
එකල පුවත්පත්වල මුල් පිටු සැරසුවේ දේශපාලනඥයන්ගෙන් නොව ජනතාවගෙන් උපහාර ලැබූ (මුට්ට කර ගැසූ) ජොනීලාගේ දැවැන්ත සේයාරූවලින් සහ කතාවලිනි. මේ කාලේ ජාතික පුවත්පත්වල පළමු වැනි පිටු අවලස්සන කරන්නේ කුප්‍රකට පාතාලයන්ය. මත්කුඩුකාරයන් ය. දෙකයි පනහේ කාඩ්බෝඩ් වීරයන් ය.
බෝම්බ පිපිරුණු කාලේ පුවත්පත්වලින් අප දුටුවේ වෛවර්ණ ඇතුළු පිටුව පළ කළ මළ මිනී කඳු ය. විවිධ කාලවලදී රට පුරා මැරුම් කන ගණන දිනෙන් දින වැඩිවෙන තරමට ‘චූන්’ එක නහුතෙට නැඟ යෝධ සිරස්තල දමද්දී ජාතික පුවත්පත් උණු කැවුම් මෙන් විකිණී මඩි තරවෙන තරමට පොඩ්ඩන්ගේ පඩි වැඩි නොවිණි. එකල කළු සුදු පාටින් පළවූ පත්තරවල මුල් පිටුවල අපවත්වීම්, මරණ දැන්වීම් මෙන් ම කාලගුණ වාර්තාව ද පළ විය.
පුවත්පත් විකුණා ගැනීමේ තරගයක යෙදෙමින් සකල කලාවම ‘මාර්කටිං’ වන දැන් කාලේ පළමු වැනි පිටුවල අප දකින්නේ මිනී මැරුම් කොල්ලකෑම්, දේශපාලනඥයන්ගේ චණ්ඩි පාට්, ස්ත්‍රී දූෂණ සහ රිය අනතුරු ගැන ලොමුඩැහැ ගන්වන පුවත් පමණි. කවුරු තරහා වුණත් සමාජයේ කුණුවීම පෙන්වීමට ඒවා පළ නොකර බැරි වන්නේ මිථ්‍යාව පිටු දැකීමත් බොරු නොකිරීමත් තීන්දු නොදීමත් ජාතික පුවත්පත්වල අංක එකේ වගකීම බව හැම දෙනාම දන්නා නිසා ය.
වසර 1968 නොවැම්බර් 6 වැනිදා පළවූ ජාතික පුවත්පතක මුල් පිටුවේ ප්‍රධාන පුවතේ සිරස්තලය වූයේ ‘ඉන්දියාවේ ද්‍රවිඩයනුත් ඈඳාගෙන ද්‍රවිඩ රාජ්‍යයකට කැස කවයි! යනුවෙනි. මැණික්වලට ප්‍රසිද්ධ පළාතක ගැමියන් විසින් ‘ප්රිති කසානා’ නමින් හඳුන්වනු ලැබූ රෝගයක් ගැන මුල් පිටුවේම Box කර තිබුණේ (සිනමා හලේ කළුවර Box එක නොවේ) ‘ප්‍රීති කසානා පැතිරේ’ යනුවෙනි. ලංගම බස් කොන්දොස්තරලා මල්ලිලා ‘අම්මා’, ‘අක්කා’, ‘නංගි’, ‘මල්ලි’ නමින් මගීන් ඇමතීම තහනම් කිරීමෙන් පසු බස් කොන්දොස්තරලා ‘ඔයා’, ‘මෙයා’ ‘හලෝ’ නමින් මගීන් ඇමතීම ‘ගැන ඒ පත්තරේම පළ කළේ අම්මා - අක්කා ඔයා - මෙයා වෙයි යනුවෙනි.
දැන් කාලේ නම් ප්‍රයිවෙට්, බස් අයියලා මගීන් අමතන වචන පිහි පාරවල්වලට වඩා හුඟාක් සැර වැඩි වෙලාය. අර පැත්තට හැරෙන්න, නැත්නම් ‘බහින්න මාරු සල්ලිම අරන් නගින්න, නැග්ග අය ඉක්මනට ටිකට් ගහන්න... ‘මැන්ටලේ දැන් බහිනවා ඕයි...’ ‘සුදු නංගී බහින්නේ බලාගෙන... ‘අද කුඩේ ගෙනාවද?’ හෙටත් පාර මැද්දේ ම ඉඳන් ම මේකෙම නගින්න...’ දැන්නම් හතර අතින් ම ඇහෙන්නේ එවැනි වදන් වැල්ය. මුල් පිටුවේ පළ කළ පුවතක ඉතිරි කොටස පළ කරන්නේ ඇතුළු පිටුවකය. (2 – 4 – 16) ඇතුළු පිටුවේ පළ කරන එම කොටස හැලුණු එක දවසක පාඨකයකු දුරකථනයෙන් කෙසඟයාට කතා කර ඇසුවේ ‘යකෝ ඉතිරි කෑල්ල තොගේ...’ කියා ය. උදේ ම කුණු බැණුම් ඇසූ ඔහුට දවල් 12 ට තරු පිට තරු පෙනුණේ අනුරපුර රෝගී කතකගේ ඡායාරූපය වෙනුවට කලුරිය කළ කතකගේ ඡායාරූපය මාරු වී පළ වීමෙන් එම රෝගී කත සැමියා ලවා දුරකථනයෙන් ‘අදම තෝ මරනවා’ යි දුරකතනයෙන් බෙරිහන් දෙමින් දෙහි කැපූ විටය.
චන්න දොළපිහිල්ල