“ඉතිං ලියලා නැද්ද?”

“ලියල නෙහෙන්නම් ගුටි කෑවේ”

නිමලෙගෙ මායියා රචනා පොත ගෙනැද් දුන්නා. නිමලෙගෙ හීන් එකා කම්මුල් ආප්ප හෙලවෙද්දී රූං රූං කියලා රිම් එකක් දක්කනවා. මයික් විජේගේ මායියා රචනේ කියවද්දී නිමලෙයි මායි අහං උන්නා. මේං... රචනේ.

“... ශ්‍රී ලංකාව ලෝකයේ උතුම්ම රට ය. ඒ නිසා අනෙක් හැම අතින් ම ලෝකෙන් එක වී ඇති පරිදිම හෙද සේවයෙන් ද එක වී ඇත.

ඊට හේතු වී ඇත්තේ අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක විකාරද ප්‍රාචීණ භාෂා පණ්ඩිත සිරි සද්ධර්ම වාගීශ්වර මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් හෙදියන්ගේ සංගමයේ සභාපති වීම ය. කොටින් ම හෙදියන්ගේ නිල ඇඳුම, ලෙඩ නිවාඩු, ප්‍රසූත නිවාඩු, අතිකාල ගැන උන්වහන්සේ තරම් හෙදියන්වත් දන්නේ නැති බව හෙදියෝ ම කියති. උන්වහන්සේ මතු බුදු වෙතොත් බුදු වන්නේ ද උදේ හවා හෙදියන් වඳින වැඳිල්ලෙන් ලැබෙන පිනේ බලයෙනි. තව ද උන්වහන්සේ නැත්නම් ලංකාවේ වි‍රෝදතා වියාපාරයක්වත් හරියට කරගන්නට කෙනෙක් නැත.

උන්වහන්සේට යහ පාලනය පෙනෙන්නේ යම පාලනයක් හැටියට ය. ඒ නිසා ඒකාබද්ධයේ සියලු පින්කම් ආලෝක, පූජා සද්ද පූජා, සූවිසි විවරණ නැටුම් සියල්ල කෙරෙන්නේ අභයාරාමේ ය. උන්වහන්සේ ගිය සතියේ හෙදියන්ගේ සමස්ත මහා වැඩ වර්ජනයක් කළෝ ය. හෙදියන් හත් අට දෙනෙක් වර්ජනයට එක්වූ නමුත් සියලු හෙදියන් දුරකතනයෙන් දැනුම් දී ඇත්තේ තමන් හදවතින් වර්ජනයේ සිටින බව ය. ළඟදී උන්වහන්සේ සියලු හෙදියන් සමඟ පාරට විත් යහපාලනයට කෙළවන ‍බව ප්‍රසිද්ධියේ ම දේශනා කරති. උන්වහන්සේට නිවන්සුව අත්වේවා!”

රචනේ කියවලා ඉවරවෙද්දී නිමලෙගෙ අයියා නිමලෙට රවලා බැලුවා.

“ඕං ඔය මිනිහ තමා රචනෙට කරුණු කියල දීල තියෙන්නෙ” නිමලෙගෙ මායියා කීවා.

“කොලුවකුට රචනයක්වත් ලියන්ඩ පුළුවන් ද රටේ සිද්දවෙන දේවල් දැක්කම”

අබිලිංගෙ මායියා කීවා.

“මොකට කියනවද න‍ඟේ”

මයික් විජේගෙ මායියා කම්මුලේ අත තියා ගත්තා. 

Comments