ගෙවත්තට ඔසු පැළයක් කහ ශාකය | Page 3 | සිළුමිණ

ගෙවත්තට ඔසු පැළයක් කහ ශාකය

නිවෙසක තිබිය යුතු ඖෂධ පැළෑටි අතර තවත් වටිනා ඖෂධයක් වන කහ පැළෑටිය පිළිබඳ අද සටහන් තබමු. Zingiberaceae කුලයට අයත් කහ ශාකය කුළු බඩුවක්, ‍ඖෂධයක් මෙන්ම වර්ණකයක් ද වේ. මෙය කාන්තාවෝ රූපලාවණ්‍ය කටයුතු සඳහා ද යොදා ගනිති. එමෙන්ම දෛනික ජීවිතයේදී භාවිතයට ගත හැකි අත් බෙහෙතක් වශයෙන් ද කහ සැලකේ. කහ ශාකයේ රයිසෝම හරහා ප්‍රචාරණය කර ගත හැකි අතර බුරුල් පසක රයිසෝම සිටුවීම මගින් වඩාත් ප්‍රශස්ථ අස්වැන්නක් ලැබිය හැකිය. සාමාන්‍යයෙන් වසරේ නොවැම්බර්-ජනවාරි අතර කාලයේ දී කහ අල නෙළීමට සුදුසුම කාලය ලෙස සැලකේ. කහ ශාකයේ භූගත කඳ එනම් අලය ඖෂධීය ගුණයෙන් යුක්තය. අඟල් 18ක් පමණ උසට වැඩෙන ශාකයේ පත්‍ර අඟල් 10ක් පමණ දිගින් යුක්ත අතර අඟල් 4ක් පමණ පළලය. සිහින්ය. උල්ය. කහ කොළයේ නටුව කොළයේ තලය තරම් දිගින් යුක්තය. අඟල් 6ක් පමණ දිගින් යුක්ත ශුකිය තුළ මල් හට ගනී. මල් කහ පැහැති ද්වී ලිංගිකය. ඵලය ස්ඵෝටිකාවකි. කහ ශාකයේ නිජ බිම දකුණු ආසියාවයි. නිවර්තන ප්‍රදේශවල වාණිජ බෝගයක් ලෙසද වගා කරයි. කහ ශාකය ඉතා සාර්ථක වාණිජ බෝගයක් වන අතරම වාණිජ ලෝකයේ ඉහළ ඉල්ලුමක් මෙන්ම ඉහළ වටිනාකමක්ද සහිතය.

අතීතයේ සිටම කහ ඖෂධයක් ලෙස යොදා ගනී. කිසිදු ශාකයකින් සපුරාගත නොහැකි විෂබීජ නැසීමේ ගුණය කහ ශාකයට තිබේ. කහ දියර ද ඒ සඳහා යොදා ගනී. වියළි කහ මෙන්ම අමු කහ ද එක ලෙස ප්‍රයෝජනවත්ය.

කහ ශාකයේ ප්‍ර‍ෙභ්ද රාශියක් දක්නට හැකිය. ඒ අතර මධුරාසි කහ, බෙංගාලි කහ, කොචින් කහ, ජාවා කහ, චීන කහ ඒ අතර වේ. කහවල තුර්කුමින් නම් රසායනික ද්‍රව්‍යයක් අඩංගු අතර කහ කැබලි කැඩූ විට කහ පැහැති වන්නේ එම ගුණය හේතුවෙනි. විෂ, කුෂ්ඨ, දද, වණ, වාත, ක්ලේෂ්මල, රුධිර රෝග, ඉදිමුම්, පීනස, කෘමි රෝග මෙන්ම ආහාර අප්‍රිය වීම වැනි රෝග ගණනාවකටම සුව දෙන ඔසුවකි කහ.

Comments